විදුලි ඉස්ත්‍රික්කය දිගු කලක් පාවිච්චි කරන්නෙ කොහොමද? | දිනමිණ

විදුලි ඉස්ත්‍රික්කය දිගු කලක් පාවිච්චි කරන්නෙ කොහොමද?

 

බොහෝවිට අප විදුලි උපකරණ භාවිතයේදී වැය වන විදුලි බලය ගැන හෝ උපකරණය කල්පවත්වා ගැනීම ගැන සිතන්නේම නැත. විදුලිය අරපිරිමැසුම්දායකව භාවිත කිරීම සඳහාත්, ඔබේ කාලය, ශ්‍රමය පිරිමසා ගැනීම සඳහාත්, ගෙදර රෙදි මැදීමේ කටයුතු කරන විට, පවුලේ සැමගේම රෙදි එක වෙලාක මැදීමට අමතක නොකරන්න . මේ සඳහා ඔබට,සේදීම් කරන දිනයේ සවස් වරුව යොදාගත හැකි ය.

රෙදි මැදීම සඳහා ඔබට මදින ලෑල්ලක්ම අවශ්‍ය නොවේ. ඒ සඳහා මේස මතුපිටක්, කුඩා කබඩ් එකක මතුපිටක් ද යොදා ගත හැකි ය. විදුලි ස්ත්‍රික්කයෙන් මැදීමේදී ඒ ඒ රෙදි වර්ගයට අදාළ උෂ්ණත්වය සකස් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ අවධානයෙන් සිටිය යුතු ය.

කිසිවිටෙකත්, විදුලි ඉස්ත්‍රික්කයෙහි පතුල සීරීම නොකළ යුතු ය. සබන් පෙණ නංවන ලද වතුරේ පොඟවාගත් රෙදි කෑල්ලකින් ඉස්ත්‍රික්කය පතුලේ ඇලී ඇති දෑ ඉවත් කළ හැකි ය.

කිළිටි රෙදි මැදීමෙන් ඉස්ත්‍රික්කයේ පතුලේ ඇති දිස්නය නැති වී යයි.මේ දිස්නය නැති වීමෙන් ද තාපය පිටවී යයි. කැඳ දැමූ රෙදි මැදීමේදී, ඉස්ත්‍රික්ක පතුලේ කැඳ ඇලීම සිදුවිය හැකි ය. මෙසේ වූ විට තද රශ්මිය ඇති වතුරේ පොඟවාගත් රෙදි කැබැල්ලක් ඇතිල්ලීමේන් හෝ මී ඉටි භාවිත කිරීමෙන් කැඳ ඉවත්කර ගත හැකි ය.

නොසැලකිළිමත් ලෙස පාවිච්චි කිරීමෙන් ඉස්ත්‍රික්කයේපතුල අපිරිසුදු වූ විට, එය පිරිසුදු කරනවාට වඩා, ප්‍රවේශම් සහිතව පාවිච්චි කිරීමෙන්,ඉස්ත්‍රික්කයෙන් උපරිම ප්‍රයෝජන ගත හැකි ය. ඉස්ත්‍රික්කය පාවිච්චි කර අවසන් වූ විට පිරිසුදු කර, එය සිසිල් වූ විගස වයරය එහි වටේ ඔතා, එහි පෙට්ටියේ අසුරා තැබීමෙන්, ඉස්ත්‍රික්කය කලක් භාවිත කළ හැකි ය. මේ කරුණු අනුව ක්‍රියා කළහොත්, විදුලි ඉස්ත්‍රික්කය දීර්ඝ කාලයක් භාවිත කළ හැකි අතර, එයින් වන අනතුරු ද අවම කර ගත හැකි ය.

උපදෙස් - නිල්වලා අධ්‍යාපන විද්‍යා පීඨයේ හිටපු ගෘහ ආර්ථික විද්‍යා අංශ ප්‍රධානී, කථිකාචාරිණී

රාණි එදිරිසිංහ

- මදාරා

නව අදහස දක්වන්න