සංවේ­ග­යෙන් දැනු­ම්දී­මයි!

ශ්‍රී ලංකාවේ වාසය කරන සියලුම සාහිත්‍ය ප්‍රේමීන්ට, කාව්‍ය රසිකයනට, පාසල් හා විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩල හා සමස්ත ශ්‍රී ලංකාවාසී, පාසල් හා විශ්වවිද්‍යාල දරු දැරියන්ට පහත නම් දරන කවීන්ගේ අභාවය පිළිබඳ ශෝකජනක පුවත මෙසේ දන්වා සිටිමු. “ශ්‍රී ලංකාවේ ජාතික යයි කියාගන්නා අධ්‍යාපන ආයතනයකදී එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරිය, විද්වත් මණ්ඩලය, ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලය හා ආයතන සභාව විසින් 2016.11.08 මූලික කුමන්ත්‍රණයකින් පසුව, 2016.11.17 දින අභාවය තහවුරුකොට ඇත. අවසාන කටයුතු එම අධ්‍යාපන ආයතනයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර ශ්‍රී ලංකවේ සිංහල කවිය ජනතාව වෙතට ළං කිරීම සඳහා කැප වී තම නිර්මාණශිලීත්වය ප්‍රකට කළ මේ විශිෂ්ටයන්ගේ අභාවය හා එහි පසුබිමෙහි තිබුණා යැයි සැලකෙන කුමන්ත්‍රණය පිළිබඳ ගරු අධ්‍යාපන ඇමැතිතුමාගේ, අගමැතිතුමාගේ හා ජනාධිපතිතුමාගේ ප්‍රතිචාර ද අභාවය පිළිබඳ ශෝකය පළ කෙ‍ෙරන ශෝක ප්‍රකාශ ද මෙතෙක් ලැබී නොමැති බැවින් අවසාන කටයුතු සිදු කෙරෙන දිනය හා වේලාව පසුව දැනුම්දීමට සිදු වී ඇති බව කරුණාවෙන් සලකන්න. එතෙක් මියගිය කවීන්ගේ දේහය සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවගේ අවසාන ගෞරවය සඳහා එම අධ්‍යාපන ආයතනයේ තබා ඇති බව දන්වා සිටිමු.

මීට ශෝකයට පත් පවුලේ ඥාතීන්,

ආනන්ද රාජකරුණා පවුලේ ඥාතීන්, කුමාරතුංග මුනිදාස පවුලේ ඥාතීන්, ජී. එච්. පෙරේරා පවු‍ලේ ඥාතීන්, රැයිපියෙල් තෙන්නකෝන් පවුලේ ඥාතීන්, ඇස්. මහින්ද හිමිගේ ශිෂ්‍යයන් හා උරුමකරුවන්, සාගර පලන්සූරිය පවුලේ ඥාතීන් හා පී. බී. අල්විස් පෙරේරා හා විමලරත්න කුමාරගම පවු‍ෙල් ඥාති පිරිස.’

2017 උදාවත් සමඟ අත පත්වූ ඉහත ශෝකජනක දැන්වීම කියැවූ පසු, සංවේග ප්‍රාප්ත සමස්ත ශ්‍රී ලංකාවාසී ජනසමූහයා, කාව්‍ය රසික ප්‍රජාව සමඟ මගේද ශෝකය බෙදා හදා ගැනීම කාව්‍ය ප්‍රිය රසිකයකු ලෙස මගේ යුතුකමක් ලෙස හැඟුණු බැවින්, ඊට එකතුවීමට ද ඔවුන්ගේ අභාවයන්ට හේතු වී යැයි කියැවෙන කුමන්ත්‍රණයේ තතු ද සොයා දැනගැනීමට ද සිතා කළ මෙහෙයුමක ප්‍රතිඵල පහත දක්වමි.

මෙම අවමඟුල් දැන්වීමෙන් දන්වා දී ඇති මියගොස් ඇති කවීන් පිළිබඳ මා ඔබට පැවසිය යුතුද අලුතින් යමක්? ඔවුන් විසින් සිංහල සාහිත්‍යයට කරන ලද අනුපමේය මෙහෙවර ඔවුනගේ භාෂා ඥානය, අදීන බව, විශිෂ්ට කවීත්වය, නිදහසට පෙර සිටම ඔවුන් විසින් මව්බිම, ජාතිය වෙනුවෙන් පළකොට ඇති දායකත්වය, ප්‍රතිභාන්විත කවීත්වය ආදී මෙකී නොකී ගුණෝපේත නිර්මාණකරුවන් අපගේ ඉතිහාසයෙන් අකාමකා දැමීමට කැමැත්ත පළකළෝ කවරහුද? ඔවුන්ගෙන් එකදු මහැදුරෙක් හෝ තමාගේ පාසල්වියේදී ආනන්ද රාජ කරුණා, ජී. එච්. පෙරේරා, ඇස්. මහින්ද හිමි හෝ හෝ විමලරත්න කුමාරගමගේ කවියක් පිළිබඳ ඉගෙනගෙන නොමැතිද? අසා කියවා නැතිද? 2009 – 2016 දක්වා මෙරට උසස් පෙළ විභාග සඳහා සිංහල විෂය තෝරාගත් ලක්ෂ සංඛ්‍යාත පාසල් දුවා දරුවන්ගේ මෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිංහල විෂය උපාධි පරික්ෂණවලට හදාරන දහස් ගණනක් සරසවි දූ පුතුන්ගේ ද අඛණ්ඩ විමර්ශනයට මේ කවීන්ගේ නිර්මාණ භාජනය නොවීද? රසවින්දනයට ලක් නොවීද! ඉහත කී කවීන් නියෝජනය කරන ලද පූර්ව හා අපර කොළඹ යුගයේ සියලුම කවීන් පිළිබඳව මෙන්ම හෙළ හවුල නියෝජනය කරන්නාවූ කවීන් පිළිබඳවද, සරසවියට පිවිසීමේ දොරටුව අභිමුව සිටින දහස් ගණනක් පාසල් සිසු දරු දැරියන් සඳහා වූ විෂය නිර්දේශයට 2009 – 2016 දක්වා අයත් ව තිබූ, කවියේ පුරෝගාමීන්ගේ නිර්මාණ සියල්ල ඉවත් කිරීම තුන්වන පංතියේ, පහත්, අමනොඥ ක්‍රියාවක් නොවන්නේද? ශාස්ත්‍රවන්තයන්ට තරම් නොවූ දුෂ්ට චේතනාවකින් සියුම් කුමන්ත්‍රණයකින් පසුව කරන ලද නිහීන ක්‍රියාවක් නොවන්නේද? ඉහත සඳහන් නිර්මාණකරුවන් ඝාතනයට සැලසුම් අඳින අවධියේ එක්තරා මහාචාර්ය හිමි නමක් ඊට එරෙහිව දැඩි ලෙස සටන් වැදුණු බවට තොරතුරු අප සතු වේ. එහෙත් අවාසනාවන්ත තත්ත්වය වන්නේ උන්වහන්සේ ද කුමන්ත්‍රණයට ජය ගැනීමට ඉඩ දී සටන්වැද නිහඬවීමයි. විරෝධය පෑවා නම් සටන් වැදුණා නම් කළ යුතුව තිබුණේ මෙකී ජාතික අපරාධයට හවුල් නොවී තම විරෝධය පළකරමින්, විරෝධයට හේතු වූ කුමන්ත්‍රණ ක්‍රියාවලිය පිළිබඳ ජනතාව දැනුවත් කරමින් ගෞරවනීය ලෙස ඉල්ලා අස්වීමයි. නොඑසේව ඝාතන තීන්දුවට අස්සන තබා, සටන් කළාය කීමෙන් සිදුවන ඵලයක් නොමැත. අප සටන් කරන්නේ, යහපත් අරමුණකින් නම්, ජයග්‍රහණය විනා පරාජය අත්විඳිය යුතු යයි මම නොසිතමි. ජය ගැනීම කිසිසේත් කළ නොහැකි නම් විරෝධය පිළිබඳ සියලු තතු ජනතාව හමුවේ තබා ඝාතනයට වගකිව යුත්තන්ගේ සැබෑ මුහුණු ලෝකයට පෙන්වා දී ඔවුන් විසින් මවාගෙන සිටින ප්‍රතිරූප කෙතරම් හිස් ද, බොල් ද යන්න පෙන්වා දිය යුතුව තිබිණ. නිහඬවීම යනු කැමැත්ත පළකළාය යන අරුත ගම්‍ය කරවන බව කීමට අන් කිසිම සාක්ෂියක් අවශ්‍ය නොවේ. එබැවින් උන්වහන්සේ ද නොදැනුවත්ව හෝ ඉහත කවීන් අපගේ සාහිත්‍ය ඉතිහාසයෙන් සැඟවීමට දියත් කළ කුමන්ත්‍රණයේ කොටස්කරුවකු වී හමාරය. කුමන්ත්‍රණයෙහි මොළකාරයන් දෙදෙනා අතර අන් මහැදුරන්ගේ නිහඬ අනුමැතිය පිළිබඳ විමතිය පළකරමු. ඔවුන් බියවූයේ මොවුන්ට තියෙනවා යැයි පාරම්බාන දේශපාලන හයිය නිසාද? මොවුන් කළ දේශපාලනය කුමක්ද කියා පළමුව හෙළිදරව් කළ යුතුය.

ගරුතර මහාචාර්යවරුනි, මා මේ අමතන්නේ මහාචාර්ය පදවියට සුදුසු යයි මා විශ්වාස කරන, මහාචාර්යවරුන්ට පමණි. ඔබගේ හෘද සාක්ෂිය විමසන්න. ඊට එකඟව ඔබගෙන් එකදු චරිතයකට හෝ විමලරත්න කුමාරගම කවියාගේ කාව්‍ය නිර්මාණ පාසල් දරුවනට, සරසවි සිසු සිසුවියන්ට ඉගැන්විය යුතු නැතැයි නිර්දේශ කළ හැකිද? රාජ්‍ය තන්ත්‍රය රැවටීමේ කලාවෙහි හපන් නිලධාරිවාදය විසින් මේ ප්‍රශ්න සඳහා බාල හා පන්දුව පාස්කිරීමේ වර්ගයේ පිළිතුරු දී “මේවා අප එන්නට පෙර ගත් තීරණයයි” “අපට දැන් කළ හැක්කක් නොවෙයි” ආදී පිළිගත නොහැකි නිදහසට කාරණා දැක්වීමට උත්සාහ දරනු ඇත. එහෙත් රාජ්‍යයේ ප්‍රධානීන් දෙපොළ වන ජනාධිපතිතුමා හා අගමැතිතුමා එවන් අතාර්කික පදනම් විරහිත පිළිතුරුවලින් සෑහීමකට පත් නොවී, සිදුවන්නට යන ජාතික අපරාධය, විනාශය පිළිබඳ විධිමත් පරීක්ෂණයකට අණදිය යුතුවා මෙන්ම, යෝජිත නව නිර්දේශය වහාම අත්හිටුවා නව විද්වත් මණ්ඩලයක් හා ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලයක් පත්කොට කඩිනමින් නව නිර්දේශ සකස් කොටගත යුතුය. 2009 – 2106 පැවති නිර්දේශයට නව කවීන් හඳුන්වා දීමෙන් මේ තත්ත්වය ඉතා කඩිනමින් විසඳාගත හැකි බවයි ගුරුවර ගුරුවරියන් විද්වතුන් පාඨක හා ශිෂ්‍ය මානවක මානවික සමූහයේ අදහස. තෝරාගෙන ඇතැයි පැවසෙන කවීන්ගෙන් ඔවුන්ගේ නිර්මාණ පළකිරීමට කැමැත්ත හෝ මෙතෙක් ලබාගෙන නැති මොහොතක, අනවසරයෙන් පළකරනු ලබන නිර්මාණයක් වෙනුවෙන්, බුද්ධිමය දේපළ අයිතිය යටතේ කිසියම් හෝ කවියෙක් නීත්‍යානුකූල පියවර ගත හොත්, අධ්‍යක්ෂ ජෙනරාල්වරිය හා ඉහත සඳහන් අරුම පුදුම මණ්ඩල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනාගතය වෙනුවෙන් වගකියන්නේ කෙසේදැයි ප්‍රකාශ කළ යුතුය. වළං කඩයකට පැන වැදුණු වෘෂභයන් සේ ඇතැම් මහාචාර්යවරුන් පුහු ගොස නඟමින් අනෙකුත් විද්වත් මණ්ඩල සාමාජිකයන් (වෘද්ධතර) නිහඬ කරවා තම කුමන්ත්‍රණ මෙහෙයුම දියත් කොට ඇති බව මනාව පැහැදිලි වේ. නවීන කවියෙන් විමල් දිසානායක වැනි අතිශය නිර්මාණශිලී කවීත්වයක් පළකරන ප්‍රතිභාන්විත ප්‍රවීණයෙකුගේ නිර්මාණ ගහළ අසිපතට ලක්වන්නේ, ලක්වූයේ කෙසේද කියා එවැනි කවීන්ගෙන් අනු ප්‍රාණය ලත් අපි වැන්නන් දැන ගැනීමට කැමැත්තෙමු. වාග්විද්‍යා විශේෂඥ ඥානය පැරණි සාහිත්‍යය පිළිබඳ දැනුම නූතන කවියක, කෙටිකතාවක, නවකතාවක හෝ වේදිකා නාට්‍යයක කලාත්මක ගුණය දැක ගැන්මට, විශ්ලේෂණය කිරීම ආශ්වාදයට ප්‍රමාණවත් නොවන බවයි, මෙම කප්පාදුවට ලක් වූ කාව්‍ය හා කෙටිකතා නිර්දේශ ඔප්පුකොට සිටින්නේ.

සිංහල කවියේ ආරම්භය ජී. බී. සේනානායක කවියා හඳුන්වා දුන් පසුව ගුණදාස අමරසේකර, සිරි ගුණසිංහ ආදීන්ගේ නිර්මාණවලින් පෝෂණය වූ නිදහස් හෝ නිසඳැස් කවිය එළිදුටු පේරාදෙණි යුගය ද, ජී. බී. සේනානායක කවියා විසින් හඳුන්වා දෙන ලද කාව්‍ය සම්ප්‍රදාය ද ඕපපාතිකව බිහිවූවක් නොවන බව මේ මුග්ධ තීරණ නිර්දේශ කිරීමට හඬ නැඟු දෙපොළට නොවැටහිණිද? විශේෂයෙන්ම කොළඹ කවි පරපුරේ දීප්තිමත්ම, ප්‍රතිභාන්විත කවියා ‍සේ අවිවාදිත කුමාරගම කවියාගේ අයියනායක, වලස් දඩයම, හේරත්හාමි, ආරච්චිල වැනි නිර්මාණයක් ඔවුන් විසින් නිර්දේශකොට ඇති ඕනෑම කාව්‍ය රචනාවක් සමඟ සමතැන්හිලා නොව, ඊටත් ඉහළ ස්ථානයක තබා අගය කළ නොහැක්කේදැයි විමසමි. එසේ කළ නොහැකි යයි ඔප්පු කරන මෙන් අභියෝග කිරීමට ද කැමැත්තෙමි. ජාතියක ඉතිහාසය පිළිබඳ දැනුමින් හීන අනාගත පරපුරක් බිහි වීම දැක්ම රජයේ ප්‍රතිපත්තිය නම්, මේ කවීන් ඉවත් කළ ලෙසම, පැරණි සාහිත්‍යයේ අනුරාධපුර, පොළොන්නරු යුග පිළිබඳ අධ්‍යයනයකින් තොරව සෘජුවම සිංහල සාහිත්‍ය වංශකතාවේ ස්වර්ණමය යුගය දඹදෙණිය යයි දරුවන්ට උගන්වමුද? ජී. බී. සේනානායක ප්‍රමුඛ නිදහස් කවි සම්ප්‍රදාය බිහිවන්නේ කුමන හේතු මතද කුමන පසුබිමකද යන්න කවිය ඉගැන්වීමට අදාළ විය යුතු නොවේද? කපා හරින ලද යුගයට අයත් හා ඉන්පසු යුගයට අයත් නොසලකා ඇති කවීන් වන, විමල් දිසානායක, කෝ. ආනන්ද හිමි, යමුනා මාලිනී පෙරේරා, ආරියවංශ රණවීර හා නන්දන වීරසිංහ සිංහල කාව්‍ය වංශයෙහි දිශානතීන් සටහන් කළ යුගයන්ට අයත් කවීන් නොවේ යැයි බැහැර කළේ කුමන පදනමකින්ද?

මෙම තීරුවෙහි ආරම්භයේ සටහන් වූ අවමඟුල් දැන්වීම සෘජුවම අපගේ සිංහල කාව්‍ය වංශ කතාවේ එක්තරා යුගයක් හෝ යුග කිහිපයක නියෝජනයක හරස්කඩකි. ඔවුන්ගේ මෙහෙවර ඓතිහාසිකය. ඉතිහාසය විකෘති කිරීමට ඊනියා විද්වතුන් ගත් තීරණයට, එහි සඳහන් කවීන්ගේ ඥාති හිතමිත්‍රාදීන් සමඟ අප විරෝධය ප්‍රකාශ කරන්නේ, පසු පරම්පරාවේ කවීන් පෞද්ගලික වෛරී සහගත හේතු මත කපා දැමුවද , කොළඹ යුගයේ නියෝජනය කපා දැමීමට කිසිසේත් ඔවුනට අයිතියක් නොමැති බව සඳහන් කරමිනි. ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, මියගිය නිර්මාණකරුවන් ජීවත් කරවීමටද ජීවත්ව සිටිනා කවීන් රැක ගැනීමට ද ඔබ දෙපොලගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය හෝරාවයි මේ. 

බුද්ධ­දාස ගල­ප්පත්ති


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...