දුක් වින්දා හොඳට ම ඇති!

 අපේ රටේ ජනතාව දුක් විඳ ඇති තරම හොඳටම ප්‍රමාණවත් ය. ඔවුන් වෙත සුවදායක ජීවිතයක් උරුම කළ යුතුය. ඒ සඳහා අපේ ආර්ථිකය ප්‍රසාරණය කළ යුතු ය. ආර්ථිකය ඉබේ ප්‍රසාරණය වන්නේ නැත. ඒ සඳහා වාර්ෂික ආර්ථික වෘද්ධිය ඉහළ දැමිය යුතුය. දළ ජාතික නිෂ්පාදනය ඉහළ දැමිය යුතුය. දුප්පත්කම අවම කළ යුතුය. උද්ධමනය පහළ දැමිය යුතුය. විරැකියාව පහළ දැමිය යුතුය. මේ අපේ වචන නොව අගමැතිවරයාගේ වචනය. අගමැතිවරයා ඉදිරිපත් කරන ආර්ථික දර්ශනයේ ප්‍රතිඵලය වන්නේ පොදු ජනතාවගේ සාක්කුවලට සල්ලි වැටීම ය. ජනතාවගේ සාක්කු සල්ලිවලින් පිරී ගිය විට රටේ ආර්ථික තත්ත්වය හොඳ අතට හැරෙනු ඇත.

ජනතාවගේ සාක්කු සල්ලිවලින් පිරවීම සංකීර්ණ කාරණයෙකි. ඒ සඳහා විවිධ ආර්ථික උපාය මාර්ග යෙදවිය යුතු ව තිබේ. ශ්‍රී ලංකාවට අලුත් නිෂ්පාදන කර්මාන්ත ඇති කිරීමට මූලධනය නැත. අප දැන් පසුවන්නේ ණය භරිත ආර්ථිකයක් තුළ ය. එසේ නම්; අප ආර්ථික උපාය මාර්ග දෙකක් භාවිත කළ යුතුය. පළමු උපාය මාර්ගය වන්නේ විදේශීය ආයෝජකයන් ගෙන්වාගෙන කර්මාන්ත ඇතිකොට ඒ මගින් විශාල පිරිසකට රැකියා ලබා දීම ය. දෙවන උපාය මාර්ගය වන්නේ විදේශ විනිමය ඉපැයීම වේගවත් කිරීම ය. ඒ සඳහා අපනයන දියුණු කළ යුතුය. සංචාරක කර්මාන්තය හා ඇඟලුම් කර්මාන්තය වැනි ක්ෂේත්‍ර ද දියුණු කළ යුතුය.

ආ‍යෝජකයන් ගෙන්වා ගැනීමට බාධා ලෙස පවතින කරුණු රාශියක් තිබේ. එක; විදේශ රටවල් සමඟ ආර්ථික ගිවිසුම් අස්සන් කරන විට ව්‍යාජ දේශප්‍රේමියෝ ඊට විරුද්ධ වෙති. දෙක; විදේශීය ආයෝජකයන්ට ගැළපෙන ලෙස රටේ ව්‍යවසායට අදාළ නීති-රීති වෙනස් කරන විට වමේ දේශපාලකයෝ ඊට විරුද්ධ වෙති. ඔවුන්ගේ අදහස් වන්නේ එ මගින් රට විනාශ වන බව ය. තුන; රටේ කම්කරු ජනතාව හැමවිටම උද්ඝෝෂණ හා වැඩ වර්ජන සඳහා පෙළැඹී සිටිති. හැබෑවටම එය දේශපාලකයන්ගේ කුමන්ත්‍රණයකි. කම්කරු ආරවුල් පවතින රටවලට ආයෝජනය කරන්නට දියුණු ව්‍යාපාරිකයන් කැමැති නැත. මේ තත්ත්වය අපට විශාල පාඩුවකි.

අගමැතිවරයා පැහැදිලි කරන ලෙස අපේ දේශපාලකයෝ අනුගමනය කරන ක්‍රම දෙකක් තිබේ. පළමු ක්‍රමය වන්නේ රටේ ධනය භාවිත කොට මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් ඒ ධනය ගසා කෑම හා විශාල වශයෙන් විදේශවලට ණය වීම ය. දෙවන ක්‍රමය වන්නේ විදේශීය ආයෝජකයන් ගෙන්වාගෙන ඔවුන්ගේ ධනයෙන් නව කර්මාන්ත ඇතිකොට රටට ප්‍රතිලාභ ලබා දීම ය. මේ ආණ්ඩුව අනුගමනය කරන්නේ දෙවන ක්‍රමය බව අගමැතිවරයා කියයි. එහි අර්ථය වන්නේ මහජන මුදල් කොල්ලකෑමට හෝ ඒ මුදල් දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීමට හෝ වත්මන් රජය කටයුතු නොකරන බව ය. එහෙත් පසුගිය කාලය තුළ අනුගමනය කළේ එම පැරැණි ක්‍රමය යි. එයින් දේශපාලකයා පොහොසත් විය ජනතාව තවදුරටත් දුප්පත් විය.

පෙරෙයිදා කුලියාපිටියේ දී මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තයකට මුල්ගල් තැබිණි. එහි වැඩ කටයුතු ඊයේ සිට ආරම්භ වීමට නියමිත ව තිබිණි. මෙහි පළමු මෝටර් රථය 2020 දී ශ්‍රී ලංකාවේ දේශීය වෙළෙඳ පොළට හඳුන්වා දෙනු ලැබේ. ඊළඟ වසර තුන තුළ විදේශීය වෙළෙඳ පොල අල්ලා ගැනීමට වැඩසටහන් සකස් කර තිබේ. පළමු අවස්ථාවේ මේ මගින් 2000කට අධික පිරිසකට රැකියා ලැබේ. කර්මාන්තය ස්ථාපිත වූ පසු 20,000කටවත් රැකියා ලබා දිය හැකි බව කියැවේ. අපට අවශ්‍ය වන්නේ රට තුළ මෙබඳු කර්මාන්ත වැඩි වැඩියෙන් ඉදි කිරීම ය. සිංගප්පූරුව, දකුණු කොරියාව, මැලේසියාව, තායිවානය වැනි රටවල් අනුගමනය කළේද මේ ක්‍රමෝපාය ය. එබැවින් එය වඩාත් බුද්ධිමත්ව භාවිත කළ යුතුය.

කුමක් වුව මේ රටේ ජනතාව පසුවන්නේ ඉතා ඉක්මනින් රවටාගත හැකි තත්ත්වයක ය. ඔව්හු හම්බන්තොට වරාය චීනයට විකුණන බවක් විශ්වාස කරති. කොළඹ වරාය බදුදෙන බව ද විශ්වාස කරති. ඉන්දියාව සමඟ වෙළෙඳ ගිවිසුමකට යෑම අපේ ආර්ථිකය ප්‍රසාරණය කළ හැකි හොඳම උපාය මාර්ගයකි. එහෙත් ඊට අදාළ ගිවිසුමට සැලැකිය යුතු පිරිසක් විරුද්ධ වෙති. අප ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත්වන්නේ යැයි සමහරු කිඹුල් කඳුළු හෙළති. එකිනෙක රටවල් සමඟ ගිවිසුමකට නොගොස් රටේ නිෂ්පාදනය,වෙළෙඳ පොළ අල්ලා ගැනීම ආදිය කළ නොහැකිය. මෙය දේශපාලකයන් තේරුම් ගන්නේ නැත. ජනතාව තේරුම්ගෙන ඇති බවක් ද පෙනෙන්නට නැත.

ජනතාව සිදුවන්නේ කුමක්දැ’යි අවදියකින් සිටිය යුතුය. හම්බන්තොට වරාය කේන්ද්‍රකොටගත් කාර්මික ජනපදයෙන් විශාල පිරිසකට රැකියා සැපයිය හැකි ය. ඒ හැරෙන්නට අතුරු නිෂ්පාදනවලට හා අතුරු රැකියාවලට එමගින් අවස්ථාවක් උදා‍ වේ. පන්නල හා කුලියාපිටියේ කර්මාන්තවලට මුල්ගල තැබූ අතර එයින් ර‍ටේ විශාල පිබිදීමක් ඇති වනු නිසැක ය. ඒ හැරෙන්නට හොරණ නව ටයර් කම්හලක් ඉදි කිරීමට ද යයි. මේ සියල්ලෙන් ම සිදුවන්නේ තරුණ පරපුරට වැඩි - වැඩියෙන් රැකියා සැපයීමය. ඒ හා සමඟ රාජ්‍ය බදු ආදායම් වැඩිකර ගැනීමටත් අවස්ථාව උදාවේ. නිදහස් වෙළෙඳ කලාප කිහිපයක් හා නව කර්මාන්ත ගණනාවක් ස්ථාපිත කිරීමට රජය සැලැසුම් කර තිබේ. ඒවා වෙනස් වන්නේ නැත. ඇතැම්විට වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැක්කේ තවත් වසර ගණනාවකින් පසුව ය. එතෙක් අප ඉවසිල්ලේ කටයුතු කළ යුතුය.

ලෙනින් සිය විප්ලවීය ජයග්‍රහණයෙන් පසුව ධනපති රටවලින් ඉල්ලීමක් කරමින් කියා සිටියේ අපේ රට දියුණු කිරීමට සහයෝගය ලබා දෙනු යන්න ය. එදා - මෙදා තුර ඔවුන්ගේ ජාතික ප්‍රතිපත්ති වෙනස් වී නැත. විදේශ ආධාර හා ණය ලැබුණත් - නැතත් රුසියාව දියුණුව වෙත ගෙන යෑමේ වගකීම නිලධාරීන් හා ව්‍යවසායකයන් ගෙන තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස රුසියාව අද තත්ත්වයට දියුණු විය. ඔවුන්ගේ ඉතිහාස කතාව වෙනම අධ්‍යයනය කළ යුතු තත්ත්වයක තිබේ. අප කිසිදු ආර්ථික චලනයකට බිය විය යුතු නැත. සම්ප්‍රදායයට ද බිය විය යුතු නැත. අපට අනන්‍ය වූ හා අපට සාධාරණ වූ ආර්ථික මාවතක් දිගේ අප ගමන් කළ යුතු ය.

දැනට සිදු වන්නේ ද එයම යැයි කිව හැකි ය. ශ්‍රී ලංකාවේ කිසිදු බිම් අඟලක් විදේශික ධන කුවේරයන්ට අලෙවි කරන්නේ නැත. එය ප්‍රචාරය වූ අසත්‍යය සිදුවීමක් ලෙස ගත හැකි ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...