වැව් රක්ෂිතයත් මැදිකොට ඉදිකළ හෝටල්වලින් ගැටලු රැසක්

සකුන්තලා ජයසිංහ

කානු වැවට හරවලා නාන මංකඩවල් වැහිලා
වැසිකිළි රක්ෂිතයේ-වාහන නවත්වන්නේ පාරේ

වැව් රක්ෂිතය අල්ලා ඉදිකළ අනවසර ඉදිකිරීම් හේතුවෙන් තමන්ට ගමට පිවිසෙන මහ මඟත් කුඹුරට ජලය සපයන වැවත් නොබෝ දිනකින් අහිමි වනු ඇතැයි උඩහිපන්පොළ වැසියෝ පවසති.

පඬුවස්නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩහිපන්පොළ ගම්මානයට පිවිසෙන එක් මාර්ගයක් උඩහිපන්පොළ මහ වැවේ බැම්ම මතින් වැටීඇති අතර මෙම මාර්ගය සියඹලාකඩවල ගම්මානය සහ උඩහිපම්පොළ ප්‍රධාන කුඹුරු යායට පිවිසිය හැකි පහසු සහ කෙටිම මාර්ගයයි. නමුත් වැව් රක්ෂිතයත් මාර්ගයත් අවහිර කරමින් මේ වන විට අනවසර අල්ලා ගැනීම් රැසක් සිදු වී ඇතැයි ගම්වාසීහු පෙන්වා දෙති.

මේ වන විටත් රක්ෂිතයේ කොටසක් හෝටල් දෙකක් මගින් ඉදිකිරීම් සඳහා අල්ලා ගෙන ඇති අතර එහි ගමට පිවිසෙන ස්ථානයේ පිහිටි හෝටලයේ වැසිකිළි පද්ධතිය ද ඉදිකර ඇත්තේ වැව් රක්ෂිතය තුළ බැව් ප්‍රදේශවාසීහු පවසති. තවද හෝටලයේ මුළුතැන්ගෙය ඉදි කර තිබෙන්නේ ද රක්ෂිතයේ කොටසක වන අතර එහි සියලු අපද්‍රව්‍ය පිටවන නළ පද්ධතිය විවෘත කර ඇත්තේ වැවටයි. මේ නිසා වසර පහක පමණ සිට වැවෙන් ස්නානය කිරීම පවා තමන් අත්හැර ඇතැයි ගම්වාසීහු වැඩිදුරටත් කියා සිටිති.

එම්. ඩී. ඉලංගරත්න මහතා - අපි මේ ගම්මානය ට පදිංචියට ඇවිත් අවුරුදු 15ක් පමණ වෙනවා. ගමට පයින් යන අයත් වාහනවලින් යන අයත් පාවිච්චි කරන්නේ වැව් බැම්ම උඩින් ඇති පාරයි. නමුත් මෙහි හෝටලයට එන වාහන නැවැත්වීම නිසා පාර මුළුමනින් ම අවහිර වෙනවා. හෝටලයේ දර ගොඩ ගහන්නෙත් පාරේ. කුණු කානුව පාත් කරලා තියෙන්නේ වැවට. මේ නිසා ගමේ බොහෝ දෙනෙක් දැන් වැවෙන් නාන්නේ නෑ. අපට වැවත් පාරත් නිදහස් කරලා දෙන්න කියලයි අපි ඉල්ලන්නේ.

රංජිත් රුවන් කුමාර - පාරත් රක්ෂිතයත් මැදි කරගෙන හෝටලයක් ඉදිකර තිබෙනවා. මේ නිසා අපි ප්‍රශ්න රැසකට මුහුණ දීලයි ඉන්නේ. කඩේට එන වාහන පාර ගැන දන්නේ නෑ. පාර අවහිර වීම් නිසා බහින්බස්වීම් විතරක් නෙමෙයි පිහි ඇනුමකුත් සිද්ධ වෙන්න ගියා. අපි මේ පාරේ

ගැටලුව ගැන ඉහළ බලධාරීන්ට දැනුම් දුන්නා . නමුත් තවම විසැඳුමක් ලැබුණේ නෑ.වැව් ජලය මුළුමනින්ම අපවිත්‍ර වෙලා. දුර්ගන්ධය එනවා .ඉස්සර වැවේ මංකඩවල් තිබුණා. දැන් ඒවත් නෑ.

යු. ඩී. සනත්සිරි මහතා - වැව් බැම්මත් එක්ක තියෙන පාර තමයි ගමට යන්න හැමෝම පාවිච්චි කරන්නේ. නමුත් දැන් පාර පෞද්ගලික පරිහරණයක් බවට පත් වෙලා. රෑ 10-11 වනතුරු වාහනවලින් පාර අවහිර වෙලා . ගම්වාසීන්ට දැන් වැවත් නෑ. පාරත් නෑ.උඩහිපන්පොළ වැව යටතේ අක්කර හතළිස් පහක පමණ කුඹුරු යායක් සෑම කන්නකම අස්වද්දනු ලබයි. කුඹුරක හිමිකම තිබෙන අයට මෙන්ම සියලු ගම්වැසියන් ට වැව මහත් සම්පතකි. නමුත් විවිධ පුද්ගලයින් විසින් වැවේ රක්ෂිතය සහ ඉස්මත්ත අල්ලා ගැනීම නිසා දැන් වැවට ඉතිරිව ඇත්තේ අක්කර පහළොවක් පමණ සුළු ප්‍රමාණයකි.

පඬුවස්නුවර ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරි එස්.එම් රත්නායක මහතා - හෝටලය සම්බන්ධයෙන් මීට පෙර පැමිණිලි ගණනාවක් ලැබී තිබෙනවා. බැලු බැල්මට ම වැව් රක්ෂිතයටහෝටලයෙන් හානි සිදු වී ඇති බව අපට පෙනෙනවා. මේ නිසා ලැබුණු පැමිණිලි සළකා බලා අපි මෙම වැව නැවත මැනුම් කටයුත්තක් කර නිරවුල් කර ගැනීමට අවශ්‍ය බව පඬුවස්නුවර බටහිර හිටපු ප්‍රාදේශීය ලේකම්තුමාට දැනුම් දුන්නා. නමුත් ඒ මහතා ස්ථාන මාරු ලබා ගිය නිසා ඊට පිළියමක් ලැබුණේ නෑ. නමුත් වත්මන් ප්‍රාදේශීය ලේකම්තුමා සමඟ එක්ව ඒ ගැන කඩිනමින් පරීක්ෂා කර බලා රක්ෂිතයට හානි වී ඇත්නම් නීතිමය කටයුතු කිරීමට බලා පොරොත්තු වෙනවා

පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් ඩී.පී. එස්. කුමාර මහතා - සිද්ධිය සම්බන්ධයෙන් පැමිණීලි ලැබීමත් සමඟ අපි ගම් සිතියම පරික්ෂා කළා. රක්ෂිතයට යාබද කොටසක සින්නක්කර ඉඩමක් පවතින බැවින් වැව නැවත මැනීම ට මැනුම් නියෝගයක් ලබා ගෙන මායිම් ලකුණු කර දෙන ලෙස අපි මිනින්දෝරුවරයා ට දැනටමත් දැනුම් දුන්නා. රක්ෂිතය අල්ලා ගෙන ඇත්නම් සන්තකය ආපසු ලබා ගැනීමේ පනත යටතේ අපි අනිවාර්යෙන්ම නීතියෙන් කටයුතු කරනවා.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...