විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අපූරු ගුරුතුමිය ලකීෂා | දිනමිණ

විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අපූරු ගුරුතුමිය ලකීෂා

 

මොනවද අම්මේ අකුරු ජාතියක් මල් පෙතිවල කවුදෝ ලියලා

කවුරුද අම්මේ ඒවා ලියන්නේ මට නෑ මොකවත් තේරෙන්නේ

ඒ ඔවුන්ගේ සවිඥානිකත්වය පිළිබඳ අල්පමාත්‍රයකුදු වටහා දෙන්නට, සාගර පලන්සූරිය කිවිඳුන් ගත් තැතෙකි. ඔවුහු විටෙක යමක් අතගා වටහා ගනිති. තවත් විටෙක නැහැ පුඩුවට තබා පුසුඹ වටහා ගන්නට තතනති. මේ අතර තවකෙක් බලාගත්වන ම ය. මේ අපේ ම වුන්ගෙන් කොටසකි.

ඒ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ය. තරගකාරී ලෝකය සමඟ උරෙන් උර ගැ‍ටෙන්නට මේ දරුවන්ට අසීරු වන මුත්, සැඟව ගත් ශඛ්‍යතා ඔවුන්ට ද ඇත. එහෙත් මේ දරුවන් අවබෝධ කර ගනිමින්, එකී ශක්‍යතාවලට තෝතැන්නක් නිර්මාණය කර දීම, පහසු කාර්යයක් නොවේ. එකී අභියෝග ජය ගනුවස්, විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට දිරි දෙන්නියක ලෙස ලකීෂා ප්‍රනාන්දු හැඳින්විය හැකි ය.

ඇය,විශේෂ අවශ්‍යතා ඇති දරුවන් උදෙසා චිත්‍ර කලා අධ්‍යාපනය ලබා දෙමින්, ඉන් ඔබ්බට මේ දරුවන්ගේ කුසලතා, වෘත්තීය මට්ටමට ගෙන ඒම සඳහා දිරි දෙයි. චිත්‍ර කලා විෂය හා මනෝ උපදේශනය සම්බන්ධ ක්‍රමවේද මඟින් දරුවන්ට දැනුම ලබාදීම, කුසලතා වර්ධනය, ආකල්ප හා පෞරුෂ සංවර්ධනය, ගැටලු නිරාකරණය හා ලිහිලනයට පත් කිරීම ඇයගේ ඉගැන්නුම් ක්‍රමයේ ඇති විශේෂත්වයයි.

කැලණිය විශ්ව විද්‍යාලයේ ලලිතකලා විශේෂවේදී උපාධිධාරිනියක වන ලකීෂා ප්‍රනාන්දු හට , මේ කෙරෙහි අවධානය යොමු කිරීමට පෙලඹවූ ප්‍රධානතම හේතුව වූයේ, ඇය සිය නිවෙසේ ආරම්භ කළ චිත්‍ර කලා පන්තියට පැමිණි එක් විශේෂ අවශ්‍යතා ඇති දරුවෙකි.

ලකීෂා , සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ උගත් තැනැත්තියකි. උගත් පාසලටම ගුරුවරියක ලෙස සේවය කළ ඇය, ශ්‍රී ලංකාව තුළ මෙන් ම, වෙනත් රටවලත් චිත්‍ර ප්‍රදර්ශන හා වැඩමුළුවලට වෘත්තීය කලා කාරිනියක ලෙස සහභාගී වෙමින් අත්දැකීම් ලබා ගත්තාය. තව දුරටත් සිය අවධානය විශේෂ අවශ්‍යතා ඇති දරුවන් කෙරේ යොමු කිරීමේ අරමුණින්, පාසලක අර්ධකාලීන ගුරුවරියක ලෙස කටයුතු කළා ය.

එහෙත් ඉන් නොනැවතුණු ඇය, විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සමඟ කටයුතු කිරීමේ දී වැදගත් වන මනෝ විද්‍යාත්මක දැනුම සොයන්නට විය. ඒ අනුව ලකීෂා ශ්‍රී ලංකා මානසික සෞඛ්‍ය පදනම යටතේ මනෝ උපදේශනය හා ප්‍රතිකාර පිළිබඳ උසස් ඩිප්ලෝමාව හැදෑරී ය. මේ ගමනේදී ඈ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ ලෝකය තනන්නට විය.

ඒ, ඇය විසින්ම මෙවැනි දරුවන් හට ඉගැන්වීමට ස්ථානයක් සකස් කිරීමෙනි. ලකීෂා ගුරුතුමියගෙන් උ‍ගෙන ගන්නා දරුවන් අධ්‍යාපනය ලබන කාල සීමාවෙන් පසුව අත හැරීමට මේ අපූරු ගුරුතුමිය කැමැති වූයේ නැත.

එනිසාම මේ දරුවන්ට, චිත්‍ර ඇඳීමේ ශක්‍යතාවයෙන් ඔබ්බට වෘත්තීය මට්ටමක් ඇති කර දීම ඇගේ ඊළඟ ඉලක්කය විය .ඒ අනුව ඇය මේ දරුවන්ට සුබ පැතුම්පත් නිර්මාණය, ලියුම් කවර, විසිතුරු භාණ්ඩ නිර්මාණයට පොලඹමින්, දෙපයින් හිටගන්නට අත් වාරු සපයන්නී ය. මිරිහාන රජ මාවතේ පවත්වා ගෙන යන ඇගේ මේ පාසල මඟින්, මේ දරුවන් දැයට බරක් නැති දරුවකු ලෙස සමාජගත කිරීම ඇගැයිය යුතු ය.

මේ දරුවන්ගේ චිත්‍ර එකතු ඇතුළත් ප්‍රදර්ශන දෙකක් ජාතික කලා භවනේ දී පවත්වන්නට සමත් වූමේ අපූරු චිත්‍ර කලා ගුරුතුමිය, 2017 වසරේ දී, විශේෂ අවශ්‍යතා ඇති ඇගේ මේ දරුවන්ගේ නිර්මාණ එළි දක්වන්නට ද අපේක්ෂා කරන්නී ය.

නිලූකා ඩී.තිලකරත්න

නව අදහස දක්වන්න