අගමැති කඩවුණු පොරොන්දුව ඉටුකරයි | දිනමිණ

අගමැති කඩවුණු පොරොන්දුව ඉටුකරයි

විපක්ෂ නායක ජාතික කොඩිය ඔසවයි

තමන් හමුවීමට පැමිණි එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ තමන්ට ලැබී ඇති ජනවරමට එරෙහිව කටයුතු නොකරන බවයි. රාජපක්ෂවරුන් සමඟ තමන්ගේ කිසිම සම්බන්ධයක් නැති බව කී ජනාධිපතිතුමා ‍ඔවුන් සමඟ සබඳතා තියෙන අය ගැන සොයන්නැයි එජාප මන්ත්‍රීන්ට ප්‍රකාශ කළා

හම්බන්තොට වරාය විකිණීම, සමාගම්වලට ඉඩම් පැවරීම ඇතුළු ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලට එරෙහිව ජවිපෙ ආරම්භ කර ඇති විරෝධතාවයන් පිළිබඳව ජවිපෙ නායකයෝ විශේෂ සාකච්ඡාවක නිරත වූණා

 විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා වැඩ ආරම්භ කළේ දෙවැනිදා සඳුදා විපක්ෂ නායක කාර්යාලයේ පැවැති උත්සවයකින්. එහිදී සම්බන්දන් මහතා කීවේ රජයේ සේවකයන් ලෙස ඔබ රටේ එක්සත් භාවය හා සංහිඳියාව වෙනුවෙන් දිළිඳුකම පිටුදැකීම සඳහාත් කැපවීමෙන් කටයුතු කළ යුතු බවයි.

ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් වැඩිදෙනෙක් මේ ෙමාෙහාෙත් පොහොට්ටුව සමඟ පෙනී සිටින්නට පසුගිය දිනවල පැවැති සාකච්ඡාවලදී අකැමැත්ත ප්‍රකාශකොට තිබෙනවා. එමෙන්ම තමන් සිටින ආසනවලට පොහොට්ටුවෙන් තවත් ආසන සංවිධායකයෙක් පත් කරන්නටත් ඔවුන් කැමැති නැහැ

2017 නව වසර උදා වුයේ 2030 වසරේදී සමාජ, ආර්ථික හා පරිසර හිතකාමී තිරසර යුගයක් බිහි කිරීමේ ප්‍රාර්ථනාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතිය හමුවේ ප්‍රකාශයට පත් කරමින්. ඒ සඳහා ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරිම සඳහා විශේෂ විද්වත් මඬුල්ලක් ජනාධිපතිවරයා විසින් පත් කළා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් 2016 වසරේදී අඬබෙර නොගසා සකස් කෙරුණු ඉදිරි ආර්ථික සැලැස්ම ප්‍රකාශයට පත් කිරීම සිදු වුයේ ජනවාරි 04 දායි. බලගතු ශ්‍රී ලංකාවක් -සැලසුම් සහගත ගමනක්- කාටත් යමක් කමක් ලැබෙන ආර්ථිකයක් තේමා කර ගනිමින් ඉදිරි සංවර්ධන කටයුතු දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමේ තිරසර යුගයක තෙවසර ඇරඹුම නම් ආර්ථික සැලැස්ම අගමැති වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත නිකුත් කළේ අරලිය ගහ මන්දිරයේදී. අපනයන ආර්ථිකය වර්ධනය කර රැකියා බිහි කර ආදායම් වැඩි කර බලගතු ශ්‍රි ලංකාවක් බිහි කිරීමේ සැලැසුම ඒ සඳහා ඉලක්ක කර ඇති බව අගමැතිවරයා එහිදි සඳහන් කළා. ආර්ථික සැලැස්ම ප්‍රකාශයට පත් කරමින් මාධ්‍යවේදින් ඇමතූ අගමැතිවරයා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට උත්තර දුන්නේ ඉතා සුහදශීලී ‍ලෙසයි. මාධ්‍යවේදීන්ට තේ පැන් සංග්‍රහයක්ද සූදානම් කර තිබු අතර තේ මේසය වෙත ගිය අගමැතිවරයා මාධ්‍යවේදින්ට තේ බීමට ආරාධනා කර ඔවුන් අතර ගැවසෙමින් සුහදව කථා බහ කරමින් සිටියා.

කුලියාපිටියට වාහන නිෂ්පාදන කර්මාන්තශාලාවක් ලබා දෙන බව අගමැති වික්‍රමසිංහ මහතා පොරොන්දු වුයේ පසුගිය මහ මැතිවරණ ප්‍රචාරක සමයේදී. පොරොන්දුව ඉටු කිරීම තරමක් කල් යාමේදී කඩවුණු පොරොන්දුවක් යැයි ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේදි පවා උසුළු විසුළු කිරීමට වුණා. පොරොන්දුව යථාර්තයක් කරමින් ඝෘජු සහ වක්‍ර රැකියා දහතුන් දහසක් බිහි කරන නවතම වාහන නිෂ්පාදනාගාරයට කුලියාපිටියේදී පසුගිය 03 දා මුල්ගල තැබුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. එදින එම මහෝත්සවයට ජනාධිපතිවරයා පැමිණියේ අසනීපයෙන් සිටියදීයි. උත්සව සභාව ඇමතීමට තරම් මනා සෞඛ්‍ය තත්ත්වයක් ජනාධිපතිවරයාට නොතිබුණේ උගුරේ අසනීප තත්ත්වයක් නිසා.

එහිදි අගමැතිවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය යෙදෙන මෙම 08 දාට පෙර රැකී රක්ෂා විසි දහසක් බිහි කරන කර්මාන්ත ශාලා පිහිටුවන බවයි. වසර දහ තුනක් තිස්සේ වසා දමා තිබූ ගිරිඋල්ලේ කාබුල් කම්හල පරිශ්‍රයේදී මාස් ෆැබ්රික් පාර්ක් කර්මාන්ත ශාලාව එදිනම දී ආරම්භ වූයේ රැකී රක්ෂා තුන්දහසක් තරුණ තරුණියන්ට උදා කරමින්.

රැකී රක්ෂා දෙදහසක් උත්පාදනය කරන ලොව අංක එකේ ප්‍රමිතියට අනුව ටයර් නිෂ්පාදනය කරන රිජිඩ් කර්මාන්ත ශාලාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් හොරණ වගවත්තේදි ඊයේ ආරම්භ වුණා. ජාතික රජය කෙරෙහි විවිධ කලකිරීම් ඇති කිරීමට ඒකාබද්ධ විපක්ෂය දරනා අසාර්ථක උත්ස­ාහයට එසේ සාර්ථකව පිළිතුරු දීමට රජය පළමු සතියේම වැඩ ආරම්භ කළ බව පෙනී ගියා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව වසර ආරම්භ කළේ සෝමාවතී චෛත්‍යයේ පින්කම් මාලාවකට සහභාගිවෙමින්. ජනවාරි පළමුවෙනිදා උදේ සෝමාවතිය පුදබිම වෙත පැමිණි ජනාධිපතිතුමා පිළිගැනීමට උතුරු මැද මහ ඇමැති පේෂල ජයරත්න, වසන්ත සේනානායක මන්ත්‍රීතුමා ඇතුළු පිරිසක් පැමිණ සිටියා.

සෝමාවතී පුදබිම වෙත පැමිණි ජනාධිපතිතුමා විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල හිමිපාණන්ට පිරිකර පූජා කර වැඳ නමස්කාර කළා. විහාරාධිපති හිමියෝ ජනාධිපතිතුමාට නව වසරට සෙත් පතා තේ පැන් සංග්‍රහයකටද ආරාධනා කළා. එහිදී ජනාධිපතිතුමා එම තේ පැන් සංග්‍රහයට සහභාගී වූයේ එහි පැමිණ සිටි මාධ්‍යවේදීන්ද කැඳවා ගනිමින්. සෝමාවතී පුදබිමේ කප්රුක් පූජාවටද ජනාධිපතිතුමා සහභාගි වුණා.

ඉන් පසුව ජනාධිපතිතුමා පොළොන්නරුව රෝහල වෙත ගියේ එහි නවීකරණය කර තිබූ අංශ විවෘත කිරීමටයි. මහ ඇමැති පේෂල ජයරත්න මහතාද එයට සහභාගී වූණා. එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතාට ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයක් යොමුවුණා. මහීපාල මහතා තනතුරු දරමින් සහභාගිවන අවසන් උත්සවය එයවීම මෙම විශේෂත්වයට හේතුවයි. ඒ මහතා එක්සත් ජාතීන්ගේ තනතුරක් භාර ගැනීම සඳහා තනතුරින් විශ්‍රාම යාම පසුගියදා සිදුවුණා.

ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ අතර ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්ත්වය විසඳීමේ සාකච්ඡා කිහිපයකටද ජනාධිපතිතුමා සහභාගී වුණා. සති අන්තයේ එබඳු රැස්වීමක් පැවැතියේ එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීකණ්ඩායමත් සමඟයි. එජාප මන්ත්‍රීවරුන් මෙම හමුවීම ඉල්ලා සිටියේ පසුගිය දිනවල ඇතිවූ තත්ත්වය යටතේ ජනාධිපතිතුමාගේ ස්ථාවරය දැන ගැනීමටයි. මෙම වසර තුළ ආණ්ඩුව පෙරළන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් කොට තිබීම ද මෙයට හේතු වුණා.

තමන් හමුවීමට පැමිණි එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ තමන්ට ලැබී ඇති ජනවරමට එරෙහිව කටයුතු නොකරන බවයි. රාජපක්ෂවරුන් සමඟ තමන්ගේ කිසිම සම්බන්ධයක් නැති බව කී ජනාධිපතිතුමා ‍ඔවුන් සමඟ සබඳතා තියෙන අය ගැන සොයන්නැයි එජාප මන්ත්‍රීන්ට ප්‍රකාශ කළා.

පසුගිය තුන්වැනිදා, අඟහරුවාදා මෙබඳු තවත් සාකච්ඡාවක් පැවැතියේ ශ්‍රී ලනිප මැති ඇමැතිවරුන් සමඟයි. මහින්ද අමරවීර ඇමැතිවරයාගේ ඇරියුම මත ඒ මහතාගේ නිවසේ පැවැති සාකච්ඡාවට ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් රැසක් සහභාගිවී සිටියා.

මෙහිදී ජනාධිපතිතුමා මැති ඇමැතිවරුන්ට කරුණු පැහැදිලිකිරීමක් කළා. තමන්ට ලැබී ඇති ජනවරම ගැනත් ක්‍රියාකිරීමට සිදුව ඇති පසුබිමත් එතුමා විස්තර කළා. නවආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසා සම්මත කරගැනීම ඇතුළු ජාතික අවශ්‍යතා සඳහා යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යා යුතු බවත් එහිදී පරිස්සමින් කටයුතු කළ යුතු බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඉදිරි කාලයේදී දැඩි තීන්දු කිහිපයක් ගැනීමට තමන් සූදානම් බවත් ජනාධිපතිතුමා කීවා. කෙසේ වෙතත් එම තීන්දු මොනවාදැයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ නැහැ.

මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිටින කණ්ඩායමෙන් ඇතිව තිබෙන අභියෝග ගැනත් ඉදිරි මැතිවරණ වලට එහි බලපෑම ගැනත් මෙහිදී සාකච්ඡාවට ලක්වුණා. ශ්‍රී ලනිපයේ ඡන්ද බෙදීයාම කෙටි කාලීන වශයෙන් අවාසිදායක බව බොහෝදෙනාගේ අදහස වුණා. කෙසේ වෙතත් ජනාධිපතිතුමාගේ අදහස වූයේ පක්ෂ කඩාගෙන පිරිස් ගියත් මහජනයා ඡන්දය දෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකට බවයි. එමනිසා බලය මාරුවන මැතිවරණ පැවැත්වෙන 2020 වනවිට මෙම කණ්ඩායමේ බලපෑම හීනවී යනබව ජනාධිපතිතුමාගේ අදහස වී තිබුණා.

හම්බන්තොට වරාය විකිණීමේ ගිවිසුම ගැන විපක්ෂය ගෙන යන විරෝධතා ගැනද ඇමැතිවරුන් මෙහිදී ජනාධිපතිතුමාගෙන් විමසා සිටියා. එහිදී ජනාධිපතිතුමා කීවේ එබඳු ගිවිසුමක් තවමත් සකස්කොට නැති බවයි. එය සකස් කිරීමෙන් පසුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමැතිය ගතයුතු බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා.

ජනාධිපතිතුමාගේ මෙම ප්‍රකාශ ගැන කළ විමසීමකදී මලික් සමරවික්‍රම ඇමැතිවරයා ප්‍රකාශ කොට තුබුණේ ගිවිසුම සකස්කොට නීතිපතිගේ උපදෙස් ගැනීමටත් පසුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ගැනීමටත් සිදුවන බවයි. මේ නිසා හම්බන්තොට වරාය සංවර්ධන ගිවිසුම අත්සන්කිරීම තව සති කිහිපයකින් ප්‍රමාද වනබව ඇමැතිවරයා කීවා.

විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා වැඩ ආරම්භ කළේ දෙවැනිදා සඳුදා විපක්ෂ නායක කාර්යාලයේ පැවැති උත්සවයකින්. එහිදී ජාතික ගීය ගයා ජාතික ‍කොඩිය ඔසවා ආරම්භ කළ උත්සව සභාව අමතා සම්බන්දන් මහතා කතා කළා. එයට සහභාගිවී සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ කාර්ය මණ්ඩලයයි.

එහිදී සම්බන්දන් මහතා කීවේ රජයේ සේවකයන් ලෙස ඔබ රටේ එක්සත් භාවය හා සංහිඳියාව වෙනුවෙන් දිළිඳුකම පිටුදැකීම සඳහාත් කැපවීමෙන් කටයුතු කළ යුතු බවයි. ඒ අරමුණ සිත්හි තබාගෙන නව වසර ආරම්භ කරන්නැයි සම්බන්දන් මහතා තම කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියා.

නව වසර උදාවත් සමග සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට කොළඹ 5 පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසටත්, කුරුඳුවත්ත 5 වැනි පටු මගේ පිහිටි අගමැතිවරයාගේ පෞද්ගලික නිවසටත් ගියා. මේ හමුවීම් දෙකේදීම නායකයන් දෙපොල සමගම නිදහසේ කතා බස් කිරීමට අවස්ථාව සජිත්ට ලැබුණා. සජිත්ගේ ඉකුත් වසර දෙකේ ක්‍රියාකාරකම් පසසමින් කතා කළ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා කිව්වේ’’පසුගිය අවුරුදු දෙකේ ඔයා ඉතා හොඳින් වැඩ කරලා තිබෙනවා. අලුත් අවුරුද්දේ ඊටත් වඩා ශක්තිමත්ව වැඩ කරන්න’ කියා ය. සජිත්, ජනාධිපතිවරයා සමග වඩාත්ම කතා කළේ ‘දුප්පත්කම පිටු දැකීමේ ජාතික වැඩසටහන’ ගැනයි. එහි වැදගත්කම අවධාරණය කරමින් ජනාධිපතිවරයා කීවේ ‘ඔයා ඒ වැඩේ හරියට කරන බව මං දන්නවා’ කියා ය.

සජිත් පසුවදාම අමාත්‍යාංශයට ගියේ සිය කාර්යය මණ්ඩල සාමාජිකයන් හමු වී ඔවුන්ට අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතීමට ය. ‘මේ හැම කෙනෙක්ම 2016 දී උපරිම කැපවීමකින් වැඩ කළා. අපිට අපේ ඉලක්ක සපුරා ගන්න පුළුවන් වුණේ ඒ කැප වීම නිසයි’ වෙනදා නිලධාරින්ගේ අඩු ලුහුඬුකම් පෙන්වමින් කෑ කෝ ගසන සජිත් එසේකීවේ ඉතා හැඟුම්බරව යි.

‘නොනිදන අමාත්‍යාංශය කියන නමින් ජනතාව අද අපිව හඳුන්වන්නේ අපේ සේවය ගැන ඇති පැහැදීම නිසයි. අපි ඒක මේ අවුරුද්දේ තවදුරටත් තහවුරු කර ගන්න ඕනෑ’ සජිත් කීවා. අමාත්‍යාංශයේ හා ඒ යටතේ ඇති ආයතනවල කටයුතු ඉකුත් වසරට වඩා වේගවත් කිරීමේ ඒකක පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවා දැනට මසකට වරක් සිදු කරන පසු විපරම් කටයුතු සතියකට වරක් සිදු කිරීම අරඹන බව ද සජිත් එහි දී අනාවරණය කළා.

බදාදා පෙරවරුවේ කොළඹ ගලදාරි හෝටලයේ පැවැති බටහිර කොළඹ රොටරි සමාජයේ විශේෂ රැස්වීමකට සජිත්ට ඇරයුම් කර තිබුණා. මෙහි දී නිවාස සංවර්ධනය වෙනුවෙන් ආධාර උපකාර කිරීම සඳහා ආයතන හා සංවිධාන සතු වගකීම පිළිබඳව විග්‍රහයක් කිරීමට ද සජිත් අමතක කළේ නැහැ. සජිත්ගේ විග්‍රහයෙන් පසුව රොටරි සාමාජිකයන් ගණනාවක්ම පැමිණ සුබ පතමින් කීවේ ‘ඔබතුමාට අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා’ කියා ය. ප්‍රධාන වැඩසටහන අවසානයේ දී උත්සව ශාලාවේ ඇති පියානෝව වාදනය කරමින් සජිත් ‘කිමද නාවේ - ඇයි නාවේ මගෙ දයා’ ජනප්‍රිය ගීතය ගායනා කළේ කිසිවෙකු අපේක්ෂා නොකළ මොහොතකයි.

හම්බන්තොට වරාය විකිණීම, සමාගම්වලට ඉඩම් පැවරීම ඇතුළු ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලට එරෙහිව ජවිපෙ ආරම්භ කර ඇති විරෝධතාවයන් පිළිබඳව ජවිපෙ නායකයෝ විශේෂ සාකච්ඡාවක නිරත වූණා. ”අපි තමයි මුලින්ම යෝජනා කළේ ගිවිසුම අත්හිටුවන්න කියලා. ඒ විතරක් නෙවෙයි ගිවිසුම පාර්ලිමේන්තුවට දාන්න කියලත් අපි කිව්වා. ඒ ගැන ජනාධිපතිට ලිපියකුත් දැම්මා. නමුත් ආණ්ඩුවෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ.” හඳුන්නෙත්ති කීවා. ”දැන් රටේ ලොකු විරෝධයක් මතුවෙලා තියෙනවා ආණ්ඩුවට එරෙහිව. අපේ උද්ඝෝෂණ ක්‍රියාමාර්ග තවත් ශක්තිමත්ව ඉදිරියට ගන්න ඕනෑ. ජනතාවට රටට අයිති ඉඩම් හිතුමතේ විකුණන්න ආණ්ඩුවට අයිතියක් නැහැ.” විජිත හේරත් කීවා. ”ඔව්, හම්බන්තොට වරායත් විකුණන්න ගිවිසුම් හදමින් හිටපු රාජපක්ෂ කල්ලිය දැන් බොරුවට කෑ ගහනවා මේ ආණ්ඩුව විකුණනවා කියලා. ඒකාබද්ධ කල්ලිය මෙකෙන් ගොඩ යන්න බලනවා. ජනතාව ඇත්ත තේරුම් අරගෙන ඉන්නේ මේ දෙගොල්ලම රටට කරපු විනාශය ගැන” ටිල්වින් සිල්වා කීවේ එහෙමයි. ”සුපිරි ඇමති තනතුරක් හදාගෙන එන්න යන්නේ හොඳකට වෙන්න බැහැ. මේකත් කරළියට ආපු නිසා දැන් ශ්‍රීලනිප ඇමතිවරු මේකෙන් ගැලවෙන්න හදනවා. රාජිත කියලා තියෙනවා මේ සුපිරි ඇමති ගැසට් එක හැදුවේ අමුම අමු මෝඩයෙක් කියලා. හැබැයි ඒ ගැසට් එක කැබිනට් එකේ සම්මත වුණා. ඒක සම්මත කරන්න අත් ඉස්සුවේ හදපු මෝඩයට වඩා අන්ත මෝඩයෝද දන්නේ නැහැ” විජිත හේරත් සිනාසෙමින් ප්‍රකාශ කළා.

ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිට එකම දිනයේ එකම වේලාවක එකම කරුණක් සම්බන්ධයෙන් පරස්පර විරෝධී කටයුතු දෙකකට ඇරයුම් දෙකක් ලැබුණා. ඉන් එක් දැනුම් දීමක් වූයේ පාර්ලිමේන්තුවෙන්. පාර්ලිමේන්තුවේ සේවකයෙකු මන්ත්‍රීවරයාට ඇමතුමක් ලබාදී කියා සිටියේ ”මන්ත්‍රීතුමා පස්වෙනිදා උදේ 10ට වරාය හා ප්‍රවාහන අමාත්‍යංශ අධීක්ෂණ කාරක සභාවේ විශේෂ රැස්වීමක් දාලා තියෙනවා ඒකට ඔබතුමාගේ පැමිණීම බලාපොරොත්තු වෙනවා” කියාය. ”පාර්ලිමේන්තුව රැස්වෙන්නේ 09වෙනිදා. ඒත් ඇයි හදිසියේ මේ විදියේ රැස්වීමක්” මන්ත‍්‍රීවරයා විමසුවා. ”හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් තියෙනවා.” මන්ත්‍රීවරයාට පිළිතුරක් ලැබුණා. දුරකතනය විසන්ධිවනවාත් සමඟ අගමැති කාර්යාලයෙන් තවත් ඇමතුමක් ලැබුණා. ”මන්ත්‍රීතුමා ඔබතුමා හත්වෙනිදා උත්සවයට එනවා නේද?” දුරකතන ඇමතුමෙන් කියැවුණා”මොන උත්සවයද?” මන්ත්‍රීවරයා විමසුවා. ”හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කරන උත්සවය” පිළිතුරු ලැබුණා. ”මේක පුදුම වැඩක්නේ. පාර්ලිමේන්තුවෙන් කතා කරනවා ගිවිසුම ගැන සාකච්ඡා කරන්න තියෙනවා කියලා. අගමැති කාර්යාලයෙන් කතා කරනවා ගිවිසුම අත්සන් කරන උත්සවයට එන්න කියලා” මන්ත්‍රීවරයා ආරාධනාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියා.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් අඟහරුවාදා (3දා) පැවැත්වුණා. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පැවති එම රැස්වීමට, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්සවිතාරණ, රාජා කොල්ලුරේ, විමල් වීරවංශ හා මහාචාර්ය ජී. එල්. පීරිස් ආදින් සහභාගිවී සිටියා. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සහභාගි වූ පළමු වතාව මෙයයි. අලුතින් පිහිටුවාගත් ශ්‍රී ලංකා ෙපාදුජන ෙපරමුෙණ් නායකයා ලෙස ඔහු මෙවර රැස්වීමට නිල වශයෙන් සහභාගිවී සිටියා.

මෙම රැස්වීමේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා වූයේ ආණ්ඩුවට එරෙහිව මහජන රැල්ලක් සංවිධානය කිරීම ගැනයි. පසුගිය කාලයේ සිදුවූ පසුබැසීම්වලින් ගොඩඑන්නට ආණ්ඩුවට එරෙහිව ජන බලයක් ‍ගොඩනැඟිය යුතු බව සාකච්ඡා වුණා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැපයීමේ ව්‍යවස්ථාදායක සභාවේ හා කමිටුවල ඒකාබද්ධ විපක්ෂය ද සහභාගි වී සිටියද මෙහිදී තීරණය වූයේ ආණ්ඩුවට එරෙහි ජනමතයක් ගොඩනැඟීමේ එකම ක්‍රමය නව ව්‍යවස්ථාවට එරෙහිව උද්ඝෝෂණයක් සංවිධානය කිරීම බවයි. උදය ගම්මන්පිල හා විමල් වීරවංශ මහත්වරුන් විසින් ඉදිරිපත් කළ මෙම අදහසට පසුව සියලු දෙනා එකඟවුණා. “ව්‍යවස්ථා මරඋගුල පරදවමු” සටන් පාඨය යටතේ රටපුරා රැස්වීම් මාලාවක් පැවැත්වී‍මට එහිදී තීරණය වුණා. එහි පළමු රැලිය ජනවාරි මස 24 වැනිදා නුගේගොඩදී පැවැත්වීමට තීරණය වුණා. ඒ සඳහා සංවිධායක කමිටුවක් ද පත්කර‍ගත්තා.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් මෙම රැස්වීමට සහභාගි වූ පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ මහතා මෙම වැඩපිළිවෙළට එකඟවුවත්, පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩීව් ගුණසේකර මහතා ඇතුළු තවත් පිරිසක් දරන්නේ ඊට විරුද්ධ මතයක්. නව ව්‍යවස්ථාවට එරෙහිව ජාතිවාදී පදනමකින් විරෝධතා දැක්වීමට ඔවුන් එකඟ නැහැ.

මේ නිසා පක්ෂය තුළ ඇතිවී තිබෙන බරපතළ මතභේදය සමනය කරගැනීමට පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ විශේෂ රැස්වීමක් කැඳවීමට පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා ක්‍රියාත්මක වුණා. මෙම 13 සහ 14 දින දෙකක් පුරා මෙම රැස්වීම පැවැත්වීමට නියමිතයි. තතුදත් ආරංචිමාර්ග කියන්නේ මෙම රැස්වීමෙන් පසුව පක්ෂය බෙදීමකට බොහෝදුරට ඉඩ තිබෙන බවයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ෙපාදුජන ෙපරමුණ හෙවත් “පොහොට්ටු පක්ෂය” ද රටපුරා ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට තීරණයකොට තිබෙනවා. එහි මුල් පියවර පොහොට්ටුව ලකුණු සහිත පෝස්ටර් රට පුරා අැලවීමයි. ඉන්පසුව මහින්ද රාජපක්ෂ මහතා හා පොහොට්ටුව ලකුණ ඇති පෝස්ටර් අලවන්නට තීරණයක් ගෙන තිබෙනවා. එයට පොහොට්ටු පක්ෂයේ ආසන සංවිධායකගේ ඡායාරූපය ද ඇතුළත් කිරීමේ අදහසක් මේ දිනවල සාකච්ඡා ෙවනවා. ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් වැඩිදෙනෙක් මේ ෙමාෙහාෙත් පොහොට්ටුව සමඟ පෙනී සිටින්නට පසුගිය දිනවල පැවැති සාකච්ඡාවලදී අකැමැත්ත ප්‍රකාශකොට තිබෙනවා. එමෙන්ම තමන් සිටින ආසනවලට පොහොට්ටුවෙන් තවත් ආසන සංවිධායකයෙක් පත් කරන්නටත් ඔවුන් කැමැති නැහැ. මේ ගැන ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවලදී උණුසුම් විවාද ඇති වුණා. බත්තරමුල්ල, නෙළුම්පොකුණ මාවතේ කාර්යාලයේදිත් වෙනත් ස්ථානවලදීත් මේ පිළිබඳව උණුසුම් සාකච්ඡා සිදුවුණා. 

නව අදහස දක්වන්න