මෝටර් රථ සහ ටයර්

පසුගිය සතියේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ‘බලගතු ශ්‍රී ලංකාවක්’ ප්‍රකාශයටපත් කරමින් ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික උපාය මාර්ගයක් පිළිබඳව කරුණු ඉදිරිපත් කෙළේය.

එසේම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ද 2017 ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්‍රියාමාර්ග හා ආර්ථික ගමන්මග පිළිබඳව ද ගෝලීය ආර්ථිකයෙන් එල්ල විය හැකි අන්තරායයන් ගැන ද සිය නිලධාරීන් අමතා කරුණු පැහැදිලි කෙළේය. ජනවාරි 03 වනදා මේ කරුණු පැහැදිලි කිරීම සිදු කෙළේ සෑම වසරක් මුලම මෙවැනි දෙසුමක් කිරීමේ මහ බැංකු සම්ප්‍රදාය අනුගමනය කිරීමක් වශයෙනි.

අමෙරිකානු පොලී අනුපාත, ගෝලීය ආර්ථික අවපාත, ඉන්ධන මිල ඉහළ යෑම, චීනයේ ආර්ථිකය වැනි කරුණු ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැඩ ගැස්වීමේ දී එල්ල විය හැකි බාධකයන් යැයි මහ බැංකු අධිපතිවරයා එහිදී සඳහන් කෙළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති ඇපැහැදිලියැයි කියැවෙන ප්‍රකාශ මෙන්ම, මාධ්‍ය වාර්තා ද පසුගිය කාලය තුළ අසන්නට ලැබුණි. එම නිසා විදේශ ආයෝජන රට තුළට ගලා නොඑන බවටද රට තුළ ඇති විදේශ ආයෝජන රටින් පිටට ගලායන බවට ද චෝදනා එල්ල විය.

සෘජු විදේශ ආයෝජන රට තුළ තබා ගැනීම නීති මගින් හෝ බලහත්කාරයෙන් හෝ කළ හැකි දෙයක් නොවේ. එය හුදෙක් ආයෝජක අභිප්‍රාය හෝ ආයෝජක තැතිගැන්ම මත සිදුවන්නකි. තෙල් මිල පහළ යෑම සමඟ තෙල් කර්මාන්තයට ආයෝජන හිඟවීමෙන් බොහෝ තෙල් ළිං කැණීම් අතරමඟ නතර විය. සවුදි ආයෝජකයෝ මෙක්සිකෝවේ හා යුරෝපයේ ඉදිකිරීම් කර්මාන්තයට සම්බන්ධ වූහ. 1983 ජාතිවාදී කෝලහල සමඟ ශ්‍රී ලංකාවේ ආයෝජන හකුලා ගත්හ.

මොටර් රථ තාක්ෂණය

අගමැතිවරයා සහ මහ බැංකු අධිපතිවරයා සිය ප්‍රකාශ මගින් කියා තිබුණේ, විදේශීය වෙළෙඳාම මෙන්ම සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැන්ම ද නොවලහා කළ යුතු බවයි.

පසුගිය සතිය ඇතුළත කර්මාන්ත ශාලා කීපයක් විවෘත විය. කුලියාපිටිය මෝටර් රථ එකලස් කිරීමේ කම්හල ඇමෙරිකානු ඩොලර් දසලක්ෂ 26.5ක ආයෝජනයකි. සෘජු රැකියා සහ වක්‍ර රැකියා අවස්ථා දහස් ගණනකට මඟ පෑදෙන්නා වූ මේ කම්හලේ නිෂ්පාදනය වන වාහන දේශීයව ද, පසුව විදේශියවද අලෙවි වේ.

ජර්මානු මෝටර් රථ තාක්ෂණය ද ශ්‍රී ලංකාවට හිමිවේ. වොක්ස්වාගන් මෙන්ම සෙසු යුරෝපීය වාහන නිපදවන මේ කම්හල ආරම්භක වශයෙන් සී.සී 1000 – 2000 අතර කාණ්ඩයේ ඩීසල් වාහන නිපදවයි.

වොක්ස්වාගන් යන නිෂ්පාදනය පිළිබඳව දැන් නිෂ්ඵල විවාදයක් හටගැනී ඇත. වොක්ස්වාගන් යනු පොල් කට්ටකින් වසා තැබිය හැකි සමාගමයක් නොවේ. එහි ආරම්භය 1937 ජර්මනියයි. ඇමෙරිකානුවන්ට මෙන් ජර්මානුවන්ටද පෞද්ගලික කුඩා මෝටර් රථයක් හිමිවිය යුතු ය යන ඇඩොල්ෆ් හිට්ලර්ගේ විධානය වොක්ස්වාගන් මෝටර් රථයේ උපතයි.

ජර්මනියේ වුල්ෆ්ස්බර්ග් මූලස්ථානය කරගත් එම සමාගමයේ 2014 පිරිවැටුම යුරෝ බිලියන 245 කි. 2016 වන විට එම සමාගමයට සම්බන්ධ සේවක සංඛ්‍යාව 6,10.000 කි. 2015 නිපදවන ලද රථවාහන සංඛ්‍යාව දසලක්ෂ 10.17 කි. රටවල් 100 ක පාරිභෝගික කටයුතු කෙරෙන අතර රටවල් 27 ක් නිෂ්පාදන කටයුතුවලට සම්බන්ධය. නිෂ්පාදන රටවල් අතර මෙක්සිකෝ, එක්සත් ජනපදය,ස්ලොවැකියාව, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, රුසියාව, මැලේසියාව, බ්‍රසීලය, ස්පාඤ්ඤය, පෝලන්තය, චෙක් ජනරජය, බොස්නියා, හර්ස ගොවිනා සහ දකුණු අප්‍රිකාව ප්‍රධානය.

වෙනත් නම් සහිත සමාගම් වොක්ස්වාගන් රථ එකලස් කිරීමේ යෙදී සිටිති. ඒ අතර බංගලාදේශයේ PRAGOTI, තායිවානයේ CHINCHUNG රියෝ ද ජනයිරෝ නගරයේ RESEND සමාගම් මුල් තැනක් ගනී.

වොක්ස්වාගන් මව් සමාගමය මේ වනවිට දැඩි නීතිමය ප්‍රශ්නයකට මුහුණ දී සිටී. 2015 දී ඇමෙරිකාවේ අලෙවි කළ මෝටර් රථ 4,75,000 ක රහසිගත උපකරණයක් සවිකර වායු දූෂණ අවම කිරීම පිළිබඳ චෝදනාවක් නිසා ‍වොක්ස්වාගන් සමාගමය අමාරුවේ වැටී සිටී.

තව දින කීපයකින් ඔබාමා පාලනය නිමාවන්නට පෙර විශාල වන්දියක් ගෙවා මේ අවුල ලිහාගන්නට වොක්ස්වාගන් සමාගමය කටයුතු කරන බව පසුගිය සිකුරාදා එනම් ජනවාරි 06 රොයිටර් වාර්තාවක් ප්‍රකාශ කරයි.

වොෂිංටන් නුවරින් නිකුත් වූ එම වාර්තාව ලියන ඩේවිඩ් ෂෙපර්ඩ්සන් පවසන්නේ ඇමෙරිකා ඩොලර් බිලියන 4 – 5 අතර ප්‍රමාණයක වන්දියක් ගෙවීම ගැන තීරණය මේ සතියේ හෝ ඉදිරි සතිය මුල ප්‍රකාශයට පත්වන බවයි.

නඩුව සමථයට පත්වීම ඇමෙරිකානු උපරිමාධිකරණ විනිශ්චයකාර චාල්ස් බ්‍රෙයර් ඉදිරියේ සිදු වෙතැයි ද වොක්ස්වාගන් රථ අලෙවියට ඇති බාධා ඉන්පසු ඉවත්වෙතැයි ද රොයිටර් වාර්තාව කියයි.

ඇමෙරිකා ඩොලර් දස ලක්ෂ 40 ක ආයෝජනයක් සහිත රිජිඩ් ටයර් කම්හල සඳහා මුල්ගල් තැබීම ද ගිය සතියේ හොරණ වගවත්තේ දී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අතින් සිදුවිය.

මෙය ශ්‍රී ලංකාවේ රබර් මිශ්‍රිත කර්මාන්තයක් නිසා එමගින් රබර් කර්මාන්තයට ද රුකුලකි. ක්වාලාලාම්පූර්හි දී පැවති ලෝක ස්වාභාවික රබර් නිෂ්පාදකයන්ගේ සමුළුවේදී ස්වාභාවික රබර් නිෂ්පාදක රටවල් දිරිමත් කරන ලද්දේ රබර් මිශ්‍රිත කර්මාන්ත ශාලා ඇරැඹීමටය. ශ්‍රී ලංකාව ද ලෝක රබර් සමුළුවේ සාමාජික රටකි.

මේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත සියලුම ටයර් විදේශීය වෙළෙඳ පොළ සඳහා ය. කෘෂිකාර්මික හා කර්මාන්ත සඳහා අවශ්‍ය වන ටයර් වර්ග මෙහි නිෂ්පාදනයෝය. මේ මඟින් දේශීය රබර් කර්මාන්තයට ද නැගී සිටීමට අවස්ථාව ලැබේ.

දැනට ලොව රටවල් 50ක මේ සමාගමයේ නිෂ්පාදන අලෙවි වේ.

ඇමෙරිකාවේ කාල්සන් රිසයිඩර් සමාගමය ශ්‍රී ලංකාවේ සමාගමයක් ද සමඟ එක්ව කාමර 216 කින් යුත් සංචාරක හෝටලයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක්ද මේ සතියේ ඇරැඹේ. මේ සඳහා යන වියදම රුපියල් බිලියන දෙකකි.

වැසුණු ඇරුණු කර්මාන්ත

පසුගිය සතියේ සිදු වූ තවත් ව්‍යාපාරික පෙරළියක් නම් වසර 12 කට පෙර වසා දමන ලද කාබුල් ලේස් ගිරිඋල්ල කම්හල මාස් හෝල්ඩිංග්ස් සමාගම විසින් බාර ගැනීමයි.

එමඟින් තුන් දහසකට පමණ ස්ථිර රැකියා අවස්ථා සලසා දීමත්, වසර තුනක් තුළ ඩොලර් දසලක්ෂ 60 – 70 අතර අපනයන ආදායමක් උපයා ගැනීමත් සිදු වේ. මේ සඳහා ආයෝජනය ඇ. ඩොලර් දසලක්ෂ 28කි.

රටවල් 15ක පිහිටි MAS කම්හල් මඟින් රැකියා අවස්ථා 86,000ක් උදාකර දී ඇති අතර කිලිනොච්චි කම්හලේ 2000 සේවය කරති.

මේ කම්හල පවරා දීමේ අවස්ථාවට සහභාගි වූ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ජී.එස්. පී. සහනය ශ්‍රී ලංකාවට ලැබුණු පසු ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය තුළින් තව තවත් රැකියා අවස්ථා බිහිවන බව ද කියා සිටියේය.

කොග්ගලින් තවත් පියවරක්

තරුණ තරුණියන් 7000කට නව රැකියා අවස්ථා ලබාදෙන ඒ.ටී.ජී. අත්වැසුම් නිෂ්පාදන සමාගමේ නව කර්මාන්ත ශාලාව ද කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ දී විවෘත වීම ගිය සතියේ සිදුවිය. එය ඇ. ඩොලර් දසලක්ෂ 50ක ආ‍යෝජනයකි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත වූ මේ කම්හල කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ අවසන් කර්මාන්ත ශාලාවයි.

1994 ජුනි 14 දින කොග්ගල නිදහස් වෙළෙඳ කලාපය විවෘත කරන ලද්දේ ද එවක කර්මාන්ත සංවර්ධන ඇමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

අක්කර 227 විශාලත්වය දරන කොග්ගල නිදහස් වෙළෙඳ කලාපය තුළ පිහිටි කර්මාන්තශාලාවන් හි සේවක සේවිකාවෝ 12740 ක් සේවය කරති.

බියගම නිදහස් වෙළෙඳ කලාපය පිහිටුවීමට රනිල් වික්‍රමසිංහ මහතා පුරෝගාමී මෙහෙවරක් ඉටු කෙළේය.

රුහුණු සිරිලක සංවර්ධන නවෝදයේ ඇරැඹුම ද අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට මිරිජ්ජවිල ආයෝජන කලාපයේ දී ගිය සෙනසුරාදා ඇරඹිණ.

ඇමෙරිකා ඩොලර් කෝටි 200ක ආ‍යෝජන සහිත රුහුණු සිරිලක සංවර්ධන ව්‍යාපෘතිය මඟින් හම්බන්තොට වරායේ ව්‍යාපාරික කටයුතු මෙන්ම ඒ අවට සිමෙන්ති නිෂ්පාදනය, ගෑස් කර්මාන්ත සහ නැව් තටාකාංගන වැනි බැර කර්මාන්ත ද ඇරැඹීමට නියමිතය.

රුපියල් බිලියන 1000 ක ආයෝජන රට ඉදිරියේ ඇති බව අගමැතිවරයා සඳහන් කර තිබේ. මැද පෙරදිග සහ ආසියාවෙන් මෙන්ම සෙසු රටවලින් ද මේ ආයෝජන ඇද ගැනීම සඳහා කර්මාන්ත කලාප සූදානම්ය. එසේම සංවර්ධනයට අවහිර වන නීති රීති වෙනස් කළ යුතු බව ද ඔහු කියා සිටියේය.

විදේශ ආයෝජන ආකර්ෂණය කර රට කාර්මිකකරණය කිරීම සඳහා චීනය මෙන්ම ඉන්දියාව ද සිය පැරැණි නීති රීති රාශියක පොතු ගළවා නව ලොවට අවශ්‍ය පරිදි අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ බව නොරහසකි.

චීනය විදේශීය සමාගම් ලියාපදිංචි කිරීමේ නීති රීති වරින් වර ලිහිල් කළ අතර නවතම සංශෝධනය ක්‍රියාත්මක කෙළේ පසුගිය සැප්තැම්බර් 16 වනදාය. ඔක්තෝබර් 01 වනදා සිට බලාත්මක වූ සංශෝධනයකට අනුව සමාගම් ලියාපදිංචියේ පෙර විමසුම් නීති ලිහිල් වේ.

2017 වසර තුළ සෘජු විදේශ උකහා ගැනීම සඳහා ඉන්දියාව 2016 වසරේ දී නීතිමය ප්‍රතිසංස්කරණ කිහිපයක් සිදු කළේය. ඒ පිළිබඳ විස්තර (THE FINANCIAL EXPRESS 2016 DEC.16) වාණිජ හා කර්මාන්ත ඇමැතිනී නිර්මලා සීතාරමන් මහත්මිය පී.ටී. අයි පුවත් සේවයට පවසා ඇත. මේ අනුව ආහාර ද්‍රව්‍ය කර්මාන්තය FOOD IN DUSTRY ඇතුළු ක්ෂේත්‍ර රාශියක නිෂ්පාදන සඳහා සියයට සියයක සෘජු විදේශ ආ‍යෝජන රට තුළට වැද්ද ගැනීමට ඉන්දියාව නීති රීති ලිහිල් කර තිබේ.

සෘජු විදේශ ආයෝජන සඳහා ආසියාවේ ඇති තරගය ඉතා දැඩිය. දැන් වියට්නාමය සහ ඉන්දුනීසියාව එකිනෙකා පරාද කිරීමට වෙර දරති. මෙවැනි පරිසරයක ශ්‍රී ලංකාවට ද තරග කිරීමට සිදුව තිබේ.

වෙළෙඳ කලාප සඳහා ඉඩම් තෝරාගැනීමේදී නව නීති රීති හඳුන්වා දෙන අතර රාජ්‍ය සතු ඉඩම් මේ සඳහා උපයෝගී කර ගැනීමට නියමිතය.

කරුණාරත්න අමරතුංග


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...