ඇගැයීම් ලබන්න මාත් කැමැතියි | දිනමිණ

ඇගැයීම් ලබන්න මාත් කැමැතියි

ධම්මිකා සුරංජි පතිරණ

 

තාරුකා වන්නිආරච්චි

මෑත කාලයේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පැමිණි නිළියන් අතරින් වඩාත් ප්‍රභාන්විත රුවකට මෙන් ම, අනාගතයකට ද හිමිකම් කියන ඇය, තාරුකා වන්නිආරච්චි නම් වෙයි. රංගනයට මෙන් ම නර්ථනයට ද නිසඟ හැකියාවක් ඇති ඇය, කලා ලොව තුළ දිදුලන තරුවක් වීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් සිටී. 2014 වසරේ පැවැති රයිගම් ටෙලි සම්මාන උළෙලේ, නැගී එන හොඳ ම නිළියට හිමි සම්මානය දිනාගත්තේ ද ඇය ය.

* කලාවට ඔබගේ ප්‍රවේශය සිදු වන්නේ කොහොමද?

2010 වර්ෂයේ ඡවි කල්‍යාණි තරගයෙන් ජයග්‍රහණය කිරීමත් සමඟම, මට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ප්‍රවිශ්ට වීමට අවස්ථාවක් ලැබුණා. මම පළමු වරට රඟපෑවේ, ' ප්‍රභා' ටෙලි නාට්‍යයේ චරිතයක් .

* රංගනය ක්ෂේත්‍රය ඔබට අහම්බයක්ද?

පාසල් වියේ මම දක්ෂතා දැක්වුයේ නර්ථනයට. මම උසස් පෙළට නර්ථනය විෂයක් ලෙස හැදෑරුවා. මගේ බලාපොරොත්තුව වුණේ නර්ථන ගුරුවරියක් හෝ එම අංශයෙන් ඉදිරි ගමනක් යන්නයි. ඒත්, මට රංගනයට පිවිසෙන්න අවස්ථාව උදා වුණා.

* රංගන ක්ෂේත්‍රය ගැන ඔබේ මතය කොයි වගේද?

අපි හොඳින් ඉන්නවා නම්, මේ ක්ෂේත්‍රය ඉතා හොඳ තැනක්. අපි මේ ක්ෂේත්‍රය තුළ ක්‍රියා කරන විදිහ අනුවයි එය තීරණය වෙන්නෙ.

* රඟපෑම ඔබගේ වෘත්තියද? විනෝදාංශයද?

මම වෘත්තිය විදිහට කරන්නෙ රංගනය.

* මේ වෘත්තියේ ආර්ථික අස්ථාවර බවක් ඇතැයි පවසන කතාව ගැන ඔබේ අදහස කුමක්ද?

එහෙම ප්‍රශ්නයක් තියෙනවා තමයි. මේ ක්ෂේත්‍රයේ සිටින අයෙකුට රඟපෑමට අමතරව, ව්‍යාපාරයක් වැනි දෙයක් පවත්වාගෙන යන්න පුළුවන් නම් හොඳයි කියලා මම හිතනවා.

* ජනප්‍රියත්වය ගැන ඔබේ අදහස මොක්ද?

ජනප්‍රියත්වය අප සමඟ රැදෙන්නෙ අපි ඉදිරිපත් කරන රංගනය අනුවයි. හොඳ චරිත රංගනයක යෙදුණොත්, ඒ පිළිබඳ රසිකයන්ගේ අවධානය යොමු වෙනවා. අපේ රංගනය ගැන ප්‍රේක්ෂකයන් කතා වෙනවා සහ එම චරිත මිනිස්සුන්ගෙ මතකයේ රැඳෙනවා. ගොපලු අරණ, අකඩවාරිය වැනි ටෙලි නාට්‍යවල මගේ රංගනය පිළිබඳ අදටත් මට ඇගැයීම් ලැබෙනවා.

* මෙතෙක් ලැබුණ චරිත පිළිබඳ තාරුකා සෑහීමකට පත්වෙනවද?

ඔව්. මම මේ වෙද්දි ටෙලි නාට්‍ය හතළිහක විතර රඟපාන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ මඟින් ප්‍රේක්ෂකයන්ගේ අවධානයට ලක්වන අපූරු චරිත කිහිපයක්ම තියෙනවා. ඒත්, ඉදිරියේදී මට කරන්න තවත් බොහෝ දේ තියෙනවා කියලා මම හිතනවා.

* ඉදිරියේදී ඔබ රඟපාන්න බලාපොරොත්තුවෙන් සිටින චරිත එහෙම ති‍ෙයනවද?

ඔව් .විරූපී කාන්තාවකගේ චරිතයක් රඟපාන්න මම කැමැත්තෙන් ඉන්නවා. ඉන්න ස්වරූපයට වඩා වෙනස් ස්වරූපයකින්, එවැනි චරිතයක් රඟපාන්න මම කැමැතියි.

* සම්මානනීය නිළියක් වන බලාපොරොත්තුවෙන්ද රඟපාන්නෙ?

සම්මානයක් කියන්නෙ ඇගැයීමක්. මමත් ඇගැයීමක් ලබන්න කැමැතියි. තමන්ගේ හැකියා ඇගැයීමට ලක්වන එක වාසනාවක්. ඒත්, මගේ අරමුණ මට ලැබෙන චරිතය ඉතාමත් හොඳින් රඟපෑමයි. මම සම්මාන බලාගෙන රඟපාන්නෙ නැහැ.

* රංගනය වගේ ම, නර්ථනය හා නිරූපණයටත් සම්බන්ධයි.

හිරු මෙගා ස්ටාර් හරහා මට මගේ නර්ථන හැකියා පෙන්වන්න අවස්ථාව ලැබුණා. මම මගේ රංගන හැකියාව වගේම, නර්ථන හැකියාවත් ඔප්පු කරලා තියෙනවා. ක්ෂේත්‍රයට ආව මුල් කාලෙ නිරූපණ කටයුතුවල නිරත වුණා. මේ වෙද්දි පවතින කාර්යබහුලත්වය නිසා, නිරූපණයට අවස්ථාව අඩුවෙලා තියෙනවා.

* සිනමාව තුළ ඔබේ රංගන කටයුතු සිදුවෙන්නේ කලාතුරකින්.

සිනමාව තුළත් මට අවස්ථා ලැබිලා තියෙනවා. පසුගිය දිනවල මම සුමිත් ෙප්‍ර්මරත්නගේ 'ටවුමෙ ඉස්කෝලෙ' චිත්‍රපටයෙ රඟපෑවා . එය ඉදිරියේදී ෙප්‍ර්ක්ෂකයන්ට දැකගන්න ලැබෙයි.

* පුංචි තිරය හා සිනමාව ඇසුරෙන් තාරුකා වඩාත් ප්‍රිය කරන්නෙ?

මම පුංචි තිරයෙන් පැමිණි නිළියක්. සිනමාව වගේ ම ටෙලි නාට්‍ය තුළදිත් මට ලැබෙන චරිතය උපරිමයෙන් කරන්න උත්සාහ කරනවා. චිත්‍රපටය වගේම ටෙලි නාට්‍ය කියන්නෙත් නිර්මාණයක්. මම මේ දෙකටම කැමැතියි. සිනමාව කියන්නෙ දැවැන්ත තැනක්. ඒ තුළම රැදෙන්න පුළුවන් නම් හොඳයි. ඒත්, එවැනි අවස්ථා විරලයි.

* ඔබ රඟපාන්නෙ චරිත තෝරාගෙනද?

අපට තෝර තෝර රඟපාන්න තරම් චරිත සංඛ්‍යාවක් තියෙනවා කියලා මම හිතන්නෙ නැහැ. මම එහෙම තේරීමක් කරන්නෙ නැහැ. කුමක් හෝ මට ලැබෙන චරිතය හොඳින් කිරීමටයි මම උත්සාහ කරන්නෙ.

* කලාවට පිවිසීම ගැන ඔබේ පවුලේ සාමාජිකයන්ගේ ප්‍රතිචාර එහෙම කොහොමද?

මගේ පවුලේ අම්මයි, තාත්තයි ,අක්කයි, ආචිචියි ඉන්නෙ. එයාලගෙ වුවමනාව මතයි මම මේ ක්ෂේත්‍රයට ආවේ .

අපේ පවුලේ අයගේ ආශිර්වාදය මට නිරන්තරයෙන්ම ලැබෙනවා.

 

 

නව අදහස දක්වන්න