තාජුඩීන්ගේ වාහනය ලුහුබැඳ ගියේ කවුද?

සිරන්ජනි කුමාරි

පුළුල් පරීක්ෂණ ඇරැඹේ

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ වාහනය ලුහුබැඳ ගිය වාහනය තුළ පුද්ගලයකු සිටි බවත්, ඔහු කවුද යන්න අනාවරණය කැරගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කැර ඇති බවට රජයේ අධිනීතිඥ ඩිලාන් රත්නායක මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජේ. ටොස්කි මහතා වෙත ඊයේ (6) දැනුම් දුන්නේය.

තාජුඩීන්ගේ වාහනය ලුහුබැඳි වාහනය පිළිබඳ විමර්ශන පැවැත්වීමේදී මෙම කරුණු අනාවරණය වූ බවට හෙතෙම තවදුරටත් පැවසීය.

සිද්ධියට අදාළ සැකකරුවන් වන නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා හා බස්නාහිර පළාත් හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාව බන්ධනාගාර අධිකාරිවරයා අධිකරණයට ඉදිරිපත් කැර තිබිණි.

වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් රහස් පොලිසිය පැවසුවේ ඉකුත් නඩු වාරයේදී ලබාගත් නියෝගයකට අනුව සැකකාර සුමිත් චම්පික පෙරේරාගෙන් නැවත ප්‍රකාශයක් ලබාගත් බවත්, තාජුඩීන්ගේ සොහොයුරු සමඟ තමන් සාකච්ඡා නොපැවැත්වූ බවට සැකකරු ප්‍රකාශ කැර සිටින බව පැවසීය.

මීට අමතරව චමින්ද ජයප්‍රකාශ් නැමැති අය තමන්ගේ ලැප්ටොප් එක ගෙන දෙමටගොඩ අපරාධ කොට්ඨාසය වෙත ගිය බවත්, එහිදී පොලිස් නිලධාරීන් ලබා දුන් පෙන්ඩ්‍රයිව් එකේ දර්ශන නරඹා ඉන් පිටපතක් රහස් පොලිසියට ලබා දුන් බවට ප්‍රකාශයක් ලබා දී ඇතැයි රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කැර තිබිණි.

ඝාතනය කරන ලද වසීම් තාජුඩීන් ගමන් කළ කාර් රථය පිටුපස ලුහුබැඳ ගිය බවට සැක කරන කාර් රථ 4164 තොරතුරු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා විමර්ශන නිලධාරීන් වෙත ලබා දී තිබේ.

මීට අමතරව 2012/5/11 වැනි දින කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් DXB බලා පිටත්වූ (EK 349) ගුවන් යානයේ ගමන් කළ සියලුම මඟීන්ගේ තොරතුරු ලබාගෙන විමර්ශන පවත්වන බවට ද රහස් පොලිසිය අධිකරණය වෙත දන්වා තිබිණ.

මේ අනුව සී. සී. ටී. වී. දර්ශනය වූ සැකකටයුතු වාහනය කිනම් වර්ගයේ කුමන වර්ගයකට අයත් රථයක් ද යන්න පරීක්ෂණ කිරීමට සී. ඩී. තැටිය වත්තල පිහිටි ටොයෝටා ලංකා පුද්ගලික සමාගම වෙත යොමුකැර ඇති බවට අධිකරණයෙන් කරුණු අනාවරණය විය.

වසීම් තාජුඩීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය නිසියාකාරව නොපැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතාට එරෙහිව විමර්ශන දිගටම පවත්වන බවට වෛද්‍ය සභාව අධිකරණයට දැනුම් දුන්නේය.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් මේ මස 19 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කෙළේය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...