සීය පැන්න සීයාගෙන් පාපැදි ලෝක වාර්තාවක්

ප්‍රින්ස් ගුණසේකර

ප්‍රංශයේ උතුරු පළාතේ ඇමීනස් ගම්මානයේ උපත ලද වයස 105ක්වූ රොබට් මර්චන්ට් පැයක කාලයක් ඇතුළතදී සැතපුම් 14ක් දුර පාපැදි ධාවනයෙන් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වෙයි. සියවසක් පිරුණු මේ එඩිතර මිනිසා මෙවැනි හපන්කමක් කිරීම පිළිබඳව සියුම් ආඩම්බරයක් ලබනවා පමණක් නොව මීළඟ අදියරේදී පාපැදි තරගයකට මුහුණදීමට ඔහු හා සමාන ප්‍රතිවාදියකු සොයමින් සිටී.

ඇත්තටම වයස සියයක් පිරුණු පසු පාපැදි ධාවනයෙන් ලෝක වාර්තාවක් තැබිය හැකිද? ඒ ප්‍රශ්නයට සාර්ථක පිළිතුරක් මේ මිනිසා ලබා දුන්නේ කෙසේද? ඒ ක්‍රියාකාරීත්වය පසුපස ඇති රහස කුමක්ද? එය අපූර්ව කතාන්දරයකි.

වසර 1911 නොවැම්බර් මස 26වැනිදා උපත ලද රොබර්ට් මර්චන්ට් මේ ලෝක වාර්තාව පිහිට වූයේ ප්‍රංශයේ ජාතික වෙලේඩ්‍රෝම් ධාවන පථය පිහිටි කලාත්මක ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීය. එය ලොව සුපිරි පාපැදි ශූරයන් බිහිවූ ධාවන පථයකි. වට 92කින් සමන්විතවූ ඔහුගේ පාපැදි ධාවනය නිමාවීමට මිනිත්තු 10ක් තිබියදී ධාවනය නිමා කිරීමේ සංඥාවක් නිකුත් කෙරුණි. එහෙත් එය ඔහුට දැනී නැත.

“මම ඒ සංඥාව දැක්කේ නෑ. ධාවනය නිමා කිරීමට මිනිත්තු 10කට පෙර නිකුත් කළ සංඥාව දැක්කා නම් මගේ වේගය තවත් වැඩිවෙනවා. එහෙම වුණානම් මගේ කාලය තවත් හොඳ වෙනවා” යැයි රොබර්ට් මර්චන්ට් මාධ්‍යයට පැවැසීය.

“මට දැන් ඕනේ හොඳ ප්‍රතිවාදියෙක්. මෙයට වඩා හොඳ යමක් කරන්න මට පුලුවන්. මට කිසිවිටෙකත් පාපැදි ශූරයකු වෙන්න ඕනේ නෑ. මම ලෝකයට ඔප්පු කළේ වයසින් වැඩිවීම කිසිම දේකට ප්‍රශ්නයක් නොවන බවයි. මේක ලෝක වාර්තාවක් වගේම හොඳ ආදර්ශයක් වේවි. මා දිගින් දිගටම පාපැදි තරගවලට යන්න හිතන්නේ නෑ”

රොබට් මර්චන්ඩ් මුලින්ම ගිනි නිවන නිලධාරියකු ලෙස සේවය කර ඇති අතර පසුව රියදුරෙකු ලෙස හා ගස් කපන්නෙකු ලෙස ද ජීවනෝපායේ නිරත විය. මේ පසුබිම මත ඔහු පාපැදි ධාවනය ආරම්භ කර ඇත්තේ වයස අවුරුදු 68ක් පිරුණු පසුය. ඔහු ඒ සමගම මොස්කව් සිට පැරීසිය දක්වා එක දිගට සැතපුම් 1800ක දුරක පාපැදියෙන් ගමන් කොට ඇති ඉතිහාසයක් ද තිබේ.

වයසට ගියත් මෙතරම් ශක්තිමත් ක්‍රියාකාරීත්වයට හා ක්‍රීඩාශීලීත්වයට ඇති රහස් රොබට් මර්චන්ඩ්ගේ පුහුණුකරු හා මිතුරෙකු වූ ගෙරල්ඩ් මිස්ට්ලර් පසුව හෙළි කළේය.

“රොබට් දුම් පානය සම්පූර්ණයෙන්ම අතහැර දැමූ අයෙක්. එළවලු හා පළතුරු වැඩි වශයෙන් ආහාරයට ගන්නවා. මාංශ ආහාරයට ගැනීම ඔහු එතරම් ප්‍රිය කරන්නේ නෑ. කෝපි පානය නොකිරීමට වග බලා ගන්නවා වගේම සෑම දිනකම පැයක් පාපැදි ධාවනය පුහුණු වෙනවා. උත්සවයකදී මෘදු වයින් පොඩ්ඩක් පානය කරනවා. මත්පැනින් වැළකී සිටිනවා. රොබට්ගේ දින චර්යාව නිමා වෙන්නේ සෑම දිනකම රාත්‍රී 9ට පෙර නින්දට යෑමෙන්” ගෙරල්ඩ් මිස්ට්ලර් පැවැසීය.

ප්‍රංශ සවාරිය හැර රූපවාහිනී වැඩ සටහන් නිතර නැරැඹීමට ඔහු උනන්දුවක් නොදක්වන අතර, පොත් පත් විශාල සංඛ්‍යාවක් කියවා මනස ප්‍රබෝධයෙන් තබා ගැනීම වයසට වඩා වැඩ පෙන්වීමට හේතුවක් බව හෙළි කළේය.

මේ වසර ආරම්භයේදී ලෝකයට හොඳම ආදර්ශයක් දුන් හිතෙන් තරුණ පරිණත මිනිහෙකුගේ අපූරු කතාවක් ඒ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...