හික්කඩුව ධීවර තොටුපලේ ඉදිකිරීම් ඇරඹේ | දිනමිණ

හික්කඩුව ධීවර තොටුපලේ ඉදිකිරීම් ඇරඹේ

ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන තුන්සිය පනහක මුදලක් වැය කොට රත්ගම මැතිවරණ කොට්ඨාසයට අයත් හික්කඩුව පැරෑලියේ ඉදිකිරීමට සැලසුම් කොට තිබෙන ධීවර තොටුපලේ ඉදිකිරීම් කටයුතු ඉකුත් 9 වැනිදින පෙරවරු 11.05 යෙදී තිබූ සුභ මොහොතින් ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු ආරම්භ කෙ‍රුණි.
 
විශාල බැකෝ යන්ත්‍රයකින් මුහුදේ පස් ඉවත් කරමින් මෙම ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබුවේ ලංකාවේ පෞද්ගලික කොන්ත්‍රාත් සමාගම් දෙකක මෙහෙයවීමෙනි.මෙම අවස්ථාවට ඊ.ඇම්.එල්.කොන්ත්‍රාත් සමාගමේ ව්‍යපෘති උපදේශක ඉංජිනේරු සිරිල් ගමගේ,ආර්.ආර්.කොන්ත්‍රාත් සමාගමේ ව්‍යාපෘති ඉංජිනේරු ලලිත් කොඩිතුවක්කු,පැරෑලිය ධීවර සමිතියේ සභාපති ඒ.ධර්මදාස (සම්බරා මාමා) යන මහත්වරු ඇතුළු ධීවරයින් පිරිසක් එක්ව සිටියේය.
 
ඒ.ධර්මදාස මහතා මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දක්වමින් මෙසේ පැවසුවේය.පැරෑලියට ධීවර වරායක් ලබා ගැනීම සදහා මම වසර හතලිහක පමණ කාලය සිට නොගත් උත්සාහයක් නැහැ.එදා සිට පැවති හැම රජයකම ධීවර ඇමතිවරු මෙම ස්ථානයට පැමිණ පැරෑලියට  ධීවර වරායක් ලබා දෙන බවට පොරොන්දු දුන්නා.එක් වතාවක් ධීවර වරායකට මුල්ගල පවා තැබුවා.මේ ප්‍රදේශයට ධීවර වරායක් ලැබෙන තුරු මගේ රැවුල කපන්නෙ නෑ කියලත් මම මෙයට වසර විස්සකට ඉහතදී පොරොන්දුවක් දී තිබුණා.මෙයට වසර දෙකකට ප්‍රථම ධීවර ඇමතිවරයාව සිටි රාජිත සේනාරත්න මහතා මෙහි පැමිණ ධීවර වරායට මුල්ගල තැබූ අවස්ථාවේදී ඒ අමතිතුමාගේ අතින්ම මගේ රැවුල කැපුවා.නමුත් ධීවර වරාය මුල්ගලට පමණක් සීමා වුණා.නව රජය බලයට පත්වීමෙන් පසුව ධීවර ඇමති මහින්ද අමරවීර මහතාත් ධීවර නියෝජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි මහතාත් මෙම ස්ථානයට පැමිණ කරුණු සොයා බැලීමෙන් පසු අපේ බලාපොරොත්තුව සපල වුණා. මේ සම්බන්ධයෙන් අපට  උදව් උපකාර කළ සැමට පැරෑලිය ධීවර ජනතාව වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා.
 
(අම්බලන්ගොඩ සමූහ ආර්.ඤාණදාස )

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...