සුෂුම්නා අනතුරු සඳහා පූර්ණ සත්කාර ඒකකයක්

 

මාලඹේ, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල (NFTH) සුෂුම්නා අනතුරුවලින් පීඩා විඳින රෝගීන් සඳහා පූර්ණ සත්කාරයක් සපයන නව ඒකකයක් ආරම්භ කර තිබේ. එම රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමෙන් නොනැවතී ඔවුන් පුනරුත්ථාපනය කර සමාජගත කිරීම දක්වා වන පුළුල් වැඩපිළිවෙළක් මේ ඒකකය මඟින් සිදුකෙරෙන බව එම රෝහල පවසයි. මෙරට පෞද්ගලික රෝහලක් විසින් සුෂුම්නා අනතුරුවලට ලක් වූ රෝගීන් වෙනුවෙන් මෙබඳු සත්කාරක වැඩපිළිවෙළක් ආරම්භ කළ පළමු අවස්ථාව මෙය වේ.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ සහ SAITM ආයතනයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ‍මේ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ ආසියාතික සුෂුම්නා අනතුරු ජාලය සහ සාක් කලාපීය ශල්‍ය සේවා සමාජයට අනුබද්ධිත, ශ්‍රී ලංකා සුෂුම්නා අනතුරු ජාලයේ සභාපති ජ්‍යෙෂ්ඨ විකලාංග විශේෂඥ ශල්‍ය වෛද්‍ය නරේන්ද්‍ර පින්ටෝ මහතා මේ ඒකකය බාරව කටයුතු කරන බවයි.

‘සුෂුම්නාව අනතුරට ලක් වූ රෝගීන්ට පූර්ණ සුවයක් ලබාදීම සඳහා ඔවුන්ට අවශ්‍ය ශල්‍යකර්ම ඇතුළු ප්‍රතිකාර කිරීම පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. එම රෝගීන් නිරෝගී පුද්ගලයන් ලෙස සමාජගත කිරීමට නම්, ප්‍රතිකාරවලින් ඔබ්බට විහිදුණු ක්‍රමවත් පුරුන්ථාපන වැඩපිළිවෙළක් අත්‍යවශ්‍යයි. එම අවශ්‍යතාව නිසි ලෙස සපුරාලීම සඳහායි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල මේ සේවාව ආරම්භ කරනු ලැබුවේ’ යනුවෙන් ද සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පැවැසීය.

සුෂුම්නා අනතුරුවලට භාජනය වූ රෝගීන්ට අවශ්‍ය පූර්ණ සත්කාරය ලබාදීම සඳහාම කැප වූ විශේෂ පුහුණුව ලත් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු, පළපුරුදු පුනරුත්ථාපන විශේෂඥ වෛද්‍යවරු, හෙද හෙදියන්, භෞත චිකිත්සකවරු, වෘත්තීය චිකිත්සකවරු සහ උපස්ථායකයන් ඇතුළු කණ්ඩායමක් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල සතුව සිටින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. www.nfth.lk යන රෝහලේ නිල වෙබ් අඩවියෙන් ද වැඩිදුර තොරතුරු දැනගත හැකිය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...