සාහිත්‍ය ගහළයන්ගෙන් ලේඛකයාත් සිසුවාත් මුදාගන්න

ගරු ජනාධිපතිතුමනි,

2017 පටන් ගන්න වෙලා තියෙන්නෙම නෝක්කඩුවකින්. අවුරුද්ද මුලදිම සාහිත්‍යයට කණකොකා හඬන ලකුණු පහළ වී තිබෙන බව ඔබතුමා වෙත සැල කර සිටින්නේ බොහොම කනගාටුවෙන්. ඇත්තටම කියනවානං සාහිත්‍යයට වගේම අනාගත සාහිත්‍යකරුවන් විමට පෙරුම්පුරන දරු පරපුරපුරටත් නරක දසාවක් ලබන්නයි යන්නේ. අලුත් අවුරුද්දේ සාහිත්‍යයට කඩාපාත් වූ හෙනගෙඩිය තමා ජනපතිතුමනි 2017 වසරේ සිට ඉදිරි අවුරුදු කීපයක් සඳහා සාමාන්‍ය පෙළ හා උසස් පෙළට සිංහල විෂයය හදාරණ දරුවන්ට සාහිත්‍ය නිර්මාණ නිර්දේශ කිරිම සම්බන්ධයෙන් ලේඛක, ගුරු හා ශිෂ්‍ය ප්‍රජාව වෙතින් පළ වී තිබෙන දැඩි අප්‍රසාදය.

සාමාන්‍යයෙන් විෂය නිර්දේශ අලුත් වන හැම අවස්ථාවකම වගේ යම් යම් විරෝධතා මතු වුණත් මෙවර නැඟී තිබෙන විරෝධයනං ලේසියෙන් නොතකා හරින්න පුළුවන් එකක් නෙවේ ගරු ජනාධිපතිතුමනි. ඊට හේතුව තමා අනාගතය බාර ගන්න සිටින සිසු පරපුරේ දැනුම මොට කරන හා දෙස් විදෙස් සාහිත්‍යයේ වැදගත් ලේඛකයන් හා නිර්මාණ නොතකා හරින වැඩපිළිවෙළක් මෙවර නව විෂය නිර්දේශ මඟින් ක්‍රියාත්මක කර තිබීම. ඒ නිසා පහත දැක්වෙන කරුණු කෙරෙහි ඔබතුමාග් කාරුණික අවධානය යොමු කර අනාගත පරපුරට වින කටින මේ කනගාටුදායක තත්ත්වයට වහා විසඳුමක් ලබා දෙන ලෙස රටේ ප්‍රධාන පුරවැසියා වන ඔබතුමාගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

අපි දන්නා විදිහට ජාතික අධ්‍යාපන ආයතනයෙන් පත් කරන උපදේශක මණ්ඩලයක් මගිනුයි මේ විෂය නිර්දේශ සකස් කරන්නේ. මේ උපදේශකයන් අතර සාහිත්‍ය ගහළයන්ද සිටින බව 2017 සඳහා සකසා තිබෙන නව නිර්දේශ දෙස බලන විට පැහැදිලිව දකින්න ලැබෙනවා. උදාහරණ වශයෙන් දක්වතොත් ගරු ජනාධිපති තුමනි මෙවර නූතන පද්‍ය අංශය සඳහා දේශීය කවියේ වැදගත් සංධිස්ථානයක් වන කොළඹ කවිය සපුරාම කපා හැර ඇති සැටි පෙන්වන්න පුළුවන්. කොළඹ යුගයේ කවිය බැබළවූ, ඒ වගේම ජාතිය ප්‍රබෝධවත් කළ කිවිවරුන් වන ඇස්. මහින්ද හිමි ප්‍රමුඛ අල්විස් පෙරේරා, කුමාරගම, රැපියල් තෙන්නකෝන් බඳු මහා කවියන් ගැන අනාගත පරපුර ඉගෙනගත යුතු නැති බවයි විෂය නිර්දේශක පඬිවරු තීරණය කර තිබෙන්නේ. එතනින් නතර වී නැති මේ ගහළයන් නව කවියේ දිසානතිය වෙනස් කළ ආරියවංශ රණවීර හා නන්දන වීරසිංහ වැනි අපේ යුගයේ කවීන්ගේද ගෙළ සිඳ දමා ඇත්තේ කිසිම අනුකම්පාවකින් තොරවයි.

මේ විදිහටම තමන්ට රුචි නැති ලේඛකයන් කපාහැර තමන්ගේ හිතවතුන්ට ලොකු හැන්දකින් බෙදා තිබෙන අනිත් අංශය තමා කෙටිකතාව. මෙවර දේශීය කෙටිකතාකරුවන් හැටියට තෝරාගෙන තිබෙන්නේ මාර්ටින් වික‍්‍රමසිංහ සූරීන්ගේ සිට එරික් ඉලයප්ආරච්චි දක්වා දස දෙනකුගේ කණ්ඩායමක්. පහුගිය නිර්දේශවලට ඇතුළත්ව සිටි නූතන ලාංකික කෙටිකතාවේ අනන්‍යතා ලක්ෂණ ප්‍රකට කළ ලේඛක ලේඛිකාවන් වන රංජිත් ධර්මකීර්ති, සෝමරත්න බාලසුරිය, පියසීලි විජේමාන්න හා ජයතිලක කම්මැල්ලවීර වැන්නවුන්ට අත්ව තිබෙන්නේත් මහින්ද හිමියන් ඇතුළු කවි කිවිඳියන්ට අත් වූ ඉරණමමයි. විදෙස් කෙටිකතා හතරක්ද විෂය නිර්දේශයට ඇතුළත් කර තිබෙනවා. මෝපසාං, චෙකෝෆ්, තාගෝර් හා ලෝරන්ස් යන ලේඛකයන්ගේ තෝරාගත් කතාවල පරිවර්තකයන් නම් කිරීමේදිත් තමන්ගේ උදවියට බෙදීමේ න්‍යාය කදිමට ක්‍රියාත්මක කර ඇති ආකාරයක් දැකිය හැකියි. මෝපසාංගේ ‘ලනුකෑල්ල‘ හා චෙකෝෆ්ගේ ‘ශෝකාලාපය‘ යන කතා දෙකම සඳහා එකම පරිවර්තකයෙක් නම් කිරීම මගින් මේ ඊනියා නිර්දේශකයන්ගේ පක්ෂග්‍රාහිබව මොනවට පැහැදිලි වෙනවා. අනිත් අතට ඔවුන් මෙසේ නිශ්චිත පරිවර්තකයකු නම් කර තිබෙන්නේ ඊට වඩා සාර්ථක විකල්ප පරිවර්තකයන් සිටියදීම බවත් අමතක නොකළ යුතුයි. ඉතිරි පරිවර්තන දෙක සඳහා පරිවර්තකයන් නම් කර නැත්තේ ඒවා පරිවර්තනය කළ අය තමන්ගේ හිතවතුන් නොවන නිසාද යන ප්‍රශ්නයත් මෙහිදී පැන නඟිනවා.

වර්තමාන සිංහල නවකතාව වගේම කවිය හා කෙටිකතාවත් ඉතා වේගයෙන් නවීකරණය වෙමින් පවතින බව මෙම ගතානුගතික විෂය නිර්දේශකයන්ට නොපෙනීම තමා ලොකුම අභාග්‍යය. දේශීය වගේම විදෙස් සාහිත්‍යයේත් ඇති වෙමින් තිබෙන මේ වෙනස්කම් නූතන පරපුරට අවබෝධ කරදීම තමා නව විෂය නිර්දේශ සම්පාදනය කරන බලධාරීන්ගේ වගකීම විය යුත්තේ. එහෙත් නූතන සාහිත්‍ය කලාවන් නයාට අඳුකොළ මෙන් තිත්ත විෂය නිර්දේශකයන් කල්ලියක් මෙබඳු මණ්ඩලවලට අරක්ගෙන සිටින තාක් කල් සාහිත්‍ය කලා ක්ෂේත්‍රවල ඇති වන නව වර්ධනයන් සිසු පරපුරට දැන කියා ගන්න අවකාශයක් නොලැබෙන බව සිකුරුයි. විශ්වවිද්‍යාලවල මහැදුරු පට්ටම්වලින් හිස උදුම්මාගෙන සිටින මෙම සම්පාදකයන් අතර බහුතරයක් රැකියාව පිණිස උගන්වන අය මිසක තමන් නිරතව සිටින ක්ෂේත්‍රවල ශාස්ත්‍රීය පර්යේෂණවල හෝ වෙනත් නිර්මාණ කාර්යයන්වල හෝ නියැළෙන්නන් නොවේ. ඒ වගේම දෙස් විදෙස් නව සාහිත්‍ය ප්‍රවණතා කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකරන ඔවුන් සාහිත්‍ය කලාවන් පිළිබඳව කිසිම ඇල්මක් දක්වන්නේ නැති බවත් පැහැදිලියි. ‘අද සාහිත්‍යය වළ පල්ලට ගිහින්‘ ‘අද ලියන දේවල්වල කිසි හරයක් නැහැ‘ ‘සම්මාන දෙන්නතරම් වටිනා පොත් නැහැ‘ ආදි වශයෙන් විටින් විට පත්තරවලට ප්‍රකාශ නිකුත් කරන විශ්වවිද්‍යාල ඇඳුරෙක්ද විෂය නිර්දේශ මණ්ඩලයේ බලවතකු වී සිටිමෙන්ම අප නඟන මෙම චෝදනාවල සත්‍ය අසත්‍යතාව ගරු ජනාධිපතිතුමාට තේරුම්ගත හැකි වෙයි.

වික්‍රමසිංහ, ජී.බී. හා ඩබ්ලියු. ඒ. සිල්වා වැනි පුරෝගාමීන්ගේ සාහිත්‍ය භාවිතාව සිසු පරපුරට ඉගැන්විය යුතු නැතැයි පැවසීමට තරම් අපි අන්තවාදි වන්නේ නැහැ. ඒත් ගැටලුව තිබෙන්නේ මේ මොහොතේ දේශීය හා ලෝක සාහිත්‍යය ගමන් කරන්නේ කවර දිසානතියකටද කියා දරුවන්ට කියා දෙන විෂය නිර්දේශයක් සම්පාදනය කිරීමට මේ බලධාරීන් දක්වන දැඩි අකමැත්ත මතයි. අද දේශීය කවිය ගැන සලකා බලන විට රණවීර හා නන්දන වැනි කවීන් නොතකා හැරීමෙන් ඔවුන් කර තිබෙන්නේ ඒ කවීන්ට අගතියක් කිරිම පමණක් නෙවේ. නව කවියේ ලක්ෂණ වහං කිරීම මගින් නූතන පරපුරටත් ලොකු අසාධාරණයක් කර තිබෙනවා. ඇත්තටම කළ යුත්තේ රණවිර හා නන්දනට අමතරව ලක්ෂාන් හා ටිම්රාන් වැනි තරුණ කවියන්ගේ ප්‍රවණතාත් සාකච්ඡාවට ලක්කිරීම නෙවේද කියා සාහිත්‍යය ගැන නොදන්නා දෙයක් නැතැයි හිතා ඉන්න මේ මහත්වරුන්ගෙන් අපට ප්‍රශ්න කිරීමට සිදු වී තිබෙනවා.

කෙටිකතාව පැත්තෙන් පවසන්න තිබෙන්නේද මෙවැනිම කතාවක්. මෙවර නිර්දේශ අතරට සයිමන් නවගත්තේගම හා අජිත් තිලකසේන ලේඛකයන් දෙදෙනා ඇපෙන් ගැලවෙන්න මෙන් එකතු කරගෙන තිබුණත් ඊට හිලව් වශයෙන් වත්මන් කෙටිකතාව නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ ලේඛකයන් හතර දෙනෙක් කපාහැර තිබෙනවා. රංජිත් ධර්මකීර්ති, සෝමරත්න බාලසූරිය, පියසීලී විජේමාන්න හා ජයතිලක කම්මැල්ලවීර යනු මෑතභාගයේ ලාංකික කෙටිකතා කලාවේ බොහෝ කතාබහට ලක් වූ ලේඛක ලේඛිකාවන්. ඒ හතර දෙනාවම එකවර කපා හැරීමට තරම් සහසික වීමෙන්ම පෙනෙනවා මේ විෂය නිර්දේශකයන් කිසිම රසවින්දන ශක්තියක් නැති කලාවිහිනයන් අහිනක් බව. ලාංකික කෙටිකතාවේ මෑතම අවධිය නියෝජනය කරන කීර්ති වැලිසරගේ, නිශ්ශංක විජේමාන්න, පියල් කාරියවසම්, ලියනගේ අමරකීර්ති හා අනුරසිරි හෙට්ටිගේ වැන්නන් ඉදිරියට පැමිණියේ පුරෝගාමි කෙටිකතාකරුවන්ගේ ආභාෂය නොමඳව ලබමින්. ලාංකික කෙටිකතාව ඇතුළු සෙසු සාහිත්‍යාංග නියෝජනය කරන පැරණි පරපුර වගේම වර්තමානයේ නිර්මාණ කාර්යයන් හි නිරතව සිටින නව පරපුර පිළිබඳවත් සිසුන්ට අවබෝධයක් ලබා දිය යුතුයි. මොකද ඔවුන් තමා නූතන සාහිත්‍ය කලාව නියෝජනය කරන්නේ. ඒත් කරුමයක මහත. මහන්තත්තකමේ කඩතුරාවෙන් ඇස් වසාගෙන සිටින පඬිවරුන්ට මේ කිසිත් නොපෙනන හැටි.

ගරු ජනාධිපතිතුමනි මේ ආකාරයට හිතුමනාපයට සාහිත්‍ය කලාව වැනි පුළුල් විෂයක් පිළිබඳව අනාගත පරපුරේ දැනුම හා අවබෝධය මොට කරන තීන්දු තීරණ ගැනීමේ බලය ඉහත කී විෂය නිර්දේශකයන්ට පැවරුවේ කව්ද? සාහිත්‍ය නිර්මාණකරුවන්ට මෙන්ම මතු රට පාලනය කරන අනාගත පරපුරට අගතියක් කරන මෙවැනි පුද්ගලයන්ගේ සැබෑ අරමුණ විය හැක්කේ කුමක්ද? ඔවුන්ගේ මෙම තෝරාගැනීම්වල පදනම කුමක්ද ? ලේඛකයන්ට හා ලේඛන කලාවටත් අවමන් කරන සිසු දරුවන්ගේ දැනුම මොට කරන මේ සාහිත්‍ය ගහළයන් කවුරුන්දැයි සොයා ඔවුන්ගේ සාපයෙන් ලේඛකයාත් දරු කැළත් මුදා ගන්නා ලෙස නැවත නැවතත් ඉල්ලා සිටිමු. 

කමල් පෙරේරා


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...