යල්පැන ගිය ක්‍රමවේද සංවර්ධනයට බාධාවක්

ජයසිරි මුණසිංහ
රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා

 

සංවර්ධන විශේෂ විධිවිධාන පනත ගෙන එන්නේ එය වැළැක්වීමටයි

පළාත් සභාවල මුල්බැස ගත් යල් පැන ගිය ක්‍රමවේද බොහෝවිට පුළුල් සංවර්ධන කාර්යයන්වලට බාධා එල්ල කරන බවත්, එය වැළැක්වීමට විනා සුපිරි ඇමැතිකම් බිහිකිරීමට නව සංවර්ධන විශේෂ විධිවිධාන පනත ගෙන එන්නේ නැති බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

රජය ඉදිරිපත් කිරීමට නියමිත සංවර්ධන විශේෂ විධිවිධාන පනතේ අරමුණු පැහැදිලි කරමින් ‘දිනමිණ’ අප සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වූ රාජ්‍ය ඇමැතිවරයා එසේ කියා සිටියි.

පළාත් සභාවලට පැවරී තිබෙන බලතල පවා අභියෝගයට ලක්වන ආකාර‍ෙය් සංවර්ධන විශේෂ විධිවිධාන පනතක් ඇයි කඩිමුඩියේ ආණ්ඩුව ගෙනඒමට උත්සාහ කරන්නේ?

අද වනවිට කලාපීය රටවල් බොහෝමයක් නිශ්චිත ප්‍රතිපත්ති රාමු සකස් කර ගැනීම ඔස්සේ තම තිරසාර සංවර්ධන ඉලක්ක වෙත ගමන් කරමින් සිටිනවා. අපිට මැදි ආදායම් ලබන රටක් ලෙස එම රටවල් සමඟ තරගකාරී මට්ටමක කටයුතු කරන්නැයි සිද්ධ වෙලා තියෙන්නේ. බොහෝ කලාපීය රටවල් ආයෝජකයන් ගෙන්වා ගැනීම සඳහා ප්‍රතිපත්තිමය තීරණ අරගෙන ඒ අවශ්‍ය සහන ලබාදී තිබෙනවා.

ඒ වගේම විදේශ ආයෝජකයෙක් අපේ රටට පැමිණි විට ඔවුන්ට අවශ්‍ය කාර්යයන් ඉටුකර ගැනීම සඳහා වඩාත් පහසු ක්‍රමවේදයන් අප රටේ නිර්මාණය කළ යුතුයි. කිසියම් කාර්යයක් කරගන්න ආයතන කිහිපයකට යන්න වෙනවා නම්, ගනුදෙනු කිරීමේ ක්‍රමවේදය අපහසු නම්, ආයෝජකයෝ අපෙන් දුරස් වෙනවා.

අද බලන්න සමහර වෙලාවට සිවිල් පුරවැසියෙක් යම් රාජ්‍ය ආයතනයකට අවශ්‍යතාවයක් ඉටුකරගැනීමට ගියවිට තිබෙන තත්ත්වය. බොහෝවිට කාලයත් ශ්‍රමයත් මුදලුත් නිරපරාදේ වැයවන තත්ත්වයකට තමයි එම ක්‍රමවේදයන් හැදිලා තියෙන්නේ. ආයෝජකයනුත් මෙම දුෂ්කරතාවට පත්වෙනවා නම් ඔවුන් විකල්ප ආර්ථික ව්‍යුහයන් වෙත ඇදීයාම වැළකිය නොහැකියි. මොකද වෙනත් රටවල් එම පහසුකම් ලබාදී තිබෙන නිසා.

ඒ නිසා ආයෝජකයන්ට අදාළ කාර්යභාරයක් සිදුකිරීම සඳහා කාර්යයන් පහසු කරන එක ආයතනයක් හෝ නිශ්චිත ඉලක්ක ගත ආයතන කිහිපයක් ඇති කිරීම අතිශය වැදගත්. මෙම සංවර්ධන විශේෂ විධිවිධාන පනත මගින් අප යෝජනා කරන්නේ එවැනි ආයෝජන හිතකර පරිසරයක් සකස් කරගැනීමට අවශ්‍ය රාමුව සකස් කරගැනීමට අවශ්‍ය යෝජනා. පළාත් සභා මට්ටමින් සංවර්ධන කාර්යයන් සිදුකිරීමේදී මධ්‍යම රජයත් සමඟ ඒවා සම්බන්ධීකරණය වීමේ ගැටලු තිබෙනවා.

එම නිසා සංවර්ධන කටයුතු අඩාල වන අවස්ථා තිබෙනවා. මේ දුෂ්කරතා වළක්වා සංවර්ධනය වේගවත් කිරීමේ අරමුණින් තමයි සංවර්ධන විශේෂ විධිවිධාන පනත ගෙන එන්නේ.

පළාත් සභාවලින් මේ පනත පරාජයට පත්වුණේ ඇයි?

දැනට පළාත් සභාවලට ඉදිරිපත් කර තිබෙන කෙටුම්පත සඳහා අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරන්න වුණත් රජය සූදානම්. ඒ පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමා පසුගියදා මහ ඇමැතිවරු කැඳවා දැනුවත් කළා.

සුපිරි ඇමැතිකම් තිබුණු පසුගිය පාලන සමයේ ඒකාධිකාරී බලයක් තුළ ක්‍රියා කළ ආකාරය අපට මතකයි. නමුත් අද අපි මධ්‍යම රජය විසින් ගෙන එන පනතක් වුව පරාජයට පත්කිරීමට තරම් නිදහසක් රටේ තිබෙනවා.

පළාත් සභාවලට මේ නව පනතේ අගය තවදුරටත් පහදාදීමට රජය සූදානම්ද?

ඔව්!

මෙවැනි පනත් කෙටුම්පත් පිළිබඳව පළාත් සභාවල මතය විමසීමට තරම් නම්‍යශීලී වෙලා තිබෙනවා. අපේ රටේ පළාත් සභාවල බොහෝ වියදම් පරිපාලන වියදම් ලෙසයි සඳහන් වෙන්නේ. සංවර්ධනය වෙනුවෙන් වියදම් කිරීමට ලොකු ප්‍රතිපාදනයක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ වගේම පළාත් සභාවල මුල් බැසගත් යල් පැනගිය ක්‍රමවේද බොහෝවිට පුළුල් සංවර්ධන කාර්යයන්වලදී බාධා එල්ල කරන බව කිව යුතුයි. පළාත් සභා නමය ගත්තම මත නමයක් සමඟ වෙන් වෙන් වශයෙන් අපට කටයුතු කරන්න සිද්ධවෙලා තිබෙනවා.

සමහර පළාත් සභාවල අය කියපු විදිහට ඔවුන් මෙය කියවන්නේ නැතිව විරෝධය පළ කර තිබෙනවා. තවත් සමහර අය වෙනත් පළාත් සභාවක් විරුද්ධ වූ නිසා විරුද්ධ වෙලා තියෙනවා. කනගාටුවට කරුණ තමයි ඔවුන් මෙහෙම කටයුතු කරන්නේ රජයක් විදිහට සංශෝධන එකතු කරන්න වුණත් සූදානම් බව දැනුම් දී තිබියදී සමහරවිට ඔවුන්ට බියක් තිබෙනවා වෙන්න පුළුවන්. පළාත් සභා ක්‍රමවේදය තුළ ගොඩනගා ගත් අවිධිමත් සම්ප්‍රදායයන් බිඳවැටෙයි කියලා. ඒ වගේම සමහර පාර්ශ්ව ඉන්නවා ආණ්ඩුව ඇතුළේ හිටියත් තවදුරටත් රාජපක්ෂ මතවාදයෙන් මිදෙන්න බැරි වුණ පිරිස්.

පළාත් සභා සමඟ නව පනත ගැන කෙරෙන කතිකාව මොනවාගේ වෙයිද? දැනුවත් කිරීම් කරන්නේ කොහොමද?

වර්තමානයේ ජාතික සංවර්ධන ක්‍රියාවලිය සඳහා පළාත් සභාවන්හි සහභාගිත්වයක් නැති තරම්.

සංවර්ධන විශේෂ විධිවිධාන පනතේ අරමුණු ජාතික සංවර්ධන කාර්යයන් සඳහා පළාත් සභාවන්හි සහභාගිත්වය සියයට සියයක් තහවුරු කිරීමයි.

මෙය පළාත් සභාවන්ට බලතල වැඩියෙන් ලබාදීමක් හා නිසි පිළිගැනීමක් ලබාදීමක්.

පනත ක්‍රියාත්මක වනුයේ වසර තුනක සීමිත කාලයකටය.

මේවායේ වැඩපිළිවෙළ මීට පෙරත් තිබුණද?

විශේෂ විධිවිධාන පනත් මීට පෙරද ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරිණි. ගල්ඔය සංවර්ධනය, මහවැලි සංවර්ධනය, මහකොළඹ ආර්ථික කොමිසම ඊට උදාහරණ කීපයක් පමණී.

අතීතයේ සෑම අවස්ථාවකම මේ විශේෂ සංවර්ධන කාර්යයන් සිදුකළේ මධ්‍යම රජය විසිනි. පළාත් සභාවන් හෝ පළාත් පාලන ආයතනයන්ට මේ ක්‍රියාවලියේ කිසිදු මූලික කාර්යභාරයක් නොවිණි.

ජාතික සංවර්ධන කාර්යයන් සඳහා පළාත් සභාවන් නිලබලයෙන් සම්බන්ධ කරගන්නා පළමු අවස්ථාව මෙයයි.

මේ අනුව පළාත් මට්ටමින් මධ්‍යම රජය ක්‍රියාවට නංවන ව්‍යාපෘති ගැන ඔබට යමක් කිව හැකිද?

වයඹ පළාත් සභාව සම්බන්ධ කරගන්නා ජාතික ව්‍යාපෘතිවලින් අපි පටන් ගනිමු.

කුරුණෑගල නගර සංවර්ධනය, හලාවත - කල්පිටිය සංචාරක කලාපය, පන්නල - කුලියාපිටිය කර්මාන්ත තීරය, ඉරණවිල - මාදම්පේ - බිංගිරිය ආර්ථික හා සංචාරක කලාපය, පොල් වගාව සහ පොල් කර්මාන්ත නවීකරණය හා සංවර්ධනය, වෙන්නප්පුව - බිංගිරිය ආශ්‍රිත සත්ව ගොවිපොළ නිෂ්පාදන අපනයනය, ධීවර අපනයනය සහ නව ධීවර වරාය ස්ථාපිත කිරීම.

මධ්‍යම පළාත් සභාව සම්බන්ධ කරගන්නා ජාතික ව්‍යාපෘති මේවායි.

මධ්‍යම අධිවේගී මාර්ගය, මහනුවර නගරය පේරාදෙණියේ සිට කුණ්ඩසාලේ දක්වා විහිදෙන නව සැලැස්මක්, සංචාරක කර්මාන්තය හා තොරතුරු තාක්ෂණය යන අංශ සඳහා අවශ්‍ය පහසුකම්වලින් මහනුවර නගරය අංගසම්පූර්ණ කිරීම, මාතලේ - මහනුවර - නුවරඑළිය යා කරන නව සංචාරක කලාපයක්, බෝගම්බර සංස්කෘතික හා සංචාරක කේන්ද්‍රස්ථානය.

උතුරු පළාත් සභාව සම්බන්ධ කරගන්නා ජාතික ව්‍යාපෘති ‍ෙමානවාද?

සැහැල්ලු සංචාරක රුවල් යාත්‍රා සහ කුඩා බෝට්ටු සඳහා අවශ්‍ය සියලු පහසුකම් සහ යාපනය ආශ්‍රිතව ලබාදීම, යාපනය කිලිනොච්චි, වව්නියාව, පරන්තන් සහ පුනරින් ප්‍රදේශයන්හි සැහැල්ලු කර්මාන්ත සංවර්ධනය, අභ්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස පලාලි සංවර්ධනය කිරීම, යාපනය, පූනරීන් සහ මන්නාරම ඔස්සේ කටුනායක අධිවේගී මාර්ගය දක්වා නව මාර්ග සම්බන්ධතාවක් ගොඩනැංවීම.

උතුරු මැද පළාත් සභාව සම්බන්ධ කරගන්නා ජාතික ව්‍යාපෘති ගැන කතා කළොත්?

අභ්‍යන්තර ගුවන්තොටුපොළක් ලෙස හිඟුරක්ගොඩ සංවර්ධනය කිරීම, පොළොන්නරුව හා අනුරාධපුර නාගරික මධ්‍යස්ථාන වශයෙන් සංවර්ධනය කිරීම ඒවාගේමයි අපි දකුණු පළාත් සභාව සම්බන්ධ කරගන්නා ජාතික ව්‍යාපෘතිත් ක්‍රියාත්මක කරනවා, සැහැල්ලු සංචාරක රුවල් යාත්‍රා වරායයන් ලෙස ගාල්ල සහ තංගල්ල සංවර්ධනය කිරීම, දේද්දුව - අකුරල සංචාරක කලාපය, කෘෂිකාර්මික සහ ධීවර සංවර්ධනය, හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපොළ සැපයුම් සහ කාර්ය සංවිධාන කේන්ද්‍රස්ථානයන් බවට පත්කිරීම, හම්බන්තොට කේන්ද්‍ර කොට ගත් ආර්ථික හා කර්මාන්ත කලාපය

නැගෙනහිර පළාත් සභාව සම්බන්ධ කරගන්නා ජාතික ව්‍යාපෘති මොනවාද?

ත්‍රිකුණාමල වරාය නවීකරණය හා ඒ ආශ්‍රිතව කර්මාන්ත හා සංචාරක ව්‍යාපාර ඇතුළු විශේෂ ආර්ථික කලාපයක් ඇතිකිරීම, වාණිජ කටයුතු සඳහා ඔලුවිල් වරාය විවෘත කිරීම, කෘෂිකර්මය සහ කෘෂි නිෂ්පාදන පදනම් වූ කර්මාන්ත සංවර්ධනය, නිලාවෙලි - අරුගම්බේ සංචාරක තීරය සංවර්ධනය කිරීම.

සබරගමුව පළාත් සභාව සම්බන්ධ කරගන්නා ජාතික ව්‍යාපෘති ගැන කිව්වොත්?

පොතුහැර - කෑගල්ල අධිවේගී මාර්ගය, රත්නපුර - පැල්මඩුල්ල අධිවේගී මාර්ගය, කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘති, තේ හා රබර් කර්මාන්ත නංවාලීම හා නවීකරණය, කර්මාන්ත කලාප, සංචාරක ව්‍යාපාර සංවර්ධනය, රත්නපුර මැණික් කර්මාන්තය සංවර්ධනය සහ නවීකරණය

ව පළාත් සභාව සම්බන්ධ කරගන්නා ජාතික ව්‍යාපෘති තියෙනවාද?

නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක, කොළඹ - මහනුවර අධි‍ෙව්ගී මාර්ගයට හා මත්තල හරහා දක්ෂිණ අධිවේගී මාර්ගයට සම්බන්ධ කිරීම, ප්‍රාදේශීය තේ නිෂ්පාදනය වර්ධනය කිරීමේ පහසුකම් සැලසීමක් ලෙස බණ්ඩාරවෙලට විශේෂ අවධානය සහිතව බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනය සැලැස්ම.

හම්බන්තොට ආර්ථික සංවර්ධන කලාපය මොනරාගල දක්වා විහිදුවීම මෙවැනි ජාතික සංවර්ධන කාර්යයන් සඳහා පළාත් සභාවන් පූර්ණ වශයෙන් එක්කර ගැනීමයි මේ පනත ගෙනඒමේ අරමුණ.

එසේ නම් කවුරුන්ද මේ පනත ගෙන එනවාට විරුද්ධ වන්නේ?

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් සංවර්ධනය වනු දැකීම අකමැති පටු දේශපාලන බලවේග මේ පනත සම්බන්ධ වැරදි මත සමාජගත කරන්නට කටයුතු කරනවා. ඒ ගැන අපට කනගාටුයි.

මේ පනත සංශෝධන සහිතව ගෙන ඒමට පවා නොහැකි වුණොත්?

අපි එසේ වෙයි කියා සිතන්නේ නැහැ. නමුත් පළාත් සභාවත් මෙම සංවර්ධන කාර්යයන් හා සම්බන්ධ වී එකට එක්ව වැඩ කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නම් අතීතයේ ජාතික සංවර්ධන කාර්යයන් සිදුකෙරුණු ආකාරයටම මධ්‍යම ආණ්ඩුව විසින් පමණක් මේ වැඩ දියත් කරන්නට ඉඩ තිබෙනවා.

 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...