නීතියට මල් මිටක්!

රටේ පවත්නා නීතිය යහපත් බව ද, එය යුක්ති සහගත ලෙස ක්‍රියාත්මක වන බව ද සනාථ කරන ප්‍රධාන සිදුවීම් දෙකක් වාර්තා වී ඇත. පළමු සිද්ධියට අනුව චුදිතයකුට පහර දී මරා දැමීම හා තවත් සිවු දෙනකුට පහරදීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් හය දෙනකුට මරණීය දණ්ඩනය නියම වී ඇත. දෙවන සිද්ධියට අනුව පොලිස් නිලධාරියකුට අසත්‍ය චෝදනාවක් මත උසස්වීම් හා වෙනත් අයිතිවාසිකම් අහිමි කිරීම සම්බන්ධයෙන් සාධාරණය ඉෂ්ට වී ඇත. ඒ අනුව හිඟ වැටුප්, උසස්වීම් සමඟ වන්දි මුදලක් ද උක්ත පොලිස් නිලධාරියාට හිමි වනු ඇත. මේ තීරණ ගැනීම සඳහා කිසිදු බලපෑමක් සිදු වී නැත. නීතිය දැන් හරිහැටි ක්‍රියාත්මක වන්නේ යැයි රටේ ජනතාවට සතුටු විය හැකි ය.

පළමු තීන්දුවට අදාළ සිදුවීම වාර්තා වී ඇත්තේ 2014 මැයි හත්වන දා ය. මීගහකිවුල, කොස්ෆාම්හි අගුරුකඩුව ප්‍රදේශයේ දී පොලීසිය විසින් පස්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුනට එරෙහිව ගොනු වී තිබූ චෝදනාව වූයේ නිදන් හෑරීම යන්න ය. එහෙත් මේ පිරිස සත්‍යය ලෙස ම අදාළ ප්‍රදේශයට ගොස් ඇත්තේ ත්‍රිරෝද රථයක් මිලට ගැනීම සඳහා ය. අත්අඩංගුවට පත් පුද්ගලයන් වෙත බලවත් ප්‍රහාර එල්ල වී ඇත. මියගිය පුද්ගලයාගේ වෛද්‍ය වාර්තාව සඳහන් කරන්නේ ඔහුගේ පපු ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයකින් පෙණහැල්ලට හානි සිදු වී අභ්‍යන්තර රුධිර ගලනයකින් මරණය සිදු වී ඇති බව ය. එම පුද්ගලයාගේ සිරුර අභ්‍යන්තරයෙහි තුවාල අටක් තිබූ බවද වෛද්‍ය වාර්තාව සඳහන් කරයි.

පොලීසියට සැකකරුවන් ඇල්ලීමට හා ඔවුන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට අයිතියක් තිබේ. එහෙත් පහරදීමට අයිතියක් නැත. පුද්ගලයකුට මැරෙන තුරු පහරදීම යනු බලවත් සාහසික ක්‍රියාවකි. පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ දී අවම බලය පාවිච්චි කරන ක්‍රමයක් තිබේ. විශ්වවිද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් වූ නඩු විභාගයකදී විනිසුරු තුමෙක් පොලීසියෙන් අසා සිටියේ ළමයින්ගේ ඇස් එළියට පනිනතුරු පහරදීම අවම බලය පාවිච්චි කිරීමක් ද යන්න ය. මීගහකිවුල සිද්ධියේ දී පොලිස් නිලධාරීන් අවම බලයක් පාවිච්චි කර නැත. ඔවුන් උපරිම බලය පාවිච්චි කොට සැකකරුවන් පස් දෙනාටම නොසෑහෙන්නට පහර දී තිබේ. අසත්‍ය චෝදනාවක් ඉදිරිපත් කොට සිවිල් වැසියන්ට අමානුෂික ලෙස පහරදීම කිසිසේත්ම අනුමත කළ නො හැකි ය.

සැකකාර පුද්ගලයන් ළඟ නිදන් හෑරීම සඳහා ගෙන යායුතු ආම්පන්න තිබී නැත. එලෙස ම ඔවුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ආරක්ෂිත ප්‍රදේශ ලෙස නම් කර ඇති ස්ථානයකට ගොස් නැත. මේ කරුණුවලින් ද පෙනී යන්නේ නිදන් හෑරීම පිළිබඳ චෝදනාව සාධාරණ ලෙස සාක්ෂි සහිත ව ඔප්පු කළ නොහැකි බව ය. සිද්ධියට අදාළ වසර තුළ නිදන් හෑරීම පිළිබඳ සිද්ධි ගණනාවක් වාර්තා වී ඇත. මේ සිද්ධි පසුපස රටේ ප්‍රබල දේශපාලකයන් සිටි බවට ද තොරතුරු හෙළිදරව් වී ඇත. එහෙත් කිසිදු දේශපාලකයකු නිදන් හෑරීමට අදාළව අත්අඩංගුවට ගත් බවක් අපට මතක නැත. පොලීසිය තෝරු -මෝරු අතහැර හාල්මැස්සන් දඩයමේ යෙදී ඇති බවක් එදා ප්‍රචාරය විය. මේ සිද්ධියේ දී නිදන් හෑරීමට කිසිදු සම්බන්ධයක් නැති පුද්ගලයන් අත්අඩංගුවට ගෙන පහර දී ඇත. එය හැම අතකින් ම නීතියට පටහැනි ය.

දෙවන සිද්ධියේ දී අයුක්තියට ලක් වූ පොලිස් නිලධාරියකුට සාධාරණය ඉටු වී ඇත. මේ පොලිස් නිලධාරියාට චෝදනාවක් එල්ල වී ඇත්තේ සැකකාරයකු ගේ මවකගෙන් අල්ලසක් ලබා ගැනීම ගැන ය. සිදුකළ පරීක්ෂණයේ දී පොලිස් නිලධරයා නිදහස් වී ඇත. එහෙත් දෙපාර්තමේන්තුවේ ලොක්කන් මේ සිද්ධියට මුවා වී පොලිස් නිලධරයාගෙන් පළිගැනීමක් සිදු කර තිබේ. ඔහුට හිමිවිය යුතු උසස්වීම් හා වෙනත් වරප්‍රසාද ඒ අනුව කපා හැර තිබේ. පොලිස් නිලධාරීන් වෙත ප්‍රදානය කළ පොදු උසස්වීම් හා පොදු වැටුප් වර්ධක පවා මේ නිලධාරියාට ලැබී නැත. ඔහු නඩු මගට පිවිසෙන්නේ ඊට පසුව ය. වැඩි කාලයක් ගත නොවී නඩුවේ තීන්දුව ලබා දී ඇත. ඒ අනුව අදාළ පොලිස් නිලධාරියාට උසස්වීම්, හිඟ වැටුප් පමණක් නොව වන්දි මුදලක් ද ගෙවීමට උසාවිය නියෝග කර තිබේ. ආයතනවල ලොක්කන්ට මේ සිද්ධිය හොඳ පාඩමක් හැටියට ගත හැකි ය.

රටක් ආර්ථික වශයෙන් දියුණුවට පත් ව තිබෙන්නේ වුව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන්නේ නම් ඒ රට සංවර්ධිත රටක් හැටියට පිළිගන්නේ නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානය රටක සංවර්ධිතභාවය මනින සාධක කිහිපයක් තිබේ. ඒ අතර ප්‍රධාන වන්නේ නීතියේ ආධිපත්‍යය, යහ පාලනය, මානව අයිතිවාසිකම් රැකීම, සෞඛ්‍ය හා අධ්‍යාපනය දියුණු කිරීම වැනි කරුණු ය. ශ්‍රී ලංකාවට මීට පෙර අන්තර්ජාතික වශයෙන් චෝදනා එල්ල වූ සාධක කිහිපයක් ද තිබේ. ඒවා අතර නීතියේ ආධිපත්‍යය බිඳවැටීම, ඒකාධිපති පාලනය, මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වැනි කරුණු තිබේ. වත්මන් ආණ්ඩුව මේ සාධක හොඳ තත්ත්වයකින් පවත්වාගැනීමට බලවත් වෙහෙසක් දරයි. ඉහත සඳහන් සිද්ධි දෙකෙන්ද පැහැදිලි වන්නේ නීතියේ ආධිපත්‍යය පිහිටුවා ගැනීම ඉදිරියේ රට සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගනිමින් සිටින බවය.

නීතියේ ආධිපත්‍යය, යහ පාලනය, මානව හිමිකම් ආරක්ෂා කිරීම යන සාධක සාර්ථකව පවත්වා ගැනීමට දරන වෑයම ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක් වී ඇති බව ද කිව යුතුය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට එල්ල කරනු ලබන චෝදනා මේ අනුව ලිහිල් වී ඇත. මානව හිමිකම් පිළිබඳ වෙනත් ආයතන ද, ධනපති රටවල් ද ශ්‍රී ලංකාව විවේචනය කිරීම හා ලංකාවට චෝදනා කිරීම නවතා ඇත. යුරෝපා සංගමය සිය තහංචි ඉවත්කොට ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය ලබා දීමට පොරොන්දු වී ඇත. මෙය හොඳ තත්ත්වයකි. මෙබඳු යහපත් පසුබිමකින් තොරව රට ඉදිරියට ගෙන යෑම අපහසු ය. ඉහත සඳහන් සිද්ධි දෙකෙන් තවත් කරුණක් සනාථ වෙයි. එනම්; නීතිය කාටත් සාධාරණ ලෙස ක්‍රියා කරන බවය. මීගහකිවුල සිද්ධියේ දී පොඩි මිනිහාට යුක්තිය ඉටු වී ඇති අතර දෙවන සිද්ධි යේදී ද පොඩි මිනිහාට යුක්තිය ඉටු වී තිබේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...