එන්න බලන්න දියවන්නාවේ කුරුලු රජදහන | දිනමිණ

එන්න බලන්න දියවන්නාවේ කුරුලු රජදහන

ඉරෝ­ෂිණී දීපිකා

 

රාස්සිගේ අව්ව මිහිකත සිප ගනිමින් ඇත. එම රැස් කෙඳිති, මුළු පරිසරයටම අමුතුම ආලෝකයක් ලැබ දෙමින්, කොළොම්පුරය වසාගත් කොන්ක්‍රීට් වනාන්තරයේ වහලවල් අතරින් පෙරී යයි. එවන් මොහොතක,කුඩා දිය රැලි බිඳෙමින් මුළු කොළොම් පුරයටම අලංකෘත බවක් එක් කරන, දියවන්නාව අප නෙතු ගැටිණි. ඇය , සුළඟේ දැවටෙමින්, ලා කහ පැහැයෙන් යුතු හිරු රැස් කෙඳි සමඟ වෙලී, දිය මත චමත්කාරජනක සිතුවම් මවමින් ඇත. ඒ අපූරු දසුන් මැද, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ද ඈතින් පෙනෙන්නට විය.

සවස් යාමය වනවිට දියවන්නාව හරි ම සොඳුරු ය.ඒ සොඳුරු බව වැඩි වන්නේ, ඈ අවට සැරිසරන විහඟුන් නිසා ය.ඇගේ ඇකයේ වැඩෙන ගහකොළ නිසා ය.

අප , ඉවුර අසලට යනවිටම දුටුවේ, ගසක අත්තක වසා සිටිමින්, දිය රැලි දෙසට නෙතු යොමා සිටිනා ළය සුදුමැදි පිළිහුඩුවෙකි. උගේ වෑයම අනෙකක් නොව, කුස පුරවා ගැනීමට යමක් සොයාගැනීම ය. දිය මතුපිටට කළුවන් හිස් කිහිපයක් යොමාගෙන දියකෙළිනා කුරුලු සමූහයකි. ඒ දියකාවුන් ය.දිය මතුපිටට පැමිණ පියාපත් ගසාදමමින් වරින්වර උන් දියෙන් ගොඩ ආවේ,දිය මත හිඳීමෙන් ලද අපරිමිත ආස්වාදය ද කැටිව ය. මේ සියලු කුරුලු රැඟුම් නරඹන අතරේ , දෙමලිච්චන් රෑණක් පැමිණ හඬතලන්නට වූයෙන්, අප දැහැන් බිඳිනි.

මීට පෙර කතිකා කරගත් පරිදි, දියවන්නාවේ සොඳුරු කුරුලු රජදහන නැරැඹීම සඳහා යාමට අපි සූදානම් වූයෙමු. ඒ සඳහා අප කැටුව යාමට නියමිත නාවික හමුදාවට අයත් යාත්‍රාව පැමිණියෙන්, නොඉවසිල්ලෙන් යුතුව අපි එයට නැගුනෙමු.

දිය රැලිති බිඳිමින් බෝට්ටුව යාත්‍රා කරන්නට විය. දියවන්නාව වටා යමින්, සොඳුරු පරිසරයේ අපූර්වත්වය විඳ ගැනීම අපගේ අපේක්ෂාව විය.ඒ යන අතරේ අප ඇස ගැටුනේ නෙක් විධ විහඟුන් ය. වරෙක දිය මතින් ඉගිල යන ලිහිණියෙකි. තවත් විටෙක නුඹ කුස නිදහස විඳිමින් කෑ ගසා ඉගිල යන ගිරවු රෑණකි.තවත් විටෙක අහසේ පියාසරනා කුරුළුගොයකු අප නෙත ගැටුනි. යාත්‍රා කර මද දුරක් යනවිට, ඉවුරට ඈතින් පිහිටා ඇති ගසක ළැග සිටිනා වවුලන් සමූහයක් දැකගත හැකි විය.ඒ දුටු දරුවන්ගේ සිත් ප්‍රීතියෙන් පිනායන්නට විය. උන්ගේ කරච්චලයෙන් ඉවත්වූ අපි, නැවතත්ඉදිරියටම ගියෙමු.

මොහොකින් මද අඳුර ගලන්නට වුණි. මේ වනවිට පෙරටත් වඩා කුරුල්ලන්ගේ ඔබමොබ යනු දැකගත හැකි විය. විටෙක ඈතින් දිස්වන්නේ පෙළට ඇදී යන කිරි කොකුන් ය. තවත් විටෙක මදින් මද පියාඹා යන කණ කොකුන් ය.

විනාඩි විසිපහක් තිහක් පමණ යාත්‍රා කළ පසු අප ඇස ගැටුණේ, දියවන්නාව මැද පිහිටා ඇති, ගස් දෙක තුනක් පමණ වැඩී ඇති දූපත් වැනි කුඩා බිම්කඩවල් කිහිපයකි.

‘ආන්න කිඹුලෙක්.’ අප අතර සිටි එකකු කෑගසන්නට වූයේ, කිඹුලකු දැකීමෙන් ඇතිවූ මහත් ප්‍රීතිය නිසා ම ය. ඒත් සමඟම ඌ දියට පැන්නෙන් සියලු දෙනාටම ඒ සතුට විද ගැන්මට නොහැකි විය.

ලා අඳුර පෙරෙන නිහඬ නිසංසල සැදෑව වුව, මේ ගස් අසලට යනවිට නම් ඒ නිහඬ බව බිඳින්නට බොහෝ පිරිවරක් පැමිණ ඇත. ඒ ගස් මත නැගී නිදිවදින්නට තැනක් සොයනා, කිරි කොකුන්, කණ කොකුන්,කරවැල් කොකුන්,බැම සුදු හම්බු කුරුල්ලන්, පැස්තුඩුවන් මෙන් ම, අලිමානාවන්ගෙන් ද අඩුවක් නැත. කොළ නොපෙනෙන තරමට ම මේ ගස් අතුඅග වසා සිටින්නේ මෙවැනි කුරුල්ලන් ය. මේ අපූර්ව චමත්කාර දසුන දැකගැනීම සදහා අපි එම ස්ථානයේ බෝ වේලාවක් රැඳුනෙමු.

ඒ අතරේ බොහෝදෙනා සිය කැමරාවලින් නොනවත්වාම ඡායාරූප ගන්නට විය.විනාඩි හතළිහක පමණ බෝට්ටු සවාරියකින් අනතුරුව අප නැවතත් පෙර සිටි ස්ථානයට පැමිණියේ, නාගරික පෙදෙසක වුව සොබා සිරියේ අපූර්වත්වය සිත්පුරා විඳගනිමිනි.

මේ අපූරු කුරුලු රජදහන නරඹන්නට ඔබට ද පුළුවන. ඒ සඳහා, නිවාඩුපාඩුවේ සිටිනා දිනයක, සන්ධ්‍යා සමයේ ඒ කරා යා යුතු ය. එයට හේතුව, මේ සොබාසිරිය විඳගත හැක්කේ සන්ධ්‍යාවේදී වීම නිසා ම ය.

ඡායාරූප හලීෆ් ඉස්මයිල්

නව අදහස දක්වන්න