නියඟයට පෙර...

අරපරෙස්සම... අපි හැම දෙන ම මහ ඉහළින් කතා කරන කාරණයකි. එහෙත් අරපරෙස්සම ගැන කතා කරන අපේ පරම්පරාවේ අයට පැරණි සාමාජයේ සාමාජිකයන්ගේ අරපරෙස්සම සමඟ සිහිනෙන් හෝ සමාන විය හැකි ද? ගම්පෙරළිය නවකතාවේ එන ‘නන්දා’ ගිනිකූරක් බිම වැටී තිබුණ ද අහුලා තබන අයුරු දකින පියල්ගේ මව මහගෙදරින් පැමිණි ලේලියගේ අරපරෙස්සම ගැන දැඩි සතුටට පත්වුණු බව අප කියවූයේ ගම්පෙරළිය නවකතාවෙනි. කොහොමටත් එදවස කාන්තාවන්ගේ අරපරෙස්සමට අලගු තියන්නට වත් අපේ වර්තමාන කාන්තාවට හැකියාවක් නැත. එය ඒ අයගේ වරදක් ද නොවේ. වරද ඇත්තේ අප හුරු පුරුදු වී සිටින නාස්තිකාර පරිභෝජන රටාවේ ය.

පැරණි කාන්තාවෝ රැයේ ඉතිරිවන බත හීල් බතක් සේ පසුදා හීලට පාවිච්චි කළහ. එමගින් වේලක් උයන්නට යන ඉන්ධන (දර) ඉතිරි කර ගත්හ. කාලය ඉතිරි කර ගත්හ. මෙකියන හීල් බත සප්පායම් වීමෙන් ගැස්ට්‍රයිටීස් වැනි වර්තමාන පරපුරට දුක් දෙන රෝගාබාධවලින් ද මිදුණහ. එහෙත් කුඹුරෙන් ලබා ගත් වී කොටා සහල් කොට බත් කෑ පරපුරට වඩා අපේ පරපුර වෙනස් වෙයි. සහල් මෝල් හිමි මුදලාලි විසින් සියලු පෝෂ්‍යදායක කොටස් සූරා ස්ටීම් කොට දෙන සහල් බත් කොට වළඳන අපේ පරම්පරාවට කුමන හීල් බත් ද?

අද සහල් මිල ඉහළ යාමක් ගැන මිනිස්සු කතා කරති. ජීවන වියදම වැඩි වීම ගැන මැසිවිලි දොඩති. ඉදිරියේ එන නියඟයක් ගැන බිය පළ කරති. එහෙත් කුටුම්බයේ සහල් අරපරෙස්සම ගැන කතා බහ අඩු ය. මට මතක ඇති ආකාරයට හැකි තරම් විකල්ප ආහාර සොයා ගිය යුගය හැත්තෑව දශකයයි. 1970 හා 1977 අතර කාලයයි. භාණ්ඩ හිඟයක් තිබුණෙන් එකල විකල්ප ආහාර සොයා යා යුතු විය. මේ කාලයේ මා මගේ අවුරුදු 9 සිය 16 දක්වා කාලය ගෙවූ හෙයින් එකල සැටි පෙවෙත් මට හොඳින් මතක ය.

‘පොළොස් රොටී’ එදවස ලැබුණු අපූරු ආහාරයකි. පොළොස් තම්බා තෙම්පරාදු කොට හැකිනම් තවත් එළවළු වර්ග එක් කොට පිටි හා පොල් සමඟ මුසු කොට රොටී පුළුස්සා ගත්හ. මිනිස්සු පිටි වෙනුවට මඤ්ඤොක්කා පිටි සකසා ගත්හ. මඤ්ඤොක්කා අල පෙති කපා වියළා වනේ ලා කොටා, පිටි සකසා ගත්හ. ඒ පිටිවලින් රොටී පුළුස්සා ගත්හ. ලාවුළු පිට්ටු එදවස භාවිත විය. අද ලාවුළු වනාහි පලතුරු ලෑල්ලෙන් ඉවතට විසි වුණු කවුරුත් මායිම් නොකරන පලතුරක් පමණි.

එක් අතකින් පාරිභෝජනවාදී සංස්කෘතිය යටතේ ක්ෂණික ආහාර බහුල මෙවන් සමයක හැත්තෑව දශකයේ අරපිරිමැසුම් ආහාර රටා ගැන කතා කිරීම විහිළුවකි. අද සියල්ල වාණිජකරණය වී ඇත්තේ ය. සියල්ල සැකසෙන්නේ වාණිමය සම්ප්‍රදායන් යටතේ පාරිභෝගික පසුම්බිය ඉලක්ක කර ගෙන ය එහෙත් ඒ වාණිජකරණය තුළින් පැරණි ආහාර රටා හඳුන්වා දිය හැකි වැඩපිළිවෙළක් සකසන්නට හැකි නම් කෙතරම් අගේ ද? එසේ නොකළහොත් නියඟ, සාගත, වසංගත හමුවේ අපේ ප්‍රජාව දැඩි අසීරුවට පත් වනු ඇත.

 මහා­නාම දුනු­මාල


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...