රෝද තුනේ මාරයා ඇරල යන්න සූරයා | දිනමිණ

රෝද තුනේ මාරයා ඇරල යන්න සූරයා

“අනේ මහතුනේ.... මේ අත පය නැති මට ආධාරයක් කරන්න.... මගේ පවුලයි... දරුවො දෙන්නයි ජීවත් වෙන්නේ මං හිඟා කාලා හොයා ගෙන එන සල්ලිවලින් තමයි... අනේ මහතුනේ...”

කිහිලි කරුවක වාරුවෙන් ඇවිද ගෙන එන කකුලක් නැති යාචකයකුගේ හඬින් ටොම්සන් මහත්තයාත්, ඇම්බන් මහත්තයාත් හැරී බැලූහ.

“කීයක් හරි දෙමු නේද? කකුලකුත් නැති මනුස්සයෙක් නේ... අනුකම්පා කරන්න එපායැ...” කියා ටොම්සන් මහත්තයා සාක්කුවට අත දමා රුපියල් විස්සේ කොළයක් යාචකයාට දුන්නේය.

“පිං සිදු වේවා මට මේ කරපු උදව්වට...”

“මට මුන්නැහේ දැකල පුරුදුයි වගේ.. කොහේදි හරි... ”කියා ඇම්බන් මහත්තයා නළල පිරි මැද්දේය.

“එහෙම තමයි.. සංසාරේ කොහේදි හරි අපි දැකලා ඇති....” කියා යාචකයා කීවේය.

“නෑ... නෑ... සංසාරේ නෙවෙයි.. අර එහා ටවුමේ ජෑම් ගහ යට ත්‍රීවීල් පාර්ක් එකේ හිටියා නේද?” කියා ඇම්බන් මහත්තයා එක් වරම ඇසුවේය.

“ඔව්.. මහත්තයා... මහත්තයාට කොහොමද මාව මතක...? මං අවුරුදු පහක් එතන ත්‍රීවීල් එකක් එලෙව්වා.... ” කියා යාචකයා අලුත් කතාවකට මුල පිරුවේය.

“ඒක තමයි.. ඇයි? එක දවසක් දා මතකද? රෑ වෙලා මං මුන්නැහේගේ ත්‍රීවීල් එකේ ආවානේ.. එනකොට අර කෝච්චි පාර පනින්න ගිහිල්ලා කෝච්චියේ හැප්පෙන්නේ නැතිව බේරුණේ අනූනවයෙන්.. ඒ හින්දා මට මුන්නැහේගේ මූණ හොඳට මතකයි... දන්නවද ටොම්සන් මහත්තයා... කෝච්චිය එනවා පෙනි පෙනී කෝච්චි පාර හරහා ත්‍රීවීල් එක දාන්න ගිහින්, අර බම්බු මුරකාරයා කෑ ගහලා තමයි යාන්තම් ත්‍රීවීල් එක නතර කර ගත්තේ.. නැත්නම් එදා මං සුං...”

යාචකයා බොහොම කනගාටුවෙන් ටොම්සන් මහත්තයාත්, ඇම්බන් මහත්තයාත් දෙස බැලූවේය.

“ඒක තමයි මහත්තයා... එදා බේරුණාට හැමදාම බේරෙන්න ලැබෙන්නේ නෑ... පස්සේ දවසක එතනදිම කෝච්චියේ වැදුණා... යන්තම් කකුල කැඩිලා බේරුණා.. ත්‍රීවීල් එක නම් කුඩු. මාව විසි වෙලා වැටුණා...”

“එතකොට ත්‍රීවීල් එකේ ගිය අය...? ”

“ඒ දෙන්නාගෙන් එක් කෙනෙක් එතනම මැරුණා... අනික් කෙනා ඉස්පිරිතාලෙදි මැරුණා.. මොනව කරන්නද මහත්තයා කරුමේ...”

“මොන කරුමයක්ද ඕයි... මැරෙන්න ඕනැ එකා බේරිලා.. බේරෙන්න ඕනැ අය මැරිලා.. ඒක තමයි කරුමේ...” කියා ඇම්බන් මහත්තයා කෝපයෙන් කීවේය.

“දැන් ඕවා කියන්න එපා ඇම්බන් මහත්තයා... කවුරු වුණත් මැරෙන්න යනවා නෙවෙයි නේ...”

“ඒක තමයි මහත්තයා.. මාත් මැරෙන්න ගියා නෙවෙයි.. ඒත් ඉතින් එහෙම වුණා...” කියා යාචකයා යාප්පුවෙන් කීවේය.

“එහෙම වුණා කියන්නේ මොකක්ද? එහෙම කළා කියනවා.. ඒක තමයි ඇත්ත... ඔය හුචක්කුව හදලා තියෙන්නේ පාරේ රේස් යන්න නෙවෙයි කියලා තේරෙන ඔළුවක් තියෙනවා නම් මේ රටේ ත්‍රීවීල් අනතුරු සිද්ද වෙන්නේ නෑ... පරිස්සම නෙවෙයි නේ.. එහෙන් රිංගුවා.. මෙහෙන් රිංගුවා.. ගියා ... අන්තිමට මොකක්ද වුණේ කියලා කවුරුවත් දන්නේ නෑ...” කියා ඇම්බන් මහත්තයා කීවේය.

“මේකනේ ඇම්බන් මහත්තයා.. මේ ත්‍රීවීල් හදලා තියෙන්නේ ඔහොම රේස් යන්නවත්, ඔහොම එහෙන් මෙහෙන් රිංගලා යන්නවත් නෙවෙයි. ඒකත් පාරේ යන වාහනයක් නේ... ඉතින් ඒවාටත් නීති රීති තියෙනවා නේ.. දැන් බලන්න ඔය ත්‍රීවීල්වල හැඬ්ල් එක හරවන්න පුළුවන් අංශක හතළිස් පහයි. ඒ වුණාට මේ මිනිස්සු ඒ අගුල ගලවලා අංශක අනූවක් හරවන්න හදා ගන්නවා.. ඉතින් මොකද වෙන්නේ.. වේගෙන් යන ත්‍රීවීල් එකේ හැඬ්ල් එක වැඩියෙන් හැරිච්චි ගමන් පෙරළෙනවා.. අනික පාර බදු අරන් නේ යන්නේ.. දවසකට ත්‍රීවීල් අනතුරු නිසා කී දෙනෙක් මැරෙනවද? කෝ ඒවට උද්ඝෝෂණ... මේ රටේ මගී ජනතාවගේ ජීවත් වීමේ අයිතිය නේ මේ උදුරා ගන්නේ..” ටොම්සන් මහත්තයා කීවේය.

“එහෙනම් මං යන්නං මහත්තයා... පිං සිද්ද වෙයි...” කියා ත්‍රීවීල් යාචකයාද එතනින් ලිස්සා ගියේ වැඩි දුර කතාවට හවුල් වන්නට අකැමැත්තෙනි.

“අපි අර පොලිස් රාලහාමිගෙන් අහලා බලමු... මේ ත්‍රීවීල් හැරවිල්ල ගැන නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා....” කියා ටොම්සන් මහත්තයා ඇම්බන් මහත්තයාත් සමඟ පාරේ වාහන සේවාවෙහි යෙදී සිටි පොලිස් රාලහාමි කෙනෙක් වෙත ගියේය.

“දැන් රාලහාමි ඔය ත්‍රීවීල් ලියාපදිංචි කරන කොට හැඬ්ල් එකේ හැරවිල්ල අංශක හතළිස්පහට තියෙනවාද කියලා බලනවාද?”

“ඔව්.. ඔව්.. ඊට වඩා හරවන්න බෑ නේ..”

“ඉතින් ඔය මහ මඟ ත්‍රීවීල් පරීක්ෂා කරන කොට හැඬ්ල් එක කොච්චර හරවන්න හදා ගෙනද කියලා බලනවාද? ”

“එහෙම ක්‍රමයක් නම් නෑ තමයි... හැබැයි එහෙන් මෙහෙන් හරවා ගෙන යනකොට අනාරක්ෂිත වාහන පැදවීම යටතේ දඩ ගහන්න පුළුවන්...”

ටොම්සන් මහත්තයාත්, ඇම්බන් මහත්තයාත් එතැනින් ඉවත් වූහ.

“ඕකත් එක ප්‍රශ්නයක් නේ ඇම්බන් මහත්තයා. දැන් බලන්ඩ එහෙන් රිංගලා මෙහෙන් රිංගලා යන කොට අල්ලලා දඩ ගහනවා අනාරක්ෂිත රිය පැදවීම කියලා.. එහෙම කරලා අංශක අනූවක් හරවන්න පුණවන් ත්‍රීවීල් එකට පුළුවන් දඩය ගෙවලා ආයෙත් මහ පාරේ යන්න.. හරියට නම් දඩ ගහන්න නෙවෙයි.. අත් අඩංගුවට ගන්න ඕනැ නේ.. අංශක හතළිස් පහේ අගුල ගලවලා තියෙන ත්‍රීවීල් ඔක්කොම...එහෙම වුණා නම් ඔය රිංගිල්ල නතර වෙනවා.... දැන් බලාන ගියාම මේක මඟ මරුවෙක් නේ... අපි මේ ගානට විතරවත් බේරිලා ඉන්නවා ඇති.... ”

බන්දුල පී දයා­රත්න

නව අදහස දක්වන්න