පන්නිපිටිය ‍පෞද්ගලික රෝහලට OHSAS 18001: 2007 තත්ත්ව සහතිකය | දිනමිණ

පන්නිපිටිය ‍පෞද්ගලික රෝහලට OHSAS 18001: 2007 තත්ත්ව සහතිකය

පන්නිපිටිය පෞද්ගලික රෝහලේ සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද කුරුප්පුආරච්චි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් OHSAS 18001: 2007 තත්ත්ව සහතිකය ලබාගත් අවස්ථාව.

 

මෙරට කීර්තිමත් පෞද්ගලික රෝහලක් වන පන්නිපිටිය පෞද්ගලික රෝහල ජාත්‍යන්තර OHSAS 18001: 2007 තත්ත්ව සහතිකයෙන් පසුගිය දා පිදුම් ලැබීය.

පන්නිපිටිය පෞද්ගලික රෝහලේ 20 වැනි සංවත්සරය නිමිත්තෙන් තලවතුගොඩ, ග්‍රෑන්ඩ් මොනාර්ච් හෝටලයේ දී පැවැත් වුණු උළෙලේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම තත්ත්ව සහතිකය රෝහලේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ආනන්ද කුරුප්පුආරච්චි මහතා වෙත පිරිනමනු ලැබීය.

සමස්ත රෝහලේ ආරක්ෂාව තහවුරු වී ඇති ආකාරය පිළිබඳ සැලකිල්ලට ගනිමින් ජර්මනියේ කීර්තිමත් Royalcert ප්‍රමිතිකරණ ආයතනය පන්නිපිටිය පෞද්ගලික ‍රෝහල සඳහා OHSAS 18001: 2007 තත්ත්ව සහතිකය පිරිනමා තිබේ.

රෝගීන් සහ සේවක මණ්ඩල ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් රෝහල ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ‍මේ තත්ත්ව සහතිකය පිරිනැමීමේ දී විශේෂ අවධානයක් යොමුකර ඇත.

‘පන්නිපිටිය පෞද්ගලික රෝහලේ පවතින ඉහළම ප්‍රමිතිය මේ ජාත්‍යන්තර තත්ත්ව සහතිකය මඟින් නැවත වරක් තහවුරු කර තිබෙනවා. 20 වසරක් පුරා ජනතාව අතර විශ්වාසනීය නාමයක් දිනා සිටින අප රෝහලට සාර්ථක ඉදිරි ගමනක් යෑමට මේ ගෞරවනීය තත්ත්ව සහතිකය විශාල ශක්තියක්’ යනුවෙන් මේ පිළිබඳ අදහස් දැක් වූ පන්නිපිටිය පෞද්ගලික රෝහලේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ආනන්ද කුරුප්පුආරච්චි මහතා පැවැසීය. රෝගීන් සඳහා සාධාරණ මිලකට, ගුණාත්මක බවින් ඉතා ඉහළ සේවාවක් සැපයීමට කැපවී සිටින පන්නිපිටිය පෞද්ගලික රෝහල ඉදිරි කාලයේ දී සිය සේවාවන් තවත් පුළුල් කිරීමට සැලසුම් කර තිබෙන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 

 

නව අදහස දක්වන්න