ස්මාරක සහ වෙනත් කතා | දිනමිණ

ස්මාරක සහ වෙනත් කතා

අනුවාදක - පියදාස රත්නසිංහ
මුල් කෘතියේ කර්තෘ - එස්තෝනියානු ෙල්ඛක ඒන් වෙතෙමා

“පොත් ඉතා තැන්පත් අචල මිතුරෝ වෙති. පොත් පහසුවෙන් ලද හැකි, අත්‍යන්තයෙන්ම බුද්ධිමත් සගයෝයි. එසේ ම ග්‍රන්ථ බෙහෙවින් ඉවසිලිවන්ත වන ආචාර්යවරුන් වන්නෝය.”

ශ්‍රේෂ්ඨ ඇමරිකානු අධ්‍යාපන විශේෂඥ චාල්ස් විලියම් එලියට් (1864 – 1926)

සිංහල සාහිත්‍යයෙහි ආත්මයෙන්, ප්‍රබල අංශයක් පණ ගැන්වී තිබෙන්නේ අනුවාද කෘති සම්භාරයකිනි. දේශජ ග්‍රන්ථාවලියේ උදාවෙහි පටන්ම පාහේ පාලි, සකු ඈ සාහිත්‍ය නිර්මාණවල අනුවාද සිංහල සාහිත්‍යය පෝෂණය කළේ ය.

මේ දේශයේ ශාස්ත්‍රීය කාර්ය රටාව ජාත්‍යන්තර ක්ෂේත්‍රයෙන් ආභාෂය ලබන්නට පටන් ගත් තැන් පටන්ම, සිංහල සාහිත්‍ය - නාටකාදී කෘතීන්ට ලොව බොහෝ සංස්කෘතින් හි පහළ වූ නිර්මාණයන්ගේ ආලෝකය ලැබුණි.

බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, චීනය, ජපානය, රුසියාව වැනි මහා රාජ්‍යයන් හි පහළවූ නිර්මාණ පමණක් නොව, අප්‍රිකාවේ ඇතැම් තැන්වලින් උපත ලද කෘති ද, සිංහල අනුවාද මඟින් මේ දේශයේ කලාකාමීන්ගේ ආස්වාදය සඳහා පහළ වූයේය.

එහෙත් මෙතෙක් සිංහල ලේඛකයකුගේ ඇස, සිත, හද නොගැටුණු සාහිත්‍යයක් දෙස, පියදාස රත්නසිංහ සිය නිර්මාණාත්මක අනුවාද ප්‍රවීණත්වය යොමු කරන්නේය.

“ස්මාරකය සහ වෙනත් කතා” නමින් මේ ලේඛකයා විසින් සිංහල පාඨකයාගේ අතට දෙන කෘතියේ මුල් කතුවරයා එස්තෝනියා ජාතික ඒන් වෙතෙමා නම් වෙයි.

මේ කෘතිය අනුවාදය කරන්නට අධිෂ්ඨාන කොට ගැනීම පවා, පියදාස රත්නසිංහ ලේඛකයා විසින් අභීත, ආත්මශක්ති පූර්ව නිර්මාණ කලාත්මක වීර චාරිකාවක යෙදෙන්නට හිත හදාගැනීමකි. පියදාස රත්නසිංහ සන්නිවේදකයා, මුද්‍රිත - විද්‍යුත් මාධ්‍යයන් හි දිගු කලක් මුළුල්ලේ කැපවීමෙන් යුක්තව නිරතවෙමින්, කෘතහස්ත භාවය සපුරාගත්, ජන ආස්වාද ක්‍රියාදාමයේ හද ගැස්ම නිසි සේ අවබෝධකොටගෙන සිටින නිර්මාණශීලී ප්‍රවීණයෙකි.

ඔහු විසින් සිය අනුවාදය සඳහා ගුරුකොට ගන්නා ලද්දේ එස්තෝනියා දේශ සීමාවන්ගෙන් ඔබ්බෙහිත්, සිය අසාමාන්‍ය නිර්මාණශීලී කීර්තිය පතුරුවා සිටින ඔහු ව්‍යක්තතායෙන් සුලක්ෂිත ලේඛකයෙකි.‍

1936 ජුනි මස විසිවැනිදා උපත ලද ඒන් වෙතෙමා, සිය වෘත්තීය දිවිපෙවෙතට මං පාදාගනු පිණිස රසායනික ඉංජිනේරු පාඨමාලාවක් හදාළේය. එහෙත් ඉන් කළකිරුණු ඔහු, එස්තෝනියාවේ අගනුවර වන කලීන් හි, සුප්‍රසිද්ධ සංගීත විද්‍යායතනයකට බැඳුනේය‍.

යොවුන් වෙතෙමාගේ කලා රසිකත්වය මුහුකුරා යෑමට අතහිත දුන් ඥාතියෙක් සිටියේ ය. ඒ ඔහුගේ සීයා ය. විද්‍යුත් තරංග පිළිබඳත්, ඡායාරූප ශිල්පය ගැනත්, බුද්ධියක් හා පරිචයක් සහිතව සිටි සීයාගේ ආභාෂයෙන් වෙතෙමා, භාෂාවේ අසිරිය, වචනය සතු බලයත් අවබෝධකොට ගෙන, පද්‍ය නිබන්ධනයේ යෙදුණේය‍.

වෙතෙමාගේ සුවිශිෂ්ට භාෂාත්මක ශික්ෂණය දෙස මෙහිදී අප සැලකිළිමත් විය යුත්තේ, එක්තරා ප්‍රධාන කරුණක් හේතුකොටගෙන ය. අප එසේ කළ යුත්තේ ඇයි?

අනුවාදක පියදාස රත්නසිංහ ලේඛකයා, සිංහලයට නඟන්නට ‍තෝරා ගත්තේ, සාමාන්‍ය වශයෙන්, ආවාට ගියාට බස වහරන ලේඛකයකුගේ කෘතියෙක් නොවන බව තහවුරු කරනු පිණිස ය. වෙතෙමා නිර්මාණශීලී ගද්‍ය ශෛලියට එළැඹුණේ, සංගීතය හැදෑරීමෙන් ලද නාද රිද්ම සංවේදීතාවත්, පද්‍ය රචනයෙන් හඳුනාගත් පද ධ්වනිතාර්ථ සහ වචනය සතු ගැඹුරත් සිය ආත්මයෙහි සංකලනය කොට ගැනීමෙනි.

මේ සියල්ල එකට එකතු කරමින් ජනිත වන වෙතෙමාගේ ලේඛන ශෛලිය, පාඨකයන්ගේ හද පත්ලට කිඳා බස්නා උපමා රූපක රටාවන්ගෙන් ගහණ ය.

සංගීතය, පද්‍ය කලාව ආදී කලාත්මක මංපෙත් ඔස්සේ විකාශය වූ ඒන් වෙතෙමා , සිය මුඛ්‍ය ප්‍රකාශන මාධ්‍ය කොට ගන්නේ කෙටි නවකතාව ය. නො එසේ නම් දිගු කෙටිකථාව ය. මේ හේතුකොටගෙන, ඒන් වෙතෙමා, එස්තෝනියානු සංස්කෘතික ලෝකයට, නව්‍ය දෘෂ්ටිවාදී කෙටි නවකතාව පිරිනැමු පුරෝගාමියා වශයෙන් ද සැලකෙයි.

පියදාස රත්නසිංහ ලේඛකයා විසින් සිය අනුපාද සංග්‍රහයෙහි සමාරම්භක කෘතිය වශයෙන් ඉදරිපත් කෙරෙන්නේ, ‘ස්මාරකය’ (The Monument) නම් නවකථාවයි. මෙය ලියැවී තිබෙන්නේ “මනෝවිද්‍යාත්මක විඥාන ධාරා” න්‍යායයෙනි. එහි අන්තර්ගතය වන්නේ ස්ටෙන් වුයර් නම් නරුමවාදී ගෘහ නිර්මාණ ශිල්පියකුගේ උපහාසාත්මක අන්තර් භාෂණයක ස්වරූපයෙනි.

මෙහිදී මුල් කතුවර ඒන් වෙතෙමා විසින් ඉදිරිපත් කෙරෙන අවඥාශීලී ප්‍රකාශනයේ, ඒ සඳහා ඔහු විසින් භාවිත කෙරෙන පදමාලාත්, සිංහල පාඨකයාට ඇති සැටියෙන් ග්‍රහණයකොටගත හැකිවන පරිද්දෙන් අනුවාදය කරන්නට පියදාස රත්නසිංහ ලේඛකයා විසින් දරා ඇති ප්‍රයත්නය, ප්‍රශංසනීයයි.

කථානායක ස්ටෙන් වුයර්ගේ මතුපිට අභිමතාර්ථය ‘ස්මාරකයේ” ගොඩනැඟීම ය. එහෙත්, කතුවරයා සිය තියුණු පදව්‍ය වහාරය මඟින් කරනු ලබන්නේ, සමකාලීන සමාජයේ ආධ්‍යාත්මික දෙදරායෑම පිළිබඳ “ස්මාරකයක්” අවඥාශීලිව තනාලීම ය.

පියදාස රත්නසිංහ අනුවාදකයාගේ එක් පාඨයක් දෙසට සිත් යොමු කරමු.

“හදාගත් තේ කෝප්පය, තරමක් තිත්ත ය. මා තුළ පුංචි ගැස්මක් ද ඇති විය. මින් පෙර කිසි දවසක එවන් අත්දැකීමක් මා විඳ තිබුණේ නැත. මට දැනුනේ ප්‍රධාන ආහාරය පිළිගන්වන්නට පෙර දුන් අතුරු ආහාරයක් වගේ ය. එහෙත් දැන් පිඟානේ සලාද කොළයක්වත් ඉතිරිව නැත. සාමාන්‍ය දෙයක් ‍සෙයින් දැනෙන්නට ඉඩහැර ඇත.”

(පිටුව .96 )

මෙසේ යම් යම් අන්තර්ගත ඉඟි, සිංහල පාඨකයාගේ යටි හිතට පිවිසෙන පරිදි පියදාස රත්නසිංහ අනුවාදකයා මේ දේශයේ සාහිත්‍යකාමීන්ට නුදුරු ආධ්‍යාත්මික ප්‍රදේශවලට ඔහු රැගෙන යන්නේය.

තවත් තැනක්: ඒක හොඳ සිගරැට්ටුවක්. මට හීන් කරකැවිල්ලක් ද දැනෙන්නට විය. පොඩි එකෙකුට දැනෙන හිතුවක්කාරකමක් වගේ‍. දුමක් දරන්නට තිබුණු කැමැත්ත මැඬ පවත්වාගෙන, හෝරා දෙකක් විතර සිටියෙමි. බිම පොලිෂ් කරමින් සිටි නිසා මා පදිංචියට ආ තට්ටු නිවාසයේ තනිවම ඉඳිද්දීත් , පළමු වතාවට මගේ සිතුවිල්ල හකුළාගෙන සිටියෙමි. මෙහිදීත් එයම සිදුවී ඇත.

(පිටුව .9)

අත්‍යන්තයෙන් සූක්ෂ්ම වූ හෘදයංගම චින්තන ධාරා, පැහැදිලි පදමාලාවකට නඟන්නට කතු මේ අපූරු ප්‍රවීණත්වය ආධ්‍යාත්මක ගවේෂණයක ප්‍රබන්ධ කථා කරන්නට දිරිවඩන අපගේ යොවුන් පෙළට අති හිතැති ආදර්ශයකි.

මේ “ස්මාරකය” නම් කථාවෙහි ඉතිහාසය ද ළගන්නා සුළුයි. මෙය එස්කෝනියාවේදී ලියූ හා හාවියේ එය ප්‍රකාශ කිරීම වළක්වන්ට වාරණ නීති ක්‍රියාවේ යොදන්නෝ මාන බැලූහ.

එහෙත් වාරණ නිලධාරියා මේ ගැන තමාගෙන් දරුණු ලෙස ප්‍රශ්න කරන්නට සැරසෙන විට, වෙතෙමා ඉතාම තියුණු උපක්‍රමයක් ක්‍රියාවේ ‍යෙදවූයේය.

ඔහු වාරණ නිලධාරියාට සංග්‍රහ කළේ ය. නොසෑහෙන තරමටම ඒ සැලකිල්ල සිදුවූයේ නැටෙන දියරයේ ඉන්ධනයෙනි. ඉන් ස්ව මතය වෙනස් කළ වාරණ නිලධාරියා, පොත පළ කරන්නට අවසර දුන්නේය.

තවත් දෘෂ්ටිවාදයේ පුරෝගාමි ‘ස්මාරකය’ මෙසේ ලෝකයේ කලා ලෝලීන් උදෙසා බේරුණේය.

මෙසේ මේ අනුවාදය, දැනට පෘථුල වශයෙන් පළ කෙරෙන කෘති අතර අතිශයින්ම ඇගයැති දෘඪ සාහිතසික ව්‍යායාමයක සුවිශිෂ්ට ප්‍රතිඵලයකි.

මෙහි සංගෘහිත අනික් කෘති දෙක වන “චීනයන්ගේ බිත්තර” සහ “ගන්ධර්වයා වෙනුවෙන් දේව දානය” යන කෙටි නවකතා ද්විත්වය ද ගැඹුරු උපහාසය සහ

අර්ථවත් අවඥාවත් පිළිබඳ ඉතා යහපත් නිදර්ශන වෙති.

පියදාස රත්නසිංහ ලේඛකයා මේ කෘතිය එළිදක්වන්නට දැරූ ඉමහත් වෙහෙස, කෘතියේ ගැඹුරු බවින් පිළිබිඹු වන්නේ ය.

අද යොවුන් සංකථනයන්ට බොහෝවිට ප්‍රස්තුත වන, නව්‍යවාදය සතු චින්තන පදනම ව්‍යක්ත ලෙස ප්‍රදර්ශනය කරන උසස් ගණයේ නිර්මාණාත්මක කෘතියක් වශයෙනුත්, පියදාස රත්නසිංහ ලේඛකයාගේ “ස්මාරකය සහ වෙනස් කථා” නම් ග්‍රන්ථය, සාහිත්‍යයේ නිම්වළලු පුළුල් කරන්නක් වේ.

කලාකීර්ති ආචාර්ය
එඩ්වින් ආරියදාස 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...