සීමා නිර්ණ වාර්තාව අසම්පූර්ණයි, අඩුපාඩුයි | දිනමිණ

සීමා නිර්ණ වාර්තාව අසම්පූර්ණයි, අඩුපාඩුයි

 මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීම සඳහා පත් කරන ලද කමිටුව විසින් පසුගියදා ඉදිරිපත් කළ වාර්තාව අඩුපාඩු රැසක් සහිත අසම්පූර්ණ වාර්තාවක් බව ඒ පිළිබඳව සොයා බැලීමේදී තොරතුරු අනාවරණය වී ඇත.

මේ කමිටුව විසින් සකස් කරන ලද සීමා නිර්ණය වාර්තාව එහි සභාපති අශෝක පීරිස් මහතා විසින් පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට කමිටු සාමාජිකයින් දෙදෙනෙකු අත්සන් කර නොතිබීම හේතු කර ගෙන එම වාර්තාව බාර ගැනීම ඇමැතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

කමිටුවේ සාමාජිකයන් වන සාලිය මැතිව් හා එස්. මිස්බා යන මහත්වරුන් අත්සන් තබා තිබුණේ නැත. ඊට හේතුව වී ඇත්තේ මෙහි අඩුපාඩු රැසක් පැවතීම නිසාවෙන් බවට මේ පිළිබඳ ආණ්ඩුව විසින් කළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

නව මැතිවරණ ක්‍රමයේදී පාර්ලිමේන්තුවේ ආසන ප්‍රමාණය වැඩි වෙනවාද එසේ නම් ඒ වෙනුවෙන් කළ යුතු කාර්යයන් කුමක්ද යන ගැටලු සඳහා විසඳුම් යෝජනා වී නැත. ජනගහන අනුපාතය අනුව ආසනවල කළ යුතු වෙනස්කම් මොනවාද යන්න පිළිබඳවත් කරුණු අනාවරණය වී නොමැති බවටද හෙළි වී තිබේ. ජනගහනය ආසන්න වශයෙන් සමාන වන අවස්ථාවලදී සභික සංඛ්‍යාවේ විශාල විචලනයක් වී ඇති බවත් මුස්ලිම් හෝ දෙමළ වැඩි ජනගහනයක් සිටින අවස්ථාවලදී සාපේක්ෂව අඩු සභික සංඛ්‍යාවක් ලබා දී ඇති බවටත් තොරතුරු හෙළිදරව් වී ඇත.

උදාහරණයක් ලෙස දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ජනගහනය 58937ක් වන අතර ඊට නිර්දේශ කර ඇති සභික සංඛ්‍යාව 23ක් වුවද ජනගහනය 68591ක් වන සමන්තුරේ ප්‍රාදේශීය සභාව සඳහා යෝජනා කර ඇති සභික සංඛ්‍යාව 12ක් වේ. උහන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනගහණය 52137ක් වන විට එහි සභික සංඛ්‍යාව 17 ක් වේ.

තවද කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ ජනගහනය 31200ක් ද පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය සභාවේ ජනගහනය 12703ක්ද, මොරවැව ප්‍රාදේශීය සභාවේ ජනගහනය 12703ක්ද, ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ ජනගහනය 8348ක්ද ලෙස සටහන් වුවද එහි සභික සංඛ්‍යාව ලෙස දක්වා ඇත්තේ 10ක් ලෙසය.

බහු මන්ත්‍රී කොට්ඨාස ඇති කිරීමේදී නාම යෝජනා කළ හැක්කේ එක් අපේක්ෂකයෙකු ලෙස දැක්වීම නිසා බහු කොට්ඨාස පිහිටුවීමේ අරමුණ කමිටු වාර්තාව මඟින් සලකා නැතැයි ද හෙළිදරව් වී තිබේ. මෙහිදී කුඩා දේශපාලන පක්ෂ සඳහා නියෝජනයක් නොලැබෙන බවද පෙනී ගොස් ඇති තවත් ගැටලුවකි.

මේ සියලු කාරණා මත පදනම්ව සීමා නිර්ණ විමර්ශන කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ ගැටලු රැසක් පවතින අතර ඒවාට විසඳුම් නොසොයා කඩිමුඩියේ වාර්තාව බාරදී ඇති බවට හෙළිවන බවද ආණ්ඩුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. 

නව අදහස දක්වන්න