බුල්ඩෝසර් සංවර්ධනය ඉවතට

වසන්ත ප්‍රිය රාමනායක

මාධ්‍ය ආයතන ගිනි තැබීම, මාධ්‍යවේදීන් ඝාතනය වීම, මාධ්‍යවේදීන් ප්‍රහාරයට ලක්වීම, ඔවුන් රට හැර යෑම, විශේෂයෙන් විවිධ පුද්ගලයන් අතුරුදන් වීම හා විරුද්ධ මත ප්‍රකාශ කරන්නන් ලූහුබැද නාදුනන තුවක්කුකරුවන් පැමිණීම ගෙවී ගිය දෙවසර තුළ දක්නට නොලැබේ.

තිරසර සංවර්ධන යුගයක් අරමුණු කර ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුරකාලයේ තෙවැනි වසර උදා වී ඇත. මෙය අනාගතය පිළිබඳව මෙන්ම ගෙවී ගිය දෙවසර පිළිබඳවද යම් අධ්‍යයනයක යෙදීමට සුදුසු සමයක් සේ සැලකේ. ගෙවී ගිය දෙවසරට පෙර පාලනයට සාපේක්ෂව යහපත් යැයි සඳහන් කළ හැකි ය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනවාරි 8 වැනි දා පැවැති “තිරසර යුගයක තෙවසර ඇරඹීමේ” සංවත්සරයේ සඳහන් කළ පරිදි වේගවත් බවේ අඩුවක් දක්නට ලැබුණ ද ගෙවී ගිය දෙවසරේ රට ඉදිරියට ගමන් කර ඇත. මීට දෙවසරකට පෙර ජනාධිපති මෛත්‍රී බලයට ගෙන ඒමට ප්‍රධාන වශයෙන් ම මූලික වූ කාරණය ලෙසින් සැලකෙන්නේ යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදි සාධක බව පෙනේ. ජාත්‍යන්තර තෙරපුම අයත් වන්නේ ද එයටමය. ජිනීවා යෝජනා හා ආර්ථික අර්බුදය හිටපු ජනාධිපතිවරයා කල්වේලා ඇතිව ජනාධිපතිවරණයක් කැඳවීමට හේතු වූ බව පෙනේ. එසේ නොමැතිව කිසිවෙක් වසර දෙකක් තිබිය දී කල් වේලා ඇතිව ජනාධිපතිවරණයක් කැදවන්නේ නැත. මේ අතර ජීනීවා යෝජනා ද මතු වන්නේ රට අභ්‍යන්තරව මතු වී තිබුණු යහපාලන හා ප්‍රජාතන්ත්‍රවාදී සාධක මතයි.

මාධ්‍ය නිදහස

මේ නිසා ප්‍රජාත්‍රන්තවාදී හා යහපාලනයට අදාළ කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ දෙවසරක ධුර කාලය මෑත ඉතිහාසයේ වෙනත් අවධි හා සැසඳීමක යෙදීමේ දී යහපත් බව විරුද්ධවාදීහු වුව ද අවංකව අදහස් කරති.

මාධ්‍ය ආයතන ගිනි තැබීම, මාධ්‍යවේදීන් ඝාතනය වීම, මාධ්‍යවේදීන් ප්‍රහාරයට ලක්වීම, ඔවුන් රට හැර යෑම, විශේෂයෙන් විවිධ පුද්ගලයන් අතුරුදන් වීම හා විරුද්ධ මත ප්‍රකාශ කරන්නන් ලූහුබැද නාදුනන තුවක්කුකරුවන් පැමිණීම ගෙවී ගිය දෙවසර තුළ දක්නට නොලැබේ. මේවාට අනුග්‍රහය ලැබෙන වාතාවරණයක් මෛත්‍රී පාලනය යටතේ නිර්මාණය නොවීමත්, පාතාල වැඩ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබන කණ්ඩායම් නොමැති වීමත් මේ තත්ත්වයට හේතු වී තිබේ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මෙවන් යහපත් වාතාවරණයක් නිර්මාණය වීමට මූලික වශයෙන් ම හේතු වී තිබේ.

තමන්ගේ ධූර කාලය අඩු කර ගැනීම, ජනාධිපතිධුරයට පත්වීම සඳහා ජනාධිපතිවරයකුට තරග කිරීමට තිබෙන අවස්ථාව වාර දෙකකට සීමා කිරීම, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම, ජනාධිපතිවරයා වුවද අධිකරණයට ගෙන යා හැකි අයුරින් මුක්තිය අහෝසි කිරීම, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රීවරුන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීම පමණක් නොව පාර්ලිමේන්තු විවාදවලට සහභාගි වීම ආදී කාරණා ගත් කල, 1978 මේ රටේ විධායක ජනාධිපතිධුරය ඇරඹීමෙන් පසු ප්‍රථම වරයට බලතල කප්පාදුවක් සිදු වූ අවස්ථාවකි. පසුගිය ආණ්ඩුව සමයේ සිදු වී ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමයේ නිර්මාතෘ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාටත් වඩා බලය වැඩි කර ගැනීමකි. 18 වැනි සංශෝධනයෙන් වූයේ එයයි.

ව්‍යවස්ථා සංශෝධනය

මෙහි අනෙක් විශේෂත්වය විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ ව බණ්ඩාරනායක මැතිනිය සමයේ පාරේ වාඩි වී සත්‍යග්‍රහ කළ විරෝධතා පැවැත් වූ මෙන් ම ඊට සහභාගි වූ අයම පසු කලෙක තමන් බලය ලබා ගත් පසුව විධායක ජනාධිපති ධුරයේ බලතල ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා අපේක්ෂා කළ ප්‍රමාණයටත් වඩා වැඩියෙන් ලබා ගැනීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පවා සංශෝධනය කිරීමට පෙළඹීමයි. මේ රටේ දේශපාලන ඉතිහාසයේ සරදම එයයි. ඊට නායකත්වය දුන්නේ ද විධායක ජනාධිපතිධුරය බෙහෙවින් ම විරුද්ධ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ම නායකයෙකි. එහි බලතල වැඩි කර ගැනීම සිදු වූයේ 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය මගින් ජනාධිපතිවරයකුට එම ධුරය සඳහා තරග කළ හැකි වාර ගණන සීමාවකින් තොරව වැඩි කර ගැනීමෙනි. නැතිනම් සිම්බාවේ රොබට් මුගාබේ ක්‍රමයට වැඩි කර ගැනීමෙනි.

මීට අදාළ 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මේ රටේ පැරැණි වාමාංශික පක්ෂ පවා පක්ෂපාති වීම පුදුම සහගත ය. එහෙත් තම පැරැණි වාමංශික ස්ථාවරයේ ම පිහිටා ඊට විරුද්ධ වීමට ජනතා විමුක්ති පෙරමුණට කොන්දක් තිබුණි. එය ප්‍රසංශනීය මෙන් ම ගරු කටයුතු ස්ථාවරයකි. එදා එක්සත් ජාතික පක්ෂය පවා එම විවාදය මග හැර පාර්ලිමේන්තුව තුළින් විරෝධය පෑමෙන් ඉවත් විය. මේ රටේ යහපාලනයේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ විකෘතිය ස්ථිර වශයෙන් ම ඇරඹුණේ මෙතැන් සිටය. එම විකෘතියම හිටපු ජනාධිපතිවරයාට කඩිනමින් ජනාධිපතිවරණයක් කැඳවීමට ද හේතු විය.

ජනාධිපති මෛත්‍රී පසුගිය දෙවසර තුළ නිවැරදි කළේ එම ඓතිහාසික වරදයි. බහුතර බලයක්වත් නොමැති ආණ්ඩුවකින් මෙවන් තීරණාත්මක ව්‍යවස්ථා සංශෝධනයක් අනුමත කරවා ගැනීමට ඔහුට හැකි වූයේ ඒ සඳහා ජනාධිපති මෛත්‍රී තුළ පැවැති ස්ථිර අධිෂ්ඨානය හා කැප කිරීම නිසාය. බලය තමන් අතට පත් වූ පසු එම බලයෙන් කොටසක් තමන් විසින් ම අත්හැරීමට අවංකවම කටයුතු කිරීම ලෝක දේශපාලනයේ වුවද දක්නට නොලැබෙන දුලබ සිදුවීමකි. සැබවින්ම ජිනීවා තෙරපීම පවා අඩු වීමට පටන් ගත්තේ ශ්‍රී ලංකාවේ නායකයා තුළ පැවැති මෙම අවංකභාවය නිසා බව පෙනේ. හැකියාවක් තිබුණි නම් ඔහු ඒ මොහොතේ ම විධායක ජනාධිපති ධුරය පවා අහෝසි කිරීමට සුදානම් බව මෙමගින් ප්‍රදර්ශනය කර තිබුණි.

උසාවිය මගින් ජනාධිපති මෛත්‍රී යෝජනා කරන සමහර බලතල සම්බන්ධයෙන් වුවද ජනමත විචාරණයක් යෝජනා කිරීම නිසා ඒවා අත්හැර දැමීමට සිදු විය. මෙහි දී දේශපාලන වශයෙන් මෛත්‍රී ජනතාවගේ ප්‍රාර්ථනා මෙන් ම තම පක්ෂය මඟින් සිදු කළ ඓතිහාසික වරදක් ද නිවැරදි කළ බව පෙනේ. 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉටු කළ දැවැන්ත ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණය වුවද මේ දෙවසරට සෑහේ. ඊට හේතුව ජාතික වශයෙන් පමණක් නොව එහි බලපෑමෙන් ජාත්‍යන්තරව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවැති අවාසිදායක වාතාවරණය වෙනස් වීමට පවා හේතුවීමයි.

ආර්ථික වශයෙන් ගත් කළ පසුගිය පාලන සමයේ අපේ අපනයන ආදායම අඩුවීම ප්‍රතිලාභ නොලබන ව්‍යාපෘති වෙනුවෙන් වැය කළ රුපියල් බිලියන ගණනක මුදල වෙනුවෙන් ගෙවන පොලිය හා චාරිකය ගෙවා දැමීමට ප්‍රශ්නයක් වුණි. එය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් 33% සිට 14.5%ක් පමණ විය. ණය උගුල ලෙසින් හැඳින්වෙන්නේ මෙම අර්බුදයයි. පසුගිය පාලන සමයේ ජී. එස්. පී. සහනය අහෝසි වීම හා යුරෝපා මත්ස්‍ය තහනම මීට මුලික වශයෙන් ම හේතුවුණි. ජී. එස්. පී. සහනයට ද බලපෑවේ පාලන මුලධර්මයන් බව පෙනේ. එහෙත් මෛත්‍රී පාලනයේ දෙවසර තුළ මේ ආර්ථික සම්බාධක දෙකම ජය ගැනීමට අපට හැකි වී තිබේ. එයම සැලකිය යුතු මට්ටමේ ආර්ථික ප්‍රතිලාභයකි.

රටක වැටුණු ආර්ථික ක්ෂේත්‍රය නඟා සිටුවීම ක්ෂණිකව කළ නොහැකි බව අමුතුවෙන් කිවයුතු නැත. ඊට කලක් ගත වේ. පසුගිය දෙවසර තුළ ඊට අවැසි යටිතලය සැකසී තිබෙන බව පෙනේ. ඒ අනුව මෛත්‍රී පාලනයේ තෙවැනි වසරේ ආරම්භයත් සමඟ විවිධ ආයෝජන ව්‍යාපෘති රටේ තැනින් තැන විවෘත වෙමින් පවතී. කුලියාපිටියේ මෝටර් රථ කම්හල, කළුතර රබර් අත්වැසුම් කම්හල හා හම්බන්තොට නිරිතදිග ආයෝජන කලාපය විවෘත වීම ආදිය මීට නිදසුන් ලෙසින් සැලකේ. ඒ අනුව රජය සඳහන් කරන්නේ පසුගිය දෙසතිය තුළ විවෘත වූ ආයෝජන සමඟින් 20, 000කට පමණ නව රැකියා අවස්ථා සැලසී ඇති බවයි. මෙය මෛත්‍රී පාලනයේ තෙවැනි වසරේ ආරම්භයත් සමඟින් දක්නට ලැබෙන ආර්ථික ක්ෂේත්‍රයේ යහපත් ප්‍රවණතාවයකි.

එසේ ම මෛත්‍රී පාලනයේ තෙවැනි වසර ඇරඹෙන්නේ ‘තිරසර සංවර්ධන’ වැඩ සටහනක ඇරඹුම සමඟිනි. තිරසර සංවර්ධනය යනු ගහ කොළ සතා සීපාවා රැක ගනිමින් කරනු ලබන යහපත් සංවර්ධන ක්‍රියාදාමයකි. පසුගිය 8 වැනි දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණේ එහි සමාරම්භක වැඩසටහනයි. එය සැලසුම් වන්නේ දේශපාලඥනයන්ගේ සිතැඟි පරිදි නොව මේ රටේ ඊට අදාළ ආර්ථික හා සංවර්ධන ක්ෂේත්‍රයේ බුද්ධිමතුන්ගේ මැදිහත් වීමෙනි. එය ‘මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්’ මැතිවර ප්‍රකාශනයට අනුව සිදු වන්නකි. සංඛ්‍යාලේඛන ඉක්මවා යමින් පවතින මේ රටේ දුප්පත්කමේ ප්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීමට සිය ධුර කාලයේ තුන්වැනි වසරට පා තබන ජනාධිපතිවරයා බලාපොරොත්තු වේ. රටේ දුප්පත්කමේ මට්ටම 25%ක් පමණ වේ යැයි පසුගිය 8 වැනි දා ජනාධිපතිවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කිරීමට බව පෙනේ. දැනටමත් රජය 2017 දුප්පත්කම දුරුකිරීමේ වසර ලෙසින් නම් කර ඇත. එසේ ම තිරසර යුගයක ඇරඹුම යනු බුල්ඩෝසර සංවර්ධනය නොවේ.

තිරසර සංවර්ධනය

ප්‍රජාතන්ත්‍රවාදයේ යහපාලන ප්‍රතිසංස්කරණ වෙත ගෙවී ගිය දෙවසර කැප කළ ජනාධිපතිවරයා සිය ධුර කාලයේ තෙවසර ඇරඹීමත් සමඟ ම මේ රටේ දුප්පත්කම දුරුකරමින් තිරසර සංවර්ධන යුගයක ඇරඹුමට අත ගසා තිබේ. මේ සඳහා දේශපාලන ස්ථාවරත්වයක් රටට අවශ්‍යය. මේ නිසා 2020 වනතුරු පවතින පාලනයෙ ස්ථාවරත්වය ද එතුමා විසින් සහතික කර ඇත.

මේ නිසා අලූත් ආණ්ඩු හෝ ආණ්ඩු පෙරළි ගැන කතා නොකර රට ගොඩනැගීමට එක්වන්න යැයි එතුමා පෙරළිකාර පිරිස්වලින් ද ඉල්ලා සිටීමට එදා (පසුගිය ජනවාරි 8 වැනිදා) අමතක නොකළේය. 2020 වනතුරු ආණ්ඩු පෙරළීම් නොමැත. ඇත්තේ රට ගොඩ නැ‍ඟීම පමණි. එසේ නම් රට දේශපාලන වශයෙන් දෙකට බෙදෙන්නේ රට ගොඩනඟන පිරිස හා බලයට කෑදරකමින් ඊට විරුද්ධ වන දෙපිරිස අතර බව පෙනේ.

එසේ ම රට ගොඩනැගීමේ කාර්යයේ දී දක්නට ලැබෙන ප්‍රතිවිරෝධතා හා අහිතකර ක්‍රියා සම්බන්ධයෙන් විවේචනය කිරීමේ අයිතිය ද තවදුරටත් මෛත්‍රී පාලනය මඟින් තහවුරු කර ඇත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...