සබන් කැටයක ලියූ කවි

මෑතකදී ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතට ඩැනියල් හෝල්පෙන් ලියූ ලිපියක මැය වූයේ ‘කවිය පිළිබඳ ප්‍රශ්න කීපයක්’ යනුයි. ඔහුගේ විමසුමට ලක්ව තිබුණේ නූතන සමාජය තුළ කවියේ පැවැත්මයි.

බටහිර රටවල පවා කවියට විශාල ඉල්ලුමක් නැත. එහෙත් ඇතැම් කවි පොතක පිටපත් දහස් ගණනක් අලෙවි වෙයි. වෙනත් භාෂාවන්ට පරිවර්තනය කෙරෙයි.

හෝල්පෙන් සඳහන් කරන අන්දමට කවිය ජනප්‍රිය භාවිතයක් නොවුණත් ඊට කොතැනක හෝ ඉඩක් ඇත. ප්‍රසිද්ධ දේශනයකදී, ගුණ සමරු කථනයකදී, මංගල හෝ අවමංගල සභාවකදී කවියක් උපුටා දක්වනු ඇසේ. එදිනෙදා කතාබහේදී පවා පැරණි කවි පදයක් යොදාගන්නා අවස්ථා ද ඇත.

ගැඹුරු, නිසල සාහිත විලෙහි කවි මසුන් සරණු නොද­ැකිය හැකි කලක පවා මසකු ‍දෙන්නකු සැණින් මතුව පිනුමක් ගසා යළි සැඟව යති. සිඳුණු දිය කඩක පවා රිදී පියලි මෙන් කවි මසුන් දිදුළනු පෙනේ.

කවියට හා කවියාට විවිධ දුෂ්කර අවධීන් පසුකර යාමට සිදුවෙයි. කවිය සැඟැවෙන නමුදු නිහඬ නෙවෙයි. බියකරු සමයෙක, හිරු එළිය පොදක් හෝ නොවැටෙන බිම්ගෙයක් තුළ පවා කවි කුසුම් විකසිත වෙයි.

ශ්‍රී ලංකාවේද, කවිය මිලින විනැයි ද, කවියන් පවා කවි පොත් මිලදී නොගනිතැයි ද චෝදනාවක් නැඟුණු කලක් වුවද, දැන් එය යහපත් අතට හැරී ඇතැයි සිතමි. තරුණ කවීන්ගේ කවි එකතු නැවත නැවත මුද්‍රණය කෙරෙයි. එබඳු කවීන් රැසකගේ නම් දෙවරක් නොසිතාම මගේ සිතට නඟා ගත හැකිය. ලක්ශාන්ත අතුකෝරළ, ටිම්රාන් කීර්ති, නාගොල්ලාගම බෙනඩික්ට්, නඳුන් යසිත, මහින්ද මස්ඉඹුල, මාලතී කල්පනා, ඩොමිනික් චන්ද්‍රඝෝලි, නිමල් ජයරත්න, රුවන් බන්දුජීව, සෞම්‍ය සඳරුවන්, සඳුන් ප්‍රියංකර විතානගේ, උපෙකලා අතුකෝරළ හා ළහිරු කරුණාරත්න ඉන් කීප දෙනෙකි. නව පරපුරේ කවි කිවිඳි නාමාවලිය මීට වඩා බොහෝ දිගය. ඒ අතර සයිබර් කවි කිවිඳියෝ ද වෙති.

මා ඉහත සඳහන් කළ ආකාරයට ඉතා දුෂ්කර තත්ත්වයන් තුළ පවා කවිය තුරුළු කර ගත් උදාර කාව්‍ය චරිත දෙකක් පිළිබඳව ඩැනියෙල් හෝල්පෙන් තම ලිපියෙහි ලා විශේෂයෙන් සඳහන් කරයි.

ඉන් කෙනෙකු වන්නේ ග්‍රීක ජාතික කිවිවර, යියානිස් රිට්සෝස් ය. (Yiannis Ritsos) මේ මහා ග්‍රීක කවියා අපට ආගන්තුක වුවද, නොබෙල් සාහිත්‍ය ත්‍යාගය සඳහා සය වතාවක් නිර්දේශ වූවෙකි. එසේම 30 දශකයේ ග්‍රීක හා බටහිර කවීන් අතර යියානිස් රිට්සෝස්ට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.

මොහු වාමාංශික දේශපාලනයෙහි යෙදුණෙකි. 2 වෙනි ලෝක යුද්ධ සමයේ ග්‍රීසියේ විරෝධතා ක්‍රියාකාරීන්ගේ සංවිධානයේ (RIM) සාමාජිකයකුව සිටි යියානිස් පසුව එරට ජාතික විමුක්ති ව්‍යාපාරයට බැ‍ඳෙයි. 1946 - 49 අතර පැවති සිවිල් යුද්ධ කාලයේදී ඔහු වාමාංශික පෙරමුණට උපකාර කරයි.

යියානිස් කවියා උපත ලබන්නේ ඉඩම් හිමි, වැවිලිකාර පවුලක සාමාජිකයකු වශයෙන් වුවද, බාල වියෙහිදීම ශෝකජනක අත්දැකීම් රැසකට මුහුණපාන්නට ඔහුට සිදුවන්නේය. මව මිය යන අතර, සොහොයුරා ද කාශ රෝගයට බිලිවෙයි. පියාද මානසික රෝගයකින් පෙළෙන්නට වෙත්ම පවුලේ ආර්ථිකය බිංදුවට පහත වැටෙයි. යියානිස්ට ද කාශ රෝගය සඳහා ප්‍රතිකාර ගැනීමට සෞඛ්‍ය මධ්‍යස්ථානයක (සැනඩෝරියම්) නතර වීමට සිදුවෙයි.

දේශපාලන ක්‍රියාකාරකම් නිසා දෙවතාවක් ම සිරකඳවුරුවල ලඟින්නට ඔහුට සිදුවෙයි. සිවිල් යුද සමයේදී මැක්රොනිසොස් නමැති දිවයිනේ පිහිටා තිබූ කුප්‍රකට සිරකඳවුරේදී ලද කටුක අත්දැකීම්, Diaries of Exile කෘතියෙහි දක්නට ලැබෙයි.

1967 දී ග්‍රීක මිලිටේරි ආඥාදායකත්වය යට‍ෙත් යියානිස් කවියා නිවාස සිර අඩස්සියට පත් කෙරෙයි. මැක්රොනියොස් සිර දිවයිනේ සිටියදී ඔහුට කවි ලිවීමට සිදුවූයේ ද රහසිනි. කවියාගේ අවිය කවිය බව දන්නා පාලකයින් ඊට බියවීම ඉතිහාසය පුරාම දක්නට ලැබෙන්නකි.

කඳවුරේ සිටියදී සිගරට් කොළවල කවි ලියූ යියානිස්, ඒවා තම උඩ කබායේ වාටිවලට තබා මසා සඟවා ගනී, ඔහු සිර කඳවුරින් නිදහස්ව පිටතට එන්නේ කබායේ සැඟවූ ‘කවි එකතුවක්’ ද සමඟය.

කවියකුට තම වචන තුළ බොහෝ රහස් සඟවා තැබිය හැකි බව ද, යියානිස්ගේ කවි තුළින් පැහැදිලි වෙයි. මතකයෙන් ගිලිහී යා ‍හැකි ඉතා සුළු සිදුවීමක් පවා ඔහුගේ කවිය තුළ සංරක්ෂිත වෙයි. සිගරට් කොළවල ලියන්නට වූ නිසාදෝ යියානිස්ගේ බොහෝ කවි කෙටිය. ‘Clay’ නමැති කවි එකතුව එබඳු කෙටි කවිවලින් පිරුණකි.

යියානිස් කවියාගේ විශිෂ්ටතම හා ප්‍රකටම කාව්‍ය නිර්මාණය ලෙස සැලකෙන්නේ ‘Epitaphios’ය.

1936 මැයි 10 දා පුවත්පතක පළව තිබූ ප්‍රවෘත්තිමය ඡායාරූපයක් දකින යියානිස් මහත් සේ සසල වෙයි. එහි දැක්වෙන්නේ වැඩ වර්ජනයකදී පොලිස් වෙඩි පහරට ලක්ව මහ මඟ මිය ගිය තරුණයකුගේ මළසිරුර අසල දණ ගසාගෙන වැළපෙන මවකි.

ඊට දින තුනකට පසු, එරට කොමියුනිස්ට් පක්ෂ පුවත්පතේ යියානිස් ලියූ දිගු කවියක් පළවෙයි. ‘එපිටැපියොස්’ යනු කිතුනු ආගමික උත්සවයන්හිදී භාවිත වන චිත්‍ර වියමනකි. යියානිස්ගේ කවිය ග්‍රීක ජන කවි ආරට අනුව ලියැවුණකි. ක්‍රිස්තුස් වහන්සේගේ මළසිරුර අසල වැළපෙන මවගේ ශෝකාලාපය සිහිගැන්වෙන සේ යියානිස් තම පද්‍යයට රිද්මයක් ලබා දෙයි. පසු කලෙක මෙය ග්‍රීක වාමාංශයේ, තේමා ගීතය (ඇන්තම්) බවට පත්වුණි.

1936 දී දක්ෂිණාංශය බලයට පත්වූ අවස්ථාවේදී යියානිස්, උපක්‍රමශීලී වෙමින් අතිසත්වාදී හා සංකේතවාදී ලෙස කාව්‍ය රචනා කරන්නේ පාලකයින්ගේ ඇසට වැලි ගසමිනි. 1975 දී සෝවියට් දේශයෙන් ලෙනින් ත්‍යාගය පිරිනැමුණු අවස්ථාවේ යියානිස් සතුට පළකරන්නේ ‘මට මෙය නොබෙල් ත්‍යාගයට වඩා වටිනවා’ යැයි කියමිනි. (නොබෙල් කමිටුව, බොබ් ඩිලන් වැනි ගායකයකුට සාහිත්‍ය ත්‍යාගය පිරිනමනුයේ මෙබඳු‍ ශ්‍රේෂ්ඨ කවීන්, සාහිත්‍යකරුවන් රැසක් ඉතිහාසය පුරා ම මඟ හරිමිනි.)

1990 නොවැම්බරයේදී වයස 81 ක්ව සිටියදී යියානිස් රිට්සෝස් කවියා ජීවිත‍ෙයන් සමුගත්තේය.

ඩැනියල් හෝල්පෙන් තම ලිපියෙහි සඳහන් කරන අනෙක් නාමය යුක්රේනියානු කිවිඳියකු වූ ඉරීනා රටුෂින්ස්කයා ය. (Irina Borisovna Ratushiskaya)

සෝවිට් බලධාරීන්ගේ උදහසට ලක්වන ඉරීනා, සත් වසරක දඬුවමකට යටත් කොට ‘ගුලාය’ නමින් හැඳින්වෙන වැඩ කඳවුරකට (ලේබර් කෑම්ප්) යැවෙයි. ‘Grey is the Colour of Hope’ අැගේ සිරකඳවුරු මතක සටහන් එකතුවකි.

ඉරිනා, සෝවියට් රාජ්‍ය වි‍රෝධී චෝදනාවට ලක්වීමට ප්‍රධාන හේතුවක් වන්නේ, බලධාරීන්ගේ අවසරය නොගෙන ඇගේ කවි විදේශයන්හි පළකරවීමය.

සිරකඳවුරේ සිටියදී ඉරිනා කවි ලියන්නේ ඇයට ලැබෙන සබන් කැටවලය. එක් කවක් ලියා, එය කට පාඩම් කර ගත් පසු සබන් කැටය සෝදා හැර තවෙකක් ලියයි.

කවියා සිරගත කළද කවිය සිරගත කළ නොහැකි බව ඉරිනා පාලකයිනට පෙන්වූවාය.

1986 දී අමෙරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් හා රුසියානු ජනාධිපති ගොර්බචොෆ් අතර අයිස්ලන්තයේ පැවති හමුවෙන් පසු ඉරිනාට නිදහස ලැබුණි. ඇය අමෙරිකාවට යන අතර සෝවියට් පුරවැසි බව අහිමි කෙරෙයි. කලකට පසු යළි පුරවැසි බව ලබන ඉරිනා රුසියාව බලා එන්නේ තම දරු දෙදෙනාට මව්බිමේදී අධ්‍යාපනය ලබාදිය යුතුය යන අදහසිනි.

සිර කඳවුරේ සිටි කාලයේ බන්ධනාගාර නිලධාරියකු ඉරිනාට මෙබඳු යෝජනාවක් කර තිබුණාය.

“ඔබ කැමති නම්, මට පුළුවන් ඔබට දරුවකු ලබා දෙන්න. ගැබ් ගත් කාන්තාවන්ට ඉක්මනට නිදහස ලැබෙනවා”

ඉරිනා එය ප්‍රතික්ෂේප කළාය. ඇය එබඳු නිලධාරීන්ට පවා අනුකම්පා කළාය. “කඳවුර තුළදී අපි දෙගොල්ලොම හිරකාරයො” ඇය සඳහන් කරයි. මානව ප්‍රේමය කවියේ මාතාවයි. ඉරිනා හා සැමියා දැන් මානව හිමිකම් ක්‍රියාකාරීන් ලෙස කටයුතු කරති.

කපිල කුමාර කාලිංග


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...