විචිත්‍රවත් වදන්වල සැඟවුණු අපරිණත බව

කුලරත්න ආරියවංශ ගීත රචනා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වන්නේ හැත්තෑව දශකය මැද භාගයේදී පමණ යැයි මා සිතනවා. එහෙත් ඔහුගේ සමකාලීනයන් සමඟ සාපේක්ෂව බලද්දී ගුණාත්මක බවින් ඉතාම අල්ප ගී ලියා ඇත්තේ කුලරත්න බවත් පෙනී යනවා. ඔහු තරම් ප්‍රමාණාත්මක වශයෙන් ගී නොලිව්වත් ඔහු‍ගේ සමකාලීනයන්ගේ ගීවල පවත්නා සාහිත්‍යමය වටිනාකම වැඩියි.

කුලරත්න ආරියවංශව මං දකින්නේ ඔහුගේ පූර්වකාලීන ගීත රචකයකු වූ ධර්මසිරි ගමගේ ගේ අනුප්‍රාප්තිකයකු වශයෙන්. කුලරත්න ලියූ බොහෝ ගී සිහිපත් කරන්නේ ගමගේ ගේ පදමාලා. ‘ආදර නිල් දෑසේ’, ‘බඹරකු ඇඬුවා’, ‘ආදර මල් පවනේ’, ‘සඳ මෝදුවෙලා නැ‍ඟෙනා’, ‘චන්දන ඇල්ලෙන් නාලා’, ‘වන සපුමල් පිපෙන වනරොදේ’, ‘සුවඳක් දැනේවි හදේහි ආදර ලෝකේ’ වැනි ගමගේ ගේ ගී නිබන්ධ කුලේගේ ගීවලට බෙහෙවින් සමීපස්ථ නොවේද?

කරුණාරත්න අබේසේකර තරම් නොවූවත් ධර්මසිරි ගමගේ ද කිසියම් මට්ටමකට වාණිජ මඩ ගොහො‍රුවේ වැටුණ ගීත රචකයෙක්. ‘මම ගන්නෙමි කරකාර’, ‘පන්දම් අල්ලා ගත් නම්බු නාමේ’ වැනි කබල් ගී ලියවුණේ තනිකරම වෙළෙඳ අරමුණින් නොවේ යැයි කියන්ට පුළුවන් ද? 1954 දී පමණ ගීත රචනයට එළැඹුණත් 1989 වන තෙක් ගමගේ ගීත පදමාලා පොතක් පළනොකළේ ඔහු තම ගී නිර්මාණ ගැන සෑහීමකට පත් නොවූ නිසා බවක් පෙනෙනවා. ‘සුළං කුරුල්ලෝ’ ප්‍රථම ගී සංග්‍රහයේ පෙරවදනේ ඔහු මෙසේ ලියා තිබෙනවා.

‘මා චිත්‍රපට තුන්සියයකටත් වැඩි සංඛ්‍යාවක ගීත ද, ගුවන් විදුලි ගීත ද රචනා කර තිබුණත් තෝරාගත් ගීත කීපයක් හෝ එක්කර ගී නිබන්ධ සංග්‍රහයක් පළකිරීමට උත්සුක නොවූයේ මා අතින් තවමත් හොඳ ගී ලියැවී නැතැයි යන අවංක සිතුවිල්ල නිසාය. ඒ සිතුවිල්ල මා තුළින් තවමත් බැහැර වී නැති බව ඉතා නිහතමානීව පවසමි.’

එසේම ඔහු තවදුරටත් මෙසේ කියා තිබෙනවා.

‘ගීත සංග්‍රහයක් සකස් විය යුතු යැයි යන අදහස ඉදිරිපත් වූ සෑම මොහොතකම වරින්වර මා අතින් රචනා වූ ගී මම නැවත අවලෝකනය කර බැලීමි. ඒ සෑම අවස්ථාවකම මා තුළ කිසියම් උදාසීන බවක් හා අසන්තෘප්තියක් මතුව එනු දැනිණි. මේ ගී පොතක් වශයෙන් පළකිරීමෙන් කවර නම් ඵලක්දැයි යන සිතුවිල්ල නිබඳව මතුව ආයේය. මීට වඩා හොඳ ගීත කීපයක් මතුවට හෝ ලියැවේවි. එවිට සංඛ්‍යාවෙන් අඩුවුවද එම නිර්මාණ සමුච්චය සහෘදයන් අතට පත්කරන්නේමැයි සිත හදා ගතිමි.’

කුලරත්න එසේ නොකීවත් ඉහත සිතිවිල්ල ඔහුගේ යටි හිතේ සැඟවී තිබුණා යැයි උපකල්පනය කරන්ට පුළුවන්. මීට ඉහත අවස්ථා කීපයකදීම ඔහුගේ ගීත පොතක් පළකරන්නට ඇතැමුන් ඉදිරිපත් වෙද්දී කුලේ මන්දෝත්සාහි වූයේ ඒ හෙයිනැයි සිතිය හැකිය.

කුලරත්නගේ ලොකුම ඌනතාව ලෙස මා දකින්නේ ගීතයට විෂයය වන අත්දැකීම් ක්ෂේත්‍රය පටුවීමයි. ප්‍රේමය ඔහු‍ෙග් මුඛ්‍ය තේමාව වී ඇති මුත් ඔහු එහිම සිරකරුවකු බවට පත්වීම කනගාටුදායකයි.

කුලරත්න අපූර්ව ප්‍රේම ගී සංකල්පනා ලියා තිබෙනවා. ඒවා ඉතාම විචිත්‍රවත්. හැබැයි බොහෝ ගී බොළඳයි. අපරිණතයි. ප්‍රේමය දිහා නව්‍ය දෘෂ්ටිකෝණයකින් බලන අවස්ථා අල්පයි. මහගමසේකර, මහාචාර්ය සුනිල් ආරියරත්න, බණ්ඩාර කේ. විජේතුංග, ප්‍රේමකීර්ති ද අල්විස්, සුනිල් ආර්. ගමගේ ප්‍රේමය දිහා පෙර නොවූ විරූ දෘෂ්ටිකෝණවලින් බලා තියෙන බව අප දන්නවා.

කුලරත්නගේ ‘පිනිබර මලක්’ කුළුඳුල් ගීත සංග්‍රහයේ කිසියම් ගැඹුරකින් යුතු අර්ථාන්විත ගී මොනවාදැයි මා විමසා බැලුවා. එයට ගීත 75 ක් පමණ අඩංගුයි. ඒත් උසස් මට්ටමේ ගීත පහක්, හයක්වත් සොයාගන්ට මට බැරි වුණා. ‘මා වවුලන් රෑ පුරාම’ (අමරදේව), ‘සීත පිනිබිඳු කඳුළු සලනා’ (ගුණදාස කපුගේ), ‘පින්නේ රැයේ’ (සුනිල් එදිරිසිංහ), ‘පුංචි සිතේ පුංචි සිනා’ (නීලා වික්‍රමසිංහ) වැනි ගී කීපයක් මෙහිලා මගේ ඇගැයීමට ලක්වෙනවා.

කුලේ අමරදේවයන්ට ලියූ ‘මා වවුලන්’ ගීතය හැරුණුකොට ‘පාවෙනා නිල් වලාවේ’, ‘සඳ හොරෙන් හොරෙන්’ වගේ ගීත අමරදේව මොකට ගායනා කළාද කියා හිතෙනවා. මඩවල එස්. රත්නායක, මහගමසේකර, ඩෝල්ටන් අල්විස් වැනි ප්‍රාමාණික ගීත රචකයන් නොමැතිවීමෙන් ඇතිවූ හිඩැස අමරදේවයන් නොදකින්ට හේතුවක් නැහැ.

කුලරත්නගේ ගීවල සාධනීය ලක්ෂණ නැතුව නෙමෙයි. ඔහු ලියන්නේ සුගායනීය වචන. ඒවායේ ගේයතා ගුණය වැඩියි. එහෙත් අවාසනාවකට වගේ ඔහු ලියූ ඇතැම් ගීවල වචන අභිභවා තනුව හා සංගීතය ඉස්මතු වෙනවා. ඒවා ප්‍රබල වෙනවා. ‘සීත අ‍රණේ’, ‘මේ ප්‍රථම වසන්තයයි’, ‘අවපස අහසක’ වැනි ගී නිදසුන්. මං හිතන විදියට මේ ගී තුනේම තනුව හා සංගීතය රෝහණ වීරසිංහගේ.

කුලරත්න ගී ලියන්ට යෙදුණු කාලවකවානුව සංගීත ක්ෂේත්‍රයේ බොහෝම තරගකාරී වූත්, කලබලකාරී වූත් අවස්ථාවක්. විවිධ කැසට් නිෂ්පාදන ආයතන බිහිවීමත්, ආප්ප බාන්නා සේ කැසට් ගී එළිදැක්වීමත් එකල බහුලව සිදුවුණා. කුලරත්න ඒ රැල්ලට ගොදුරු වූ බවක් තමයි මට පේන්නේ. එයින් ඔහුගේ නිර්මාණ ප්‍රතිභාව යටපත් වුණා. කුලේගේ ගී ඔහුවත් නොසිතන තරමට ජනප්‍රිය වුණා. සරල සුගම වදන්, නොගැඹුරු තේමා, විචිත්‍රවත් සංකල්පනා මෙයට හේතු වන්ට ඇති.

ඒත් කුලරත්න ආරියවංශ නමැති ගීත රචකයා නූතන සිංහල ගීත සාහිත්‍ය ක්ෂේත්‍රයේ කිසිසේත්ම අවප්‍රමාණ කළ හැකි කෙනකු නෙමෙයි. හුදෙක් යාළු මිත්‍රකම් මත කුලේගේ ගී නිර්දය ලෙස විවේචනය නොකිරීම නිසාත් සමහර විට කුලේ නොමඟ යන්ට ඇති. තම සැඟවුණු නිර්මාණ ප්‍රතිභාව නැවත පාදගෙන ඉතාම විවේක බුද්ධියෙන්, සන්සුන් මනසින් ඉඳහිට වුව හොඳ ගී ලියන්ට කුලේට ශක්‍යතාව තිබෙනවා. මානව ජීවිතයේ විවිධ පැතිකඩ විනිවිද ගොස් යථාර්ථය ග්‍රහණය කරගෙන ගී ලිවීමෙන් කුලේට නව පුනර්ජීවනයක් ලබන්න පුළුවන්. ඉදිරි කලෙක පළවෙන කුලේගේ දෙවැනි ගී සංග්‍රහය එවන් ගී සමුච්චයකින් සමන්විත කෘතියක් වේවායි ප්‍රාර්ථනා කරනවා.
 

සුනිල් මිහි­ඳු­කුල
[email protected]


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...