තඹුත්තේගම මහජන පොළ කැලෑවට

තඹුත්තේගම විශේෂ ඩබ්ලිව්. ප්‍රදීප්

ඉදිකිරීම් බාගෙට කළ කොන්ත්‍රාත්කරුවෝ පැන ගිහින්
තාවකාලික පොළ භූමියේ වෙළෙඳාම දුෂ්කරයි

රුපියල් 34,793,550 (රුපියල් තිස්හතර කෝටි හැත්තෑ නවලක්ෂ තුන්දහස් පන්සිය පනහකට) ඇස්තමේන්තු කළ තඹුත්තේගම පොළ භුමියේ ඉදිකිරීම් මෙතෙක් නිමාවී නැති බව නගරවාසීහු පවසති. වෙළෙද කුටි, වැසිකිළි පහසුකම්, පානීය ජලය, අප ජලය බැසයන කානු පද්ධතියක් ඇතුළුව අංග සම්පුර්ණව ස්ථාපිත කිරීමට යෝජිතව තිබු පොළ භුමිය මෙතෙක් ව්‍යාපාරික, පාරිභෝගික ප්‍රයෝජනයට මුදාහැරීමට වගකිවයුත්තන් සමත්ව නැති බව ඔවුහු කියති.

නිදැල්ලේ අතහැර දමා ඇති පොළ භුමිය ක්‍රමයෙන් වල්වැදෙමින් ඇති බව ද ගොඩනැඟිලි විවිධ නොපනත්කම්වලට භාවිතවීමේ අවදානමට ලක්ව ඇති බව ද ඔවුහු පවසති. පැති කානු වල් වැදෙමින් ඇත.

ව්‍යාපාරික එස්. විතානගේ මහතා - දැන් පොළ තියෙන තැන තිබ්බ දේවලුත් ගලවන් ගිහිං අලුත් තැන හයිකෙරුවා. දැන් සෑහෙන කාලයක්. වැහි දවස් වලට මෙතැන වෙළෙදාම් කරන්න බෑ. වතුරෙන් නෑවෙනවා. පායනකොට දුවිල්ල. මිනිස්සු කන, බොන දේවල්නේ මෙතැන විකුණන්නේ. කවුරුවත් මේවා ගැන හිතන පාටක් නෑ.

මේ වන විට පොළ පවත්වාගෙන යන ආර්ර්‍ථීක මධ්‍යස්ථානයට යාබද භුමියේ ඉදිකොට තිබු ලක්ෂ සංඛ්‍යාත වටිනාකමින් යුතු ඉදිකිරීම් සියල්ල ද නව පොළ භුමිය වෙතට ගෙන ගොස් සවි කොට ඇත. මෙහෙයින් දැඩි හිරු රශ්මියට සහ වැස්සට මැදිවෙමින් වෙළෙදාමේ යෙදෙන්නට ව්‍යාපාරිකයන්ට සිදුව ඇති බව නගරවාසීහු කියති.

ධම්මික සෙනෙවිරත්න මහතා - ඇයි පොළ විවෘත කරන්නේ නැත්තේ කියන එක හැමෝටම ප්‍රශ්නයක්. ලක්ෂ ගාණක වියදන් කරලා හැදුව ගොඩනැගිලි කැලේට. ආණ්ඩුව පෙරලෙනකොටම කොන්ත්‍රාත්කාරයෝ කෙරුවේ මෙතැන දාල තිබුණ බෝඩ් එක ගලවපු එක. එදා ඉදලා මේ වෙනකන් දැන් අවුරුදු දෙකක් තිස්සේ මේ ගොඩනැගිලි බල්ලන්ට, හරක්ට ඇරලා තියෙන්නේ.

පොළ භුමියේ ඉදිකිරීම් පළාත් පාලන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් තලාව ප්‍රාදේශීය සභාව සහ තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් අධීක්ෂණය කෙරෙන බව ස‍දහන් පුවරුවක් ඉදිකිරීම් භුමියේ තිබූ නගරවාසිහු කියති. ආර්ර්‍ථීක සංවර්ධන අමාත්‍යාංශය මගින් ප්‍රතිපාදන සැපයෙන බව එහි සදහන් වී ඇත. පළාත් නැගුම ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පොළ භුමිය ඉදිකෙරෙන වග ද එහි සදහන් කොට තිබු බව ද නගරවාසීහු හෙළිදරව් කරති.

තඹුත්තේගම ඩබ්ලිව්. දසනායක මහතා - කවුරු මේ දේවල් කෙරුවත් හරියට කෙරුවනම් මේවා මෙහෙම වෙන්නෙ නෑ. හිතාගන්න අමාරු අයථා දේවල් මේවා පිටුපස්සේ ඇති.

තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් රේණුකා වණසේකර මහත්මිය - මේක මහ අපරාධයක්. ගොඩනැගිලි ටික දැන් කාලයක් කැලේට ඇරලා. ඒ කාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අධීක්ෂණ ආයතනයක් විදිහට නම් කරලා තිබුණට අපිට කිසිම අධීක්ෂණයක් කරන්න ලැබුණේ නෑ. ඒක ලොකු බොරුවක්. අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඇයි තාමත් මෙතැන වැඩ කරන්නේ නැත්තේ කියන එක.

තලාව ප්‍රාදේශීය සභාවේ ලේකම් කුසුම් කාංචනා ජයවර්ධන මහත්මිය - අපි අධීක්ෂණ ආයතනයක් විදිහට නම් කරලා තිබුණට පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් තමයි වැඩ සේරම කෙරුවේ. ඇත්තටම අපිට කිසිම කාර්යභාරයක් පැවරිලා තිබුණේ නෑ. ඒත් අපේ බල ප්‍රදේශයේ තියෙන නිසා මේ වැඩ ඉක්මනින් ඉවර කරන්න කටයුතු කරනවා. ජනවාරි වෙනකොට පොළ විවෘත කරන්න පුළුවන් වෙයි. මේ ගැන මං පළාත් පාලන කොමසාරිතුමියටත් දන්වලා තියෙන්නේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...