බලය ද දියුණුව ද? | දිනමිණ

බලය ද දියුණුව ද?

 ශ්‍රී ලංකාවේ දුප්පත්කම ගැනත්; දුප්පත්කම නැති කිරීම ගැනත් අලුත් අදහසක් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ජනාධිපතිවරයාගේ ක්‍රමවේදයට අනුව පළමුව අප ඇත්ත යථාර්ථයට මුහුණදිය යුතුය. එලෙසම එය හෙළිදරව් කළ යුතුය. දෙවනුව දිළිඳුකම පිටුදැකීම සඳහා සාමූහික ප්‍රයත්නයක් අනුගමනය කළ යුතුය. මෙතෙක් ඉතිහාසය පුරා රටේ දුප්පත්කම ගැන ඇත්ත හෙළිදරව් වී නැත. සංඛ්‍යාලේඛනවලට එහි නිවැරැදි ස්වරූපය හසුවන්නේ ද නැත. නිදසුනක් ගතහොත් අද වනවිට අපේ දුප්පත්කම 7% කට ආසන්නය. එහෙත් කරුණු සොයාබලනවිට අපේ දුප්පත්කම 25% ට වැඩි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. එතුමාගේ අදහසට අනුව දුප්පත්කමෙහි නොපෙනෙන සාධක ගණනාවක් ද තිබේ. ඒවා ගණනය කර බලනවිට අපේ දිළිඳුකම 25% - 27% අතර පවතින බව පැහැදිලිවේ.

අපේ දිළිදුකමට හේතු කවරේද? නාස්තිය එක හේතුවකි. නිදසුනක් ගතහොත් කොළඹට සපයන ජලයෙන් 35%ක් පමණ අපතේ යයි. අනෙකුත් ප්‍රදේශවල ජලය අපතේ යෑම සියයට විසි ගණනක් ලෙස සටහන්වී ඇත. විදුලිය නාස්තිය කිරීම ගැන සටහන් නැත. එය ගණනය කිරීම ද අපහසුය. ගෘහාශ්‍රිත විදුලිය නාස්තිය එක අතෙකින් පවතී. පොදුවේ සමාජමය විදුලිය නාස්තිය තව අතෙකින් පවතී. අපේ රටේ තරම් විදුලිය නාස්ති වන වෙනත් රටක් නැති වන්නත් පුළුවන. කාර්යාලවල විදුලි පංකා උදේ සිට රෑ වෙනතෙක් කැරකෙයි. නැවත රාත්‍රියේ සිට එළිවෙනකම් කැරකෙයි. සිවිලිම් විදුලි පංකාවකට වැයවන විදුලිය ගැන කිසිඳු තැකීමක් රාජ්‍ය සේවකයන් තුළ නැත. රාජ්‍ය සේවය තුළ විදුලිය නාස්තිය බහුලව සිදුවන අතර පෞද්ගලික අංශය තුළ ද යම් පමණක විදුලිය නාස්තියක් පවතී.

කාලය නාස්තිය තවත් වැදගත් කාරණයෙකි. රාජ්‍ය සේවය තුළ කාලය නාස්තිය ඉතා බහුලව සිදුවේ. ඇතැම් කාර්යාල සේවකයෝ පමණක් නොව නිලධාරීහු පවා රාජකාරි කාලයේ වැඩි කොටස පෞද්ගලික වැඩ සඳහා වෙන් කරති. ඇතැම් නිලධාරින් හමුවීමට පැය ගණන් ගතකළ යුතුය. ඔවුන්ගේ කෑමට පැය ගණනක් ගතවේ. තේ පානයට තවත් පැය ගණනක් ගතවේ. ඈත ගම් පළාත්වල සිට නිලධාරීන් හමුවීමට එන ජනතාවට සිදුවී ඇත්තේ හිස් අතින් ගෙදර යෑමටය. මෙය රටේ දිළිඳුකම වැඩි වීමට මෙන්ම සංවර්ධනය අඩාල කිරීමට ද අදාළ හේතුවකි. සමහරු දේශපාලනය කතා කරමින් ද, ඕපාදූප දොඩවමින් ද කාලය නාස්ති කරති. කාල කළමනාකරණය ගැන කිසිඳු තැකීමක් මේ නිලධාරීන් ළඟ නැත. දියුණුවන රටක නිලධාරීන් කාලය ඉතා මැනවින් කළමනාකරණය කරමින් රටට අවශ්‍ය සැලැසුම් හා වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය. අපේ රටේ එවැන්නක් නැත.

අපේ රටේ දේශපාලකයන් හා දේශපාලන ව්‍යාපෘති ගතහොත් ඇත්තේ ද විකෘති තත්ත්වයකි. සමහරු ආණ්ඩු පෙරැළීමට මාන බලමින් ජනතාව නොමග යැවීම සඳහා උපායමාර්ග ක්‍රියාත්මක කරති. තව සමහරු දිගින්-දිගටම උද්ඝෝෂණ හා පෙළපාළි පවත්වති. ඒවාට කාලයක් හා හේතුවක් නැත. ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ ආණ්ඩුවට එරෙහිවීම පමණි. දිළිඳුකම පිටුදැකීම සඳහා ආණ්ඩුව පමණක් නොව විපක්ෂය ද සහයෝගය දැක්විය යුතුය. ඒ සම්බන්ධයෙන් වූ දර්ශනයක් ආණ්ඩුවට පමණක් නොව විපක්ෂයට ද තිබිය යුතු ය. එහෙත් ශ්‍රී ලංකාවේ එවැන්නක් නැත. ආණ්ඩුව ගෙනයන දිළිඳුකම පිටුදැකීමේ සියලු ව්‍යාපෘතිවලට විපක්ෂය විරුද්ධ බවක් පෙනෙන්නට තිබේ. මෙහි ප්‍රතිඵලය කුමක් ද? රට අගාධයට යෑමයි. ලෝකයේ බොහෝ රටවල ආණ්ඩුව හා විපක්ෂය පොදු කටයුතුවලදී එකට ක්‍රියා කරන බව අපගේ අත්දැකීමය. එහෙත් ශ්‍රී ලංකාවේ එවැන්නක් නැත.

දිළිඳුකම පිටුදැකීම සඳහා මූලික උපායමාර්ග ගණනාවක් ක්‍රියාත්මක කළ යුතුය. එයින් ප්‍රධාන තැන ගන්නා ආයතන දෙකක් තිබේ. ඉන් පළමුවන්න ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම ය. දෙවන්න දේශපාලන වශයෙන් පොදු සම්මුතියකට හා පොදු එකඟතාවකට පැමිණීම ය. මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණි ආන්ද්‍රා ප්‍රදේශ් මහ ඇමැති චන්ද්‍ර බාවා නයිදු මහතා අපගේ සංහිඳියාව හා සම්මුතිවාදය ඇගයීමට ලක්කළේය. එවැන්නක් නැතිව දේශපාලන වශයෙන් ඉදිරියට යාමේ හැකියාවක් නැත. වත්මන් ආණ්ඩුව සංහිඳියාවට හා සම්මුතිවාදයට ප්‍රමුඛ තැනක් ලබාදී තිබේ. ඒ අනුව ජාතීන් අතර සමගියක් ගොඩනැගී ඇති අතර අන්තර්ජාතික වශයෙන් රට පිළිගැනීමට ලක්වී ඇත. විදුලි පුටුව, අන්තර්ජාතික අධිකරණය, රණවිරුවන්ට දඬුවම් ලබාදීම ආදී කරුණු පුන - පුනා කියන අයට මේ තත්ත්වය වටහාගැනීම අපහසුය. අපට වැදගත් වන්නේ බලය නොව දියුණුවයි.

නව අදහස දක්වන්න