පෙළ පොත් හා අපේ දරුවෝ

අපේ සිසු දරුවන් වෙත පෙළ පොත් බෙදා දීම ඊයේ නිල වශයෙන් ආරම්භ විය. ඒ 2017 වසර සඳහා ය. මේ අනුව පෙළ පොත් ලක්ෂ ගණනක් නොමිලේ බෙදා හැරේ. මේ අතින් බලන විට ශ්‍රී ලංකාව තරම් අධ්‍යාපනයට පිරිවැය දරන දකුණු ආසියානු රටක් සොයා ගැනීමට බැරි තරම් ය. නොමිලේ පොත් ලැබේ. නොමිලේ නිල ඇඳුම් ලැබේ. නොමිලේ අධ්‍යාපනය ද ලැබේ. හෝඩියේ සිට විශ්වවිද්‍යාල උපාධිය දක්වා නොමිලේ අධ්‍යාපනය ලද හැකි රටවල් කිහිපයක් ඇති අතර ඉන් ප්‍රමුඛ තැනක් ශ්‍රී ලංකාවට ලැබේ. අධ්‍යාපනය යනු රටක සංවර්ධනයේ මූලික පදනම බව ආර්ථික විශේෂඥයෝ පිළිගනිති.

නොමිලේ පෙළ පොත් බෙදා හැරීම ආරම්භ වූයේ 1980 දී ය. එතැන් සිට මේ දක්වා පෙළ පොත් බෙදා හැරීම අඛණ්ඩව සිදු කිරීම ගැන බලයට පත් වූ හැම ආණ්ඩුවකටම ජාතියේ කෘතඥතාව හිමිවිය යුතුය. ශ්‍රී ලංකාව තුළ සාමාන්‍ය වශයෙන් ලක්ෂ හතළිහකට වැඩි පිරිසක් නිතිපතා පාසල් අධ්‍යාපනයෙහි නිරත වෙති. ඒ සියලු දෙනාටම නොමිලේ පොත් ප්‍රදානය කෙරේ. සිංහල භාෂා මාධ්‍යයේ පොත් වර්ග 146ක්ද, දෙමළ මාධ්‍යයේ පොත් වර්ග 147ක්ද ඉංග්‍රීසි මාධ්‍යයෙන් පොත් වර්ග75ක් ද පිරිවෙන් අධ්‍යාපනය සඳහා පොත් වර්ග 42ක්ද මෙවර මුද්‍රණය කර තිබේ.

ජනගහනයේ සාක්ෂරතාව ගතහොත් ශ්‍රීලංකාවට ඉහළ අගයක් තිබේ. එහෙත් සාක්ෂරතාව හොඳ මට්ටමකින් තිබූ පමණට රටක් දියුණුවන්නේ නැත. රටක් දියුණුවීමට නම් කරුණු දෙකක් සම්පූර්ණ විය යුතුය. එක අධ්‍යාපන ක්ෂේත්‍රය ඔස්සේ විශේෂඥ ඥානය හා කුසලතා ඇති පුද්ගලයන් බිහි විය යුතුය. දෙක ඔවුන් රට වෙනුවෙන් කිසියම් සේවාවක නිරත විය යුතු ය.ශ්‍රී ලංකාව දෙස බලන විට එකිනෙක ක්ෂේත්‍රවල විශේෂඥයන් බිහිවීම නිරන්තරයෙන් ම සිදු වේ. එහෙත් ඔවුන් සියලු දෙනා රට වෙනුවෙන් සේවයක නිරත වන්නේ ද යනු ප්‍රශ්නයකි. අපේ හොඳම විශේෂඥයන් ඇත්තේ විදේශගතව ය.

අධ්‍යාපනය හා රැකියා වෙළෙඳපොළ අතර ඇති සම්බන්ධය හොඳ එකක් නොවේ. අධ්‍යාපනයට ලැබෙන වටිනාකම ද හොඳ මට්ටමක නැත. මේ අනුව අධ්‍යාපනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ පවත්නා ආකල්ප ඒ තරම් ම හොඳ මට්ටමක නැත. උපාධිකාරයාට ද රැකියා නැත යන අදහසක් රට තුළ පවතී. දියුණුවීමට නම් ව්‍යාපාර කළ යුතු යැයි මතයක් ද පවතී. ව්‍යාපාර කරගෙන යෑමට ද නිසි අධ්‍යාපනයක් තිබීම වැදගත් බව අපේ සමාජය තවම වටහාගෙන නැත. තවත් කාරණයක් වන්නේ රටේ සාර්ථක ම ව්‍යාපාරිකයන් සියලු දෙනා උසස් අධ්‍යාපනය ලැබූ පුද්ගලයන් නොවීම ය. අධ්‍යාපනයේ සමාජ වටිනාකම බිඳීයෑමට එය ද හේතුවක් වී ඇත.

තව අතෙකින් බලන විට අධ්‍යාපනයෙහි පරමාර්ථය වන්නේ රැකියාවක් සඳහා සුදුසුකමක් ලැබීම ම නො වේ. අධ්‍යාපනය යනු සර්ව සම්පූර්ණ මිනිසෙකු බිහිකරන ක්‍රමවේදය ලෙස සලකනු ලැබේ. කෙනකුට පාසල් අධ්‍යාපනය නැතත් ස්වයං අධ්‍යාපනයක යෙදිය හැකි යැයි මතයක් පවතී. නිදසුනක් ගතහොත් අපේ රටේ වැඩි දෙනා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නේ පාසල් අධ්‍යාපනය තුළින් නොවේ. වැඩිහිටි අධ්‍යාපනය ලෝකය අනුදත් ක්‍රමවේදයකි. එය හොඳින්ම අත්හදා බැලූ රට ටැන්සානියාව වන අතර ඊට මග පෑදූ පුද්ගලයා වන්නේ ජූලියස් නියරේරේය. ඔහු රටේ සංවර්ධනය සඳහා වැඩිහිටි අධ්‍යාපනය ව්‍යාප්ත කළේය.

පාසල් අධ්‍යාපනයට අවශ්‍ය පෙළ පොත් සකස් කිරීම රටේ ආර්ථික හා සමාජයීය දැක්මට අනුව සිදුවිය යුතුය. ඒ අනුව කාලයෙන් - කාලයට පෙළ පෙත්වල විෂය කරුණු වෙනස් කර තිබේ. එය එසේම සිදුවිය යුතු ය. තාක්ෂණික දියුණුව, ලෝකයේ පවත්නා ගනුදෙනු, මතවාද හා ඉගැන්වීම අනුව පාසල් පෙළ පොත්වල අන්තර්ගතයද වෙනස් විය යුතු ය. ඒ සඳහා පර්යේෂණ සිදු කරන කණ්ඩායමක් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිටී. පෙළ පොත් සකස්වන්නේ එම කමිටුවේ අදහස් හා මතවාදවලට අනුවය.

ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් තිස්සේ නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්නේ වුව අතරමග දී පාසල් හැරයන පිරිස දිනෙන් දින ඉහළට යති. අ.පො.ස. සා/පෙ, අ.පො.ස. උ / පෙ අධ්‍යාපනය හැර යන ප්‍රධාන අවස්ථා දෙකකි. මෙලෙස පාසල් හැරයන අයට වෙනත් විෂයයන් උගත හැකි අවස්ථා ගණනාවක් රට තුළ තිබේ. කාර්මික විද්‍යාල, හරිත විශ්වවිද්‍යාලයන්, වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයට අදාළ විවිධ ආයතන පාසල් හැරයන අයගේ අධ්‍යාපනයට අත්වැලක් සපයයි. එය ද බොහෝවිට සිදුවන්නේ නොමිලයේ ය. රාජ්‍ය අංශයේ අධ්‍යාපනය මෙන්ම පෞද්ගලික අංශයේ අධ්‍යාපනය අතර සියුම් තරගයක් ද පවතී. එබඳු තරගයක් අවශ්‍ය වන්නේ නැත. සිදුවිය යුත්තේ කිසිවකුට ගැළපෙන අධ්‍යාපනයට අවකාශ පවත්වාගැනීම පමණි.

මෙවර පෙළ පොත් නිර්මාණය කිරීම, පොත් මුද්‍රණය කිරීම ආදිය ඉතා සූක්ෂ්ම අයුරින් කල්පනා කිරීමෙන් අනතුරුව සිදු වී තිබේ. බෙදාහැරීම වුව ඉතා විධිමත් යැයි සලකන්නට පුළුවන. කිසිවකුට පෙළ පොත් අනවශ්‍ය යැයි කිව නොහැකිය. භේදයකින් තොරව සියලු දෙනාටම නොමිලේ පොත් ලැබෙනු ඇත. එය සුරක්ෂිත කොට ඊළඟ පරම්පරාවට භාරදීම යුතුකම් දන්නා අය වෙතින් ඉටුවිය යුතු සේවාවකි. එහෙත් ඇතැම් ශිෂ්‍යයන් පොත් භාවිත කරන්නේ එය විනාශයකට මඟක් ලෙස සලකාගෙනය. තරුණ වයසේ ශිෂ්‍ය ප්‍රජාවට සාම්ප්‍රදායක චින්තනය අල්ලන්නේ නැත. ඒ අනුව පොත් බෙදාදීමද ඇතැම්විට අවසන් විය හැක්කේ ගැටලුවක් සමඟය.

කුමක් වුව අපේ ශිෂ්‍ය ප්‍රජාව සැලැකිල්ලට ගත යුත්තේ මේ පොත්වලින් නිසි ප්‍රයෝජන ලබාගන්නේ කෙසේද යන්න ය. පොත් මිටියක් රැගෙන පාසලට ගොස් නැවත එය ගෙදර විත් වීසි කරන්නේ නම් කිසිවක්ම සාර්ථක වන්නේ නැත. එක අතෙකින් අප පෙළපොත් වහාම ලබාගත යුතුය. තවත් අතෙකින් ඒවායෙහි අන්තර්ගතය අපේ ජීවිතවලට සමීප කරගත යුතුය. උත්සවයක් තබා දරුවන්ට පෙළ පොත් බෙදාදී සංදර්ශනයක් පැවැත්වීමට වඩා බරක් පෙළ පොත් බෙදාදීමේ වැඩසටහනේ තිබේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...