රැකෙන්නට නම් ගැහැනිය කොණ්ඩේ කපා රැවුල වවන්නද?

2017 උදාවීම ඉන්දියාවේ බැංගලෝර් නගරයේ සමහර කාන්තාවන්ට ඔවුන්ගේ ජීවිතයේ විඳින්නට වූ ඉතාම අප්‍රසන්න, ප්‍රචණ්ඩකාරීම අත්දැකීමක් වීම, සමස්ත ඉන්දියාවේ පමණක් නොව ආසියාවේ සමහර අනිත් රටවල් පවා අවාසනාවන්ත අවධානයකට ලක් කළ මොහොතක් විය. නව අවුරුදු උදාව උත්සව සිරියෙන් විඳින්නට ගිය ගැහැනුන්ට පමණක් නොව, වෙනදා වාගේම තමන්ගේ රැකියාවලට, තමන්ගේ වැඩමුර ඉවර කර ගෙදර යන ගැහැනුන්ට පවා ලිංගික, ශාරීරික හිංසාවන් කළ අධම මොහොතක් එතැන රැස්වී සිටි බොහෝ දෙනා එක් වී කළ සමූහ අපරාධයක් (mass molestation) ලෙස සනිටුහන් වීම අසන්නට දකින්නට වීම, මේ තරම් නූතන, උගත්, නිදහස් චින්තනයකට මිනිසා පැමිණෙන ලෝකය ගම්මානයක් වූවා යැයි අප පාරම්බානා කාලයක, සිදු වීම සිරියාවේ, අලේපෝ හී වූ ජීවිත හානිය තරමටම අමානුෂික යැයි මම සිතමි. ඉහළ වැටුප් ලබන, උගතුන් විසින් හොබවන තොරතුරු තක්ෂණය, සහ පරිගණක තාක්ෂණය සමඟ බැඳි රැකියාවන්හී නිරත වන, නූතන, නිදහස් ගැහැනුන් සැරිසරන බැංගලෝර් නගරය ඉන්දියාවේ ‘සිලිකෝන් නිම්නය’ ලෙස හැඳින්වෙද්දි, එවැනි නගරයක මේ සා ම්ලේච්ඡ, ප්‍රාථමික අපරාධ ප්‍රසිද්ධියේ සිදු වන තැනට පත්වීම සැණෙන් වූවක් නොවේ.

නව අවුරුදු උදා සිරිය විඳින්න්ට ගිය ගැහැනුන් සහ අනෙක් ගැහැනුන් අතපත ගාමින්, ඔවුන්ගේ ඇඳුම් ඉරා දමන්නට තැත් කරමින් ඇතැම් විටෙක පහරදීම් පවා කරමින් කළ මේ ප්‍රචණ්ඩ හිංසාව අභිමුවේ අපරාධයට ගොදුරු වූ ගැහැනියටම වරද පටවන කුහක අමන දේශපාලකයන්, ඇස් කන් වසා සිටිනා බොහෝ රටවැසියන් සිටීම පුදුමයට කාරණාවක් නොවන්නේය.

අපරාධය සිදු වෙද්දී පවා අසරණ ගැහැනියට උපකාර කරන්නට වූ පිරිසට වඩා, ඔවුන්ට හිංසා කරන්නට ඉදිරිපත් වීම, අපරාධයට එරෙහිව යුක්තිය ඉටු කරගැනීම ඉන්දියානු ගැහැනියට අභියෝග කළ නොහැකි කඩුල්ලකි. නගරයේ තැන් තැන්වල වූ මුර කැමරාවල සටහන් ආධාරයෙන් යම් පිරිස් සහ සිද්ධීන් හඳුනා ගැනීමට හැකි වූවත් චෝදනා ඉදිරිපත් කිරීමෙන් අනතරුව ඇති විය හැකි ප්‍රතිඵලය ඉන්දියානු ගැහැනියට වඩා අහිතකරය. සමහර විටෙක සිදු වූවාට වඩා දරුණු අපරාධ එම ගැහැනුන්ට හෝ ඒවාට එරෙහි වන පිරිමින්ට සිදු විය හැකිය.

මා ශ්‍රී ලංකාවේ ඉපිද එහි පාසල් අධ්‍යාපනය අවසන දක්වා ජීවත් වූ කෙනකු ලෙස යම් යම් පොදු ස්ථානවල ගැහැනුන්ට එරෙහිව සිදුවූ ලිංගික, ශාරීරික, මානසික ප්‍රචණ්ඩත්වය ගැන මතක ඇත. පොදු ප්‍රවාහන රථ තුළ දී රථවලදී තමන්ගේ උද්දීපිත ලිඟුව ගැහැනුන් සහ දරුවන්ගේ සිරුරු මත අතුල්ලන පිරිමින්, ඒවා ප්‍රදර්ශනය කරන පිරිමින්, අශිෂ්ට, පරුෂ වචන කියමින් ගැහැනුන් සහ දරුවන් කම්පා කරවන පිරිමින් මට පවා මුණ ගැසී ඇත. බුදුන්ගේ තෙමඟුළ සිහිකරන්න පැවැත්වෙන වෙසක් උත්සව සිරි බලන්න ගිය විට පවා ගැහැනියට, දරුවන්ට හිරිහැර කරන පිරිමි වූහ. සංගීත සංදර්ශන, ලාබ චිත්‍රපට ශාලා, වෙළෙඳ ප්‍රදර්ශන වැදගත් පවුල්වල ගැහැනු ළමයින්ට සහ ගැහැනුන්ට තහනම් ස්ථාන විය. නමුත් මේ තරම් දූෂණ/සමූහ දූෂණ, ගැහැනියට එරෙහි සමූහ ප්‍රචණ්ඩ සාපරාධී ක්‍රියා එකල නොවූ බව ඉන්දියාවේ ඉපිද වැඩී, මා මෙන් පසු කලෙක බටහිරට සංක්‍රමණය වූ කෙනෙක් මට පැවසීය. “රස්තියාදුකාරයන් කරදර කරන්නට ආවා. නමුත් ඒවා මඟ හරින්නට ඒවායින් ගැළැවී ඉන්න අපට පුළුවන්කමක් තිබ්බා. මෙහෙම කරදරයක් ඒ කාලේ කළා නම් එතැන රැස්වී සිටි පිරිස මේ මැරයෙන්ගෙන් ගැහැනුන් ගලවා ගන්නවා. ඔවුන් ඉවත බලන්නේ නෑ. දැන් වෙලා තියෙන්නේ මැරයෝ වැඩියි. උන් හොඳ මිනිසුන්ට බය නෑ.”

කලින් මා කී ලෙසම ආසියාතික රටවල, විශේෂයෙන්, ඉන්දියාවේ ගැහැනියට එරෙහි ප්‍රචණ්ඩත්වය වැඩි වෙන්නේ නම්, එය කාලයක් තිස්සේ සිදූ වූවක් නම් එයට හේතුව කුමක්ද? එයට හේතුව නුදුරු දිනෙක ලෝකයේ විශාලතම ජනගහනයකට හිමිකම් කියන්නට යන ඉන්දියාවේ ගැහැනුන්ට වඩා පිරිමින් වීම යැයි කීවොත් ඔබ පුදුම වන්නේද? වසර 2013 දී කළ සංගණනයන්ට අනුව ඉන්දියාවේ හැහැනුන්ට වඩා පිරිමි මිලියන 37ක් පමණ වූහ. පිරිමි සහ ගැහැනු ගණන අතර ඇති වෙනස දිනෙන් දින වැඩි වෙනු මිස අඩු වන්නේ නැත.

මේ අතිරික්ත පිරිමින් අතරින් බොහෝ අය, නූගත්, රැකියා ශිල්පයක් නොදන්නා කාලකණ්ණි රස්තියාදුකරුවන් වීම නිසා හෝ වෙනත් හේතූන් නිසා විවාහ වීමට ඇති අවස්ථාව තවත් දුරස්ථ කරගනිද්දී, ඔවුන්ගේ අසහහනය දිනෙන් දින උග්‍ර වෙද්දී ඔවුන් අතින් ගැහැනියට එරෙහිව සිදු වන අපරාධ නවතා දැමිය නොහැකි රැල්ලක් බවට පත්වෙමින් ඇත (2002. Surplus of Men, Deficit of Peace by Valerie M. Hudson, Andrea den Boer.) 2011 වසරේ අපරාධ දත්තවලට අනුකූලව ඉන්දියාවේ සිදුවෙන ස්ත්‍රී දූෂක අත්අඩංගුවලින් 60% ක්ම වයස 18-30 ත් අතර පිරිමින් වේ. එවැනි අත්අඩංගුවලින් 30%ක් වයස 30- 45ත් අතර පිරිමින් වේ. ගැහැනුන්ට පමණක් නොව කොණ්ඩය වවා සිටිනා පිරිමින් පවා ගැහැනුන් ලෙස වරදවා වටහා ගනිමින් ඔවුන්ට හිංසා කිරීමට එන මැරයන් ඇතැයි ඉන්දියාවේ පිරිමි කියති. “අපේ ආරක්ෂාවට අපි රැවුලකුත් වවා ගන්නවා” යැයි ඔවුහු කියති.

අම්මා කියා තමන්ගේ භූමිය වන්දනා කරනා, ඒ තරම් ජනගහන වර්ධනයක් ඇති රටක පිරිමි අතිරික්තයක් ඇතිවන්නේ කෙසේද? ඒ ඔවුන් විසින් ඔවුන්ගේ ගැහැනු බිළිඳිය මරා දැමීමේ අනුකම්පා විරහිත අපරාධය හේතුවෙනි. ගැබෙහිදීම හෝ, උපන් විගස ළදැරියන් මරා දැමීම් දිනකට 2000කට වඩා සිදු වන බව එරට කාන්තා සහ ළමා කටයුතු සංවර්ධන ඇමතිනි විසින් වසර 2015 දී ප්‍රකාශයට පත්කර ඇත. ගැහැනු දරුවන් ඇති පවුල්වලට රජය විසින් දිරි දීමනා ලබා දීම වැනි දේ සිදු කරන්නට පෙළැඹුණත් දෛවයේ සරදමකට වාගේ ඉන්දියාවේ ගැහැනු බිළිඳියන් වැනසීම නවතා ඔවුන් මුදා ගැනීමක් සිදු වී නැත. තමන් විසින් තමන්ගේම ගැහැනු බිළිඳිය මරා දමා, තමන් විසින්ම තමන්ගේ අසහනය වැඩි කරගන්නා තැනට සමාජ ක්‍රමය සකස් කොටගෙන තමන්ගේ ගැහැනිය කෙළෙසීම සාධාරණීයකරණය කිරීම කෙසේ වත් තේරුම් ගැනීම පවා යුක්තිසහගත මිනිසුන්ට කළ නොහැකි වැඩකි.

කසාද බැඳගන්නට ගැහැනුන් නැතිවීම වෙන ඕනෑම ගැහැනියකට අපරාධ කිරීමට හේතුවක් නොසපයන බව මගේ ඉන්දියානු මිතුරිය කියන්නීය. සැබෑවකි. නමුත් එසේ වන්නේ ඇයි? එය සංස්කෘතික කුහකකම්වලින් මිනිස්කම් විනාස වූ සමාජයක දරුණුම ව්‍යසනයකි. ගැහැනිය හුදෙක් ලිංගික භාණ්ඩයක් ලෙස දැක, තමන්ගේ බිරිය සහ වෛශ්‍යාව යන දෙකොටස පමණක් ගැහැනුන් බෙදා වෙන් කිරීමට උපන්දා සිටම මනස විකෘති කරගන්නා පිරිමින් සමූහයකින් බලාපොරොත්තු විය හැකි වෙන දෙයක් තිබේද?

ගැහැනුන් විසින් විවාහය ප්‍රමාද කරමින් උසස් අධ්‍යාපනය හදාරමින්, රැකියාවල නියැළෙමින්, වඩා ස්වාධීන ජීවන රටාවකට පෙළෙඹෙන ශ්‍රී ලංකාව තුළ පවා, ගැහැනිය රකින්නට ඇති ඉඩ අඩුවෙමින් යන බව හොඳින් පෙනෙන්නට ඇත. රැකියාවක්, වෘත්තියක් ඉගෙන ගන්නවා වෙනුවට තැන තැන, ත්‍රීරෝද රථ ගාල්වල, හංදිවල වටිනා කාලය කා දමනා නූගත් පිරිමි පිරිසක් වැඩි වන බව හොඳින් පෙනෙන්නට ඇත. එවැනි සමාජයීය වෙනස්කමක් තුළ ශ්‍රී ලංකාව 2017 බැංගලෝරයේ වූවා වැනි නොහික්මුණු තැනකට පත් නොවෙනු ඇත යන්න මගේ පැතුම වේ.

එදා නව වසර උත්සව සිරි විඳින්න්ට ගිය ගැහැනු බටහිර පන්නයට සැරසී සිටීම ඔවුන්ගේ වැරද්ද බව කියනා කූට දේශපාලකයන් බොරදියේ මාළු බෑමක් සිදු කළත්, බැංගලෝර් වැසියාටත්, සමස්ත ඉන්දියාවේ උගත්, යහපත් වැසියාටත් ලැඡ්ඡාවක්, කම්පාවක් ඇති කරවයි. නමුත් සමාජය නිහඬ ඇයි? පොලීසිය, උසාවිය එවැනි අපරාධ පරීකෂණය කර ඒවාට යුක්තිය ඉටු නොකරන්නේ ඇයි? නැතිනම් යුක්තිය ඉලා සිටින්නට උගත්, නිදහස් ඉන්දියානු ගැහැනිය පවා බිය වෙන්නේ ඇයි? ඒ අපරාධය සිදුවීම තරමටම දරුණු තවත් සාපරාධී අවාසනාවන්ත තත්ත්වයකි.

හිමාලි එන්. ලියනගේ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...