මෙහෙම ගියොත් කොහොම වෙයිද?

 

රටේ සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ ඇත්ත කතාව ජනතාව දන්නේ නැත. සමහරුන් විවිධ සිදුවීම් ගැන තීන්දු තීරණ ගන්නේ දේශපාලන ව්‍යාපාරවල දෘෂ්ටියට අනුවය. සමහර දේශපාලන ව්‍යාපාර සිදුවීම් දෙස බලන්නේ ද, ඒවා විග්‍රහ කරන්නේ ද ඊළඟ ඡන්දයක් දෙස බලාගෙන ය. නැ‍තහොත් ආණ්ඩුව දැඩි විවේචනයකට හසුකරගැනීමේ අරමුණ ඇතිවය. ඇතැම් ජනමාධ්‍ය ආයතන ක්‍රියා කරන්නේද ජනතාව උසිගන්වන ආකාරයටය. මේ අනුව හොඳ දේවල් නරක වන්නටත්, නරක දේවල් හොඳ වන්නටත් පුළුවන. හම්බන්තොට වරාය මුල්කොට සිදුවන දේවල් දෙස බලනවිටද මේ තත්ත්වය හොඳින් වටහාගත හැකි ය.

දින දෙකකට පෙර හම්බන්තොට ඉඩම් මුල්කරගෙන මහා කලබලයක් ඇති විය. භික්ෂුන් වහන්සේ ප්‍රමුඛ විශාල පිරිසක් වීදි බැස සිටියෝය. සියලුදෙනාගේ ම හැසිරීම ප්‍රචණ්ඩය. ඇතැම් භික්ෂූහු ගල්-මුල් රැගෙන පොලිසියට පහරදුන්හ. සමහරු ජනමාධ්‍යයටද තර්ජන කළහ. මහා මාර්ගය හරස් කරමින් ද, දේපොළවලට හානි සිදුකරමින්ද, ඇතැම් ස්ථාන ගිනි තබමින් ද විරෝධතාව ක්‍රියාත්මක විය. ජනතාව මෙලෙස විරෝධතා දක්වමින් පිරිමසාගන්නට යන්නේ කුමක් ද යන්න පැහැදිලි නැත. හම්බන්තොට වරාය දියුණු කිරීම වරදක් ද යන ප්‍රශ්නය ජනතාවගෙන්ද, දේශපාලකයන්ගෙන් ද ඇසිය යුතු ය.

මාගම්පුර වරායේ ඇත්ත කතාව ගතහොත් එය ඉදිකිරීම සඳහා ලබාගත් විශාල ණය මුදල ආපසු ගෙවිය යුතු ය. ඒ ‍ෙපාලියත් සමඟ ය. පාඩු ලබන ආයතනයක් වූ මෙහි සේවක සේවිකාවන් හා නිලධාරින් නඩත්තු කළ යුතු ය. එලෙස ම මේ ආයතනය රටට වැඩදායි ස්ථානයක් බවටද පරිවර්තනය කළ යුතු ය. මේ එකක්වත් පහසුවෙන් කළ හැකි දේවල් නොවේ. මේවා පවත්වාගැනීම මෙන් ම දියුණු කිරීමට ද, යෙදවිය හැකි මූලධනයක් රජය සතු නොවේ. කළ හැකි එකම දෙය වන්නේ විදේශීය ආයෝජකයන්ගේ මාර්ගයෙන් අදාළ ආයතන දියුණු කිරීම පමණි. බාධා හා අවහිර එල්ලවන්නේ එම කටයුත්තට ය.

ඉතියෝපියාව දීර්ඝ කාලයක් තිස්සේ නියඟයෙන් ද, ගැටුම්වලින්ද පීඩා වින්දේ ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හා බටහිර රටවලින් ලැබුණු ආධාර ඇතැම් කල්ලි විසින් පැහැරගන්නා ලදි. ඇතැම්විට ඉතියෝපියානු ජනතාව ද ආධාරවලට විරුද්ධ වූයේ තම මෝඩකම් ප්‍රදර්ශනය කරමින් ය. ඇතැම් රටවල් ආධාර කපාහැරියේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවා ආධාර බෙදිල්ල හරියට කරගෙන යෑමට නොහැකි විය. එහි පාඩුව විඳින්නට වූයේ ජනතාවටය. එහෙත් පසුකලෙකදී ඉතියෝපියානු නායකයෝ මේ තත්ත්වය වෙනස් කරමින් යථාර්ථයට මුහුණදෙන්නට පටන් ගත්හ. අද ඒ රටේ ජනතාව විදේශීය ආධාරවලට හෝ විදේශීය සහයෝගයට හෝ එරෙහි වන්නේ නැත. ‍ෙම් වනවිට ඉතියෝපියාව දියුණු වෙමින් පවතින අප්‍රිකානු රාජ්‍යයෙකි.

අපේ රටේ දේශපාලන වශයෙන් යම් වෙනසක් සිදුවී තිබෙන්නේ වුව පොදු මහජනයාගේ චින්තනය තවම ඒ තරමින් නිදහස් වී ඇති බවක් හෝ දියුණු වී ඇති බවක් හෝ පෙනෙන්නට නැත. ජාතිවාදයට, ආගම්වාදයට එක අතෙකින් යට වී ඇති ජනතාව තව අතෙකින් දියුණු ආර්ථික උපාය මාර්ග ගැන කිසිවක්ම නො දනිති. මැලේසියාව දියුණු කිරීම සඳහා මහතීර් මොහොමඩ් ගත් තීන්දු - තීරණ හා උපාය මාර්ග මුලදී ජනතාව අතර විවේචනයට ලක්විය. එහෙත් විවේචන නොසලකා කළ යුත්ත සිදුකිරීමට මහතීර් මොහොමඩ් ඉදිරිපත් විය. අද ලෝකය මේ නායකයා මහ ඉහළින් පිළිගනිති. එක අතෙකින් බලනවිට සාර්ථකත්වය කරා ළඟා වූ බොහෝ රටවල් මුලදී මෙබඳු ගැටලුවලට මුහුණ දී තිබේ. කදිම නිදසුනක් වන්නේ; ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශය හා එහි මහ ඇමැති චන්ද්‍රබාබු නායිදුය.

නායිදු මහතා මුලින් අසාර්ථක වූයේ ජනතාවට ඔහු හා ඔහුගේ වැඩපිළිවෙළ වටහාගැනීමට නොහැකි වූ නිසාය. ගොවීන් සිය ආදායම් අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා විකල්ප රැකියාද සොයා යා යුතු බව නායිදු කියා සිටියේය. එය බොරුවක් නොව ඇත්තකි. ආන්ද්‍රා ප්‍රදේශයට දීර්ඝ නියං කාලයක් එයි. එම කාලය තුළ වගා කළ නො හැකි ය. නව වාරිමාර්ග සකස්කරගන්නාතුරු විකල්ප රැකියාවලට නොගියහොත් ගොවීන්ගේ ජීවිතය දුෂ්කර වනු ඇත. එහෙත් මේ කතාවෙන් කෝප වූ ජනතාව නායිදු මහතා දේශපාලන වශයෙන් පරාජයට පත්කළහ. ඔහු නැවත බලයට පත්වන්නේ වසර ගණනාවකට පසුවය. ඒ වනවිට නායිදුගේ මෙන් ම ඔහුගේ වැඩසටහන්වලද අගය ජනතාව වටහාගෙන තිබිණි.

හම්බන්තොට ඉඩම් ආණ්ඩුව බලහත්කාරයෙන් ලබාගන්නා බවටද, එම ඉඩම් චීනයට විකුණන බවටද මතයක් ජනතාව අතර ප්‍රචලිත කොට තිබේ. මේ අතර හම්බන්තොට අවට වෙනත් දිස්ත්‍රික්කවලින් රජයට ඉඩම් ලබාදීමටද එකඟ වී ඇත. මොනරාගල, මාතර හා ගාල්ල යන දිස්ත්‍රික්කවල ජනතාව ඊට එකඟතාව පළ කර ඇත. මෙහි විසංවාදයක් ඇති බව පෙනී යයි.

එක අතෙකින් ජනතාවගේ අකමැත්ත පිට ඉඩම් ලබාගැනීමක් සිදුනොවන බවද, ලබාගන්නා සෑම බිම් අඟලකටම ප්‍රමාණවත් වන්දි ලබාදෙන බවද රජය කියා සිටී. සංවර්ධන ක්‍රියාවලියකට ඉඩම් අත්පත්කරගැනීම අද ඊයේ සිදුවූවක් නොවේ. දකුණේ අධිවේගී මාර්ගයටද මේ අයුරින් ඉඩම් ලබාගත්තේය. ඒ රාජපක්ෂ ආණ්ඩුව යටතේ ය. හම්බන්තොට වරාය දියුණු කිරීම සඳහා ද එම ආණ්ඩුව ඉඩම් ලබාගැනීමට පියවර ගෙන තිබිණි. එහෙත් උද්ඝෝෂණ කළ කෙනකු නැත. මේ විරෝධතා යට ඇත්තේ තනිකර දේශපාලන වුවමනා බව ඉතා පැහැදිලිය.

අපට පෙනෙන හැටියට ආණ්ඩුව ක්‍රියාත්මක වන්නේ රට සංවර්ධනය කිරීමේ අන්තිම තුරුම්පුව සමඟ ය. මෙය අසාර්ථක වුවහොත් ශ්‍රී ලංකාවට අනාගතයක් තිබේ යැයි කිව නො හැකිය. වැඩිවන ජනගහනයට රැකියා සපයන්නේ කෙසේද? ලබාගත් ණය ගෙවන්නේ කෙසේ ද? ‍ෙම්වාට පිළිතුරු උද්ඝෝෂකයන් ළඟ නැත.

ජාතිවාදය හා ආගම්වාදය නිසා මහින්ද රාජපක්ෂ පාලනය අවසන් විය. සංවර්ධනය මුවාවෙන් විශාල වශයෙන් හොරකම් කිරීම නිසා මුළු රටම ණය වී ඇත. ජනතාව මේ ගැන අවධානය යොමු නොකර පරණ පීල්ලටම වැටුණහොත් සිදුවන්නේ ජාතික අපරාධයකි. හම්බන්තොට වරාය මූලික කොට තවත් ගැටුම් ඇතිවීමට ඉඩ තිබේ. ඒවායෙහි ප්‍රතිඵලද ජනතාව භුක්ති විඳිය යුතු ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...