අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම කිසිවෙකුට නැවැත්විය නොහැකියි | දිනමිණ

අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම කිසිවෙකුට නැවැත්විය නොහැකියි

රක්ෂණ ශ්‍රියන්ත

 

මිරිජ්ජවිල අයෝජන කලාප සමාරම්භක උළෙලේදී අගමැති කියයි

ශක්තිමත් ස්ථීර අනාගතයක් හම්බන්තොටින් ආරම්භ කරන බවත්, එම බලගතු අලුත් ශ්‍රී ලංකාවක් ඇති කිරීම කිසිවෙකුටත් නැවැත්විය නොහැකි බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

තිරසර යුගයේ තුන්වන වසර ආරම්භ වන අවස්ථාවේ මේ රටේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදෙන යෝධ සංවර්ධන සංග්‍රාමය හම්බන්තොටින් පටන් ගන්නවා යැයි අගමැතිවරයා අවධාරණය කරයි.

‘තිරසර යුගයක තෙවසරක ඇරඹුම’ සමරමින් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරමින් රැකියා ආදායම් මාර්ග ලක්ෂ ගණනින් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව දියත් කෙරෙන ජාතික ආර්ථික වැඩපිළිවෙල යටතේ ‘රුහුණු ආර්ථික සංවර්ධන ප්‍රදේශය’ ශ්‍රී ලංකාව සහ චීන සමුහ ආණ්ඩුව එක්ව නිර්මාණය කරන ‘ශ්‍රී ලංකා චීන කර්මාන්ත හා මනා සංවිධාන කලාපය’ හම්බන්තොට මිරිජ්ජවිලදී පෙරේදා (7) සමාරම්භක උත්සව අවස්ථාවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

වසර 2015 ජනවාරි 8 මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ ජනපති හැටියට තෝරාපත් කර ගත්තේ, මේ රටේ සාමාන්‍ය ජනතාවට හොඳ ජීවිතයක් ලබාදෙන්න, තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් ලබාදෙන්න. අපි ජාතික ආණ්ඩුවක් ඇති කළේ ඒ නිසයි. මේ අවස්ථාවේ රට දියුණු කරන්න අපි එකතු වුණා.

තිරසර යුගයේ තුන්වන වසර ආරම්භ වන අවස්ථාවේ මේ රටේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදෙන්න යෝධ සංවර්ධන සංග්‍රාමය අපි හම්බන්තොටින් පටන් ගන්නවා. ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් විශාල සංවර්ධනයක් හම්බන්තොටින් පටන් ගන්නවා. අපි හම්බන්තොට වරාය ගැන කතා කළා. ඒත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා වරාය හැදුවා. ආයෝජකයෝ එයි කියලා හිතුවා. ඒත් ඒක සිදු වුණේ නෑ.

මේ ප්‍රදේශයකට ආයෝජන කර්මාන්ත ලබුණේ නෑ. වරායට නැව් භාණ්ඩ තිබුණේ නෑ. 2014 දී වරායෙන් රුපියල් මිලියන 983ක අලාභයක් ලබාගත්තා. අපිට ණය ගෙවන්නත් තිබෙනවා. ණය ගෙවන්නත් ශක්තිය නෑ. ලාභ ලබාගන්න ශක්තියක් නෑ. අර්බුදයක හිටියේ. දරුවයි මවයි මැරෙන්න හිටියේ. ගතයුතු පියවර සාකච්ඡා කළා. ණය අවලංගු කරන්න බැරි වුණා.

අපි චීනයට ගියා. චීනයට ගිහින්, මේ ගැන කතා කළා. මේ ගැන විශේෂ අවධානයක් ඇති කළා. මේ ප්‍රදේශයට හොඳ ආර්ථිකයක් ලබාදිය යුතුයි. විශාල කර්මාන්තකරණයක් කළ යුතුයි. ඒ සඳහා කර්මාන්තශාලා 2500ක් පමණ වුවමනායි. අපි මූලික වශයෙන් ඒකතු වෙලා ආර්ථික කොමිටියේ මේ ගැන සකච්ඡා කළා. උවමනා ඉඩම් තියෙනවද කියා ඇසුවා. චීනය පැත්තෙන් කිව්වා. අක්කර 15,000ක් පමණ වුවමනයි කියලා. අපිට හැමදාම බදු සහන දෙන්න බෑ කිව්වා. ඒ අනුව වැඩකටයුතු ආරම්භ කරලා, අපි ඒ අනුව එකඟවෙලා වැඩකටයුතු පටන් ගත්තා. චීන ආණ්ඩුව සමාගම් දෙකක් නම් කළා. එදා ගිවිසුමක් අත්සන් කළා, මේක පටන් ගත්තේ 2014 සැප්තැම්බර් මාසයේ දී. කර්මාන්තකරණය වුවමනයි කියලා පෙණුනේ එතැනදී.

අපිට තියෙන බර අඩු වෙනවා. වැට්වලින් බේරන්නයි මේක ගෙනාවේ. අපිටත් පාලනයක් අවශ්‍යයි. විශේෂ පරිපාලන අයිතියක් අපි තියාගත්තා. ගාල්ලේ නාවික හමුදා කඳවුර හම්බන්තොට ගේන්න. ඒ අනුව එකඟ වෙලා, ගිවිසුම් දෙකක් සාකච්ඡා කරගෙන යනවා. මලික් සමරවික්‍රම ඇමැතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල, විනිවිදභාවයෙන් ඒක කරනවා.

රුහුණු ආර්ථික කලාපයට 1235ක් අක්කර වෙන්කර තිබෙනවා, කාටවත් හානියක් නොවන විදියට. ඇඹිලිපිටියේ අපි ඉඩම් හොයාගෙන යනවා. සියයට 95%ක් රජයේ ඉඩම්. පන්සල් ගන්නේත් නෑ. පුරවිද්‍යා ස්ථාන ගන්නෙත් නෑ. ෂෙන් ෂෙන් කියන්නේ වර්ග කිලෝමීටර් 2000ක ව්‍යාපෘතියක්. මොණරාගල කියන්නේ වර්ග කිලෝමීටර 7000ක්.

රුහුණු ආර්ථික කලාපය ගැන කොමිටියක් දාන්න ඉන්නේ දිස්ත්‍රික්ක තුන නියෝජනය වන ලෙස. සාගල රත්නායක ඇමතිතුමා සභාපතීත්වයෙන්, හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාගේ සම සභාපතීත්වයෙන්. රුහුණු ආර්ථික කලාපය වෙන් කරලා, අපිට දැනුම් දෙන්න කියලා චීන තනාපතිතුමා කිව්වා. ඩොලර් බිලියන 5ක ආයෝජයක් ලංකාවට ගෙන්න චීන තනාපතිතුමා එකඟයි. හොඳ වෘත්තීය පුහුණු ජාලයක් හදන්න අවශ්‍යයි. මේ ආරම්භය විතරයි. අපේ ඉලක්කය වී තිබෙන්නේ නිරතදිග තීරුව කියල ආර්ථික තීරුවක් ඇති කරන්නයි. චීනය පටන් ගත්තා, මොම්බායි දිල්ලි කර්මාන්ත තීරුව ඉන්දියාව ඇති කර තිබෙනවා.

නිරිතදිග තීරුව මහනුවර සිට වැල්ලවාය දක්වා හදන්න බලපොරොත්තු වෙනවා. අපි කියන්නේ ආර්ථික තීරුවයි. අපි බලන්නේ බස්නාහිර මූල්‍ය නගරයක් හදන්නයි. මහනුවර විශාල නගරයක් කරන්න බලන්නේ. නවීන කෘෂිකර්ම, සංචාරක, ධීවර ආර්ථික කලාපයක් අති කරන්න. ඊශාන දිගට ත්‍රීකුණාමලය වරාය සම්බන්ධ කර ගෙන විශාල සංවර්ධනයක් ඇති කරනවා. ආසියාවේ ප්‍රධාන රටවල් හතරක් එකතුකරගෙන මේ කටයුතු කරන්නේ. අපේ ගමන ඉදිරියට ගෙනයන්නේ. මේ කටයුත්තට උදව් කළ හැම අමාත්‍යාංශයකට ම, සියලු අමාත්‍යවරුන්ට, හිටපු කථානායකතුමාට අපි ස්තූති කරනවා. සුද්දෝ නැති කළ වෙල්ලස්ස ආර්ථික බලවේගයක් කරන්න උදව් කරන චීන ජනාධිපතිතුමට, චීන රජයට, හා චීන තනාපතිතුමාට ස්තූතිවන්ත වෙනවා. බලගතු ශ්‍රී ලංකාවක්, අලුත් ශ්‍රී ලංකාවක් ඇති කිරීම කාටවත් නවත්වන්න බෑ. ශක්තිමත් ස්ථීර අනාගතයක් මෙතැනින් ආරම්භ කරනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති ඉෂියැං ලියැන් මහතා අදහස් දක්වමින්....

බොහෝ දෙනෙකු අද වනවිට ශ්‍රි ලංකාවට පැමිණෙනවා. චීන ව්‍යාපාරිකයින් පනහකට වැඩි පිරිසක් අද මෙතනට පැමිණ සිටිනවා. ශ්‍රී ලංකාව සහ චීනය යන දෙරටම කිසිදු කොන්දේසියකින් තොරව දුෂ්කර අවස්ථාවලදී සහයෝගයෙන් කටයුතුකර තිබෙනවා. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉතා වේගයෙන් දියුණුවෙමින් පවතින රටක්. ඒ වගේම ශ්‍රී ලංකාව චීනයට ඉතා මිත්‍රශීලී රටක්. ඒ නිසා ආයෝජනයන්හිදී පවා චීනය ශ්‍රී ලංකාවට මූලිකත්වය ලබාදෙනවා. මෙරට ජනතාව සහ රජය චීනයේ ආයෝජන ඉතා කැමැත්තෙන් පිළිගන්නා බව මා විශ්වාස කරනවා. ඉදිරි වර්ෂ කිහිපයේදී චීනය ශ්‍රී ලංකාවේ අමෙරිකා ඩොලර් බිලියන පහක් හම්බන්තොට කර්මාන්ත කලාපයේ ආයෝජනය කිරීම අපේක්‍ෂාවයි. එමගින් රැකියා ලක්‍ෂයක් පමණ නිර්මාණය වනවා. මෙය කුඩා රාජ්‍යයක් නොවෙයි. විශාල රාජ්‍යයක්. ඒ නිසයි අපි හැමදෙනාම අද මෙතනට රැස්වී සිටින්නේ.සම්පත් වලින් අනූනවු ශ්‍රී ලංකාව තුළ ආයෝජකයින් පනහකට වැඩි පිරිසක් සූදානමින් සිටිනවා. ශ්‍රී ලංකාව සමග අතීතයේ සිට බැදී අතීත සබඳතාවයන් ඉදිරියටත් තව තවත් ශක්තිමත් වනවා විනා එය අඩුනොවන බවද චීන තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අදහස් දක්වමින්...

ශ්‍රී ලංකා චීන සංවර්ධන කලාපය ව්‍යාපෘතියේ වාසිය ලැබෙන්නේ පොදු ජනතාවටයිඅපි කරන්නේ ජනතා හානියක් නොවේ ජනතාවට සහනයක් ලබදීමටයි. මේ දැවැන්ත ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ රැකියා උත්පාදනයයි. යොවුන් පරපුරේ අත්මිට සරු සාර කිරීමයි.රැකියා ප්‍රශ්නයට තිරසාර විසදුමක් ලබාදීමටයි. රැකියා ප්‍රශ්නය විසඳනවාට බංකොළොත් දේශපාලඥයින් බය වෙලා යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

ජනතා විජයග්‍රහනයේ සමාරම්භක විජයග්‍රහණයක් අද සමරනවා. සමාජ ගිවිසුම ක්‍රියාවට නංවන අවස්ථාවක්. මේ දැවැන්ත ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ රැකියා උත්පාදනයයි. යොවුන් පරපුරේ අත්මිට සරු සාර කිරීමයි.රැකියා ප්‍රශ්නයට තිරසාර විසදුමක් ලබාදීමටයි.අපි කරන්නේ ජනතා හානියක් නොවේ ජනතාවට සහනයක් ලබදීමටයි. ශ්‍රී ලංකා- චීන සංවර්ධන කලාපය ව්‍යාපෘතියේ වාසිය ලැබෙන්නේ පොදු ජනතාවටයි.අවාසිය විපක්ෂයටයි. රැකියා ජනපද බිහිවනවා වෙනුවට කාන්තාර බිහිවීම විපක්ෂයට වාසියි. මිත්‍යා මත පදනම් කරගෙන කර්මාන්ත ජනපදනයට විරෝධතා එල්ල කරනවා.මේ රටේ ඉතිහාසික ඓතිහාසික මට්ටමේ ජාත්‍යන්තර කර්මාන්ත ජනපදයක් බිහිවීම සිදු වෙනවා.

සමාජයේ කුහකයන් කොටසක් රැකියා ප්‍රශ්නය විසඳනවාට කැමති නෑ. දේශ ආලයෙන් ඉඩම් අයිතිය ගැන අද කතා කරනවා. තිස්ස කතරගම රෙස් පදින්නට පාරවල් නිර්මාණය කරනකොට කවුද උද්ඝෝෂණය කළේ? රේස් පිටිවලට අක්කර දහස් ගණන් වෙන් කරකොට කවුද කතා කළේ? එදා තිබුණේ රාජ්‍ය භීෂණය තිබුණු යුගයක් තිබුණේ. අද යහපාලන රජය ඉඩ දී තිබෙනවා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව හඩනගන්න. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ රජයේ ඉඩම්වලයි. පාරම්පරික ඉඩම්වලට කිසිම හානියක් නෑ යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අදහස් දක්වමින්.

ආණ්ඩුවක් හදලා වසර දෙකකට පසු මේ රුහුණු සංවර්ධන කලාපය, ආරම්භ වුණා.අද වෙනකොට අපිට තිබෙන ප්‍රශ්න විසඳාගෙන රටක් හටියට ලෝකයේ ජනප්‍රිය වූ තවත් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙන්නේ.

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට උත්තර දෙන්න ගියෝත් වැඩ කරන්න බෑ. රුපියල් මිලියන 197කට වරායේ වියදම. මේ ණය ගෙවන්නේ කොහොමද. සේවකයෝ බදව ගත්තේ නෑ වරාය අධිකාරියෙන්.මහින්ද රාජපක්ෂ පාලනකාලයේ තමයි මාගම්පුර වරාය පටන් ගත්තේ.

අපි වරාය විකුණන්න්නේ නෑ. වරායේ ණය ගෙවාගෙන වරාය සංවර්ධනය කිරීමයි සිදු කරන්නේ ආයෝජකයොත් එක්ක එකතු වෙලා කරන්නේ.පසුගිය ආණ්ඩුවට ගෙවනන් බැරි වූ ලබාගත් ඉඩම් වල වන්දි අපි ගෙවනවා.අපි ඇමැතිවරු කීපදෙනෙක් සමඟ පැය ගණනනක් සාකච්ඡ කරගෙන යනවා, අපිට හොඳ වෙන ක්‍රමයක් හදාගන්න. අද සාකච්ඡා සාර්ථක වී තිබෙනවා.අපිටත් තිබුණා ණය ගෙව ගෙව කරට බදු පටවන්න. මේ ක්‍රමය වෙනස් කරගෙන ආයෝජකයෙක් එක්ක ගිවිසුමක් අත්සන් කරන්න සූදානම්,වරාය සංවර්ධනය කරන්නට.

වරායේ මුදල් කොළබින් ගෙව්වා. කොළඹ සංවර්ධනය කරන්න පුළුවන් කමක් නෑ. අපි සාකච්ඡා කරගෙන යනවා. තව සති කීපයකින් මූලික ගිවිසුමකට අත්සන් කරන්න හැකි වෙනවා. මෙය දකුණේ මහජනතාවට විශල ජයග්‍රහනයක්. මෙහි සේවකයන් දෙදහසක් පමණ අවශ්‍ය වෙනවා. අපි සමඟ අත්වැල්ල බැදගන්න කියා ඉල්ලනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

නීතිය හ සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අදහස් දක්වමින්....

අද දකුණට වැදගත් දවසක්. විරැකියාව මේ ප්‍රදේශයේ තුබුණු ප්‍රධාන ප්‍රශ්නයක්. ඒ විරැකියාව නැති කරන්න වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ජනාධිපතිතුමාට හා අගමතිතුමාට ස්තූතිවන්න වෙනවා.උදව් උපකාර කළ සැමට ස්තූතිවන්න්ත වෙනවා.මේක වරායක් දියුණු කරන, ආර්ථික කලාපයක් දියුණු කරන වැඩපිළිවෙලක් නොවේ, බලවත් ආර්ථිකයක් දකුණෙන් ඇතිවන්නේ මේ වැඩපිලිවෙලින්. වක්‍ර ආර්ථික අවස්ථාව බොහොමයක් ඇති වෙනව.ගොවිතැනටත් ශක්තියක් ලබෙනවා.කලාපයේ බලවතෙක් වෙන්න කර්මාන්ත සේවා පදනම් වූ අර්ථිකයක් ගොඩනගන්න. අපි බස්නාහිර පළාතට පමණයි දෙවැනි වන්නේ. මෙම වැඩසටහන විරැකියාව නැති කරන කැරැල්ලක් යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

වාරිමාර්ග හා ජලකළමනාකරණ ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා අදහස් දක්වමින්...

මේකට විරෝධතා කරන අය ගෙන්නල තියෙන්නේ මුලු හම්බන්තොටම එලවනව වගේ. සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා කවදාවත් ඒ වගේ දේකට එකග වෙයිද. ආදරේ කරන ඡන්දේ ගත්ත ජනතාව වෙනුවෙන් අගමැතිතුමා ජනාධිපති තුමා කරයිද නෑහැ එහෙම කරන්නේ නැ. මේ ජනතාවට ප්‍රථිලාභ ලැබෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනනේනෙ ඒකට සහතිකය දෙන්න අපි ලෑස්තියි. මේ විරෝධතා කරුවන්ට බලය නෑ ඒ නිසා තමන් කරපු දේ හොඳට කරගෙන යනවට කැමැති නැහැ. අපි ලෑස්තියි රුහුණේ වෙල්ලස්සේ ජනතාව හැටියට මේ දැවැන්ත ව්‍යාපෘතිය හම්බන්තොටට එපානම් අපිට දෙන්න අපි ලෑස්තියි බාර ගන්න.මේ සම්මුතිවාදී ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට අපි එකතු වෙන්න ඕන එතකොට තමයි ප්‍රජාතන්ත්‍රවාදය බහු පක්ෂ ක්‍රමය ශක්තිමත් වන්නේ ජනතාව ශක්තිමත් වන්නේ. සුද්දා කඩපු පිට කොන්ද කෙලින් කරන්‍න අපේ ජනතාවගේ දුප්පත් කම සාපිපාසාව නැති කරන්න ජනාධිපති තුමත් අගමැති තුමත් ගෙන යන වැඩපිළිවෙලට වෙල්ලස්සේ ජනතාවගේ සහයෝගය ලබාදෙනවා යැයි වැඩිදුරටත් කියා සිටියේය.

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා අදහස් දක්වමින්..

මට මතකයි පැල්වත්ත සීනි සමාගම පටන් ගද්දි ඔය කියන නායකයොම උද්ඝෝෂණය කළා. පැල්වත්ත හැදුවායින පස්සේ ඒකේ තිබෙන බංගලාවේ ගිහින් සැප ගත්තා. අපි සුදානම් හම්බන්තොට මේගොල්ලෝ උද්ඝෝෂණ කරනවානම් අක්කර පහළොස්දහසම මොනරාගලින් දෙන්න. රාජපක්ෂ යුගයේ මොනරාගල දුප්පත් කම නැති කරනවා වෙනුවට මොනරාගල මායිමේ තිබෙන අක්කර පනස්දහසක් මැනලා කොම්පැණි කාරයින්ට දෙන්න ගියා. පිටරට අයට දෙන්න ගියා. මම අහන්නේ රාජපක්ෂලාගෙන් පොදු විපක්‍ෂයෙන් එදා පනස් දහසක් දෙන්න ගිය උදවිය අද මේ පහළොස් දහස ගැන කතා කරනවා.

අපි දන්නවා ලංකාවේ වටිනාම ඉඩම තිබුනේ ගාලු මුවදොර ඉදිරිපිට අපේ රටම ආරක්ෂා කරපු හමුදා මුලස්ථානයේ මේ අය කළේ අවුරුදු තිහට හතලිහට නෙමෙයි සදහටම ඒ ඉඩම වික්කා කොම්පැණි කාරයින්ට කොළඹ වරාය ලාබ ලබද්දි එකේ පර්යන්ත දෙකක් විකුණපු රාජපක්ෂලා තමයි අද ඉඩම් විකුණන්න එපා කියාලා කෑ ගහන්නේ අපි ඉඩම් විකුණන්නේ නැහැ. අයිතිය දෙන්නේ නැහැ මේ රටේ දුප්පත් කම නැති කරන්න මොනරාගලත් හම්බන්තොටත් මෙරටේ ශක්තිමත්ම ආයෝජන කලාපය කරන්න ජාත්‍යන්තර ආයෝජන ගෙන එන්න ක්‍රියා කරන එකයි. අපි සුදානම් වෙලා ඉන්නේ වෙල් අස්සේ සංවර්ධනයට අපේ මිනිසුන් දුප්පත් කමින් ගොඩ ගන්න.

මේ අවස්ථාවට මහා සංඝරත්නය, ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති ඉෂියැං ලියැන් මහතා ඇතුළු උසස් නිලධාරීන්, පාර්ලිමේන්තු මැති ඇමැතිවරු, පළාත් සභා මැති ඇමැතිවරු, ප්‍රාදේශීය සභා නියෝජිතයින්, රාජ්‍ය හා පෞද්ගලික සංස්ථාවල උසස් නිලධාරීන්, අමාත්‍යාංශ ලේකම්වරු ,සම්භාවනීය අමුත්තන් මෙන්ම අති විශාල ජනකායක් එක්ව සිටියහ.

ඡායාරූප - රුක්මල් ගමගේ 

නව අදහස දක්වන්න