ඔබේ පවුල් ජීවිතය විනාශ කරන්නට ආයුධ සපයන්නෙ ඔබමද?

ළහිරු කිරණ දිග හැර 2017 වසරට අලුත් ඉරක් පායා තිබේ. ‘සාමය සතුට පිරි නව වසරක්...!’ යන්න දොරින් දොර විකසිත බලාපොරොත්තුවයි. සැබැවින්ම අපේ අම්මාවරු - බිරින්දෑවරු දියණිවරු මේ අයදින්නේ කැදැල්ලේ පෑළ දොරින් පැන යන්නට අර අඳින සාමය සහ සතුට නොවේද?

 

විවාහ බැඳෙන තරමටම බිඳෙනවායැයි සිතෙන පසුබිමක පවතින පවුල් ජීවිත ගලා යන්නේද දහසක් හැල හැප්පීම් පසුතැවීම් ළතැවුල් අතරින් බව පෙනේ. ඒ නිසාම එළැඹි නව වසරේදී ‘පවුලේ සාමය සතුට’ බලාපොරොත්තුවක් පමණක් නොව අධිෂ්ඨානයක් කරගත යුතුව තිබේ.

අවසන් හුස්ම හෙළන තත්පරය දක්වාම ආදරයෙන් සිටින්නට බැඳුණු විවාහයේ සාමය බිඳුණේ ඇයි? සිත් රිදුම් ඇති හැමතැනකදීම “ඉස්සර වූ කටක්” මතකයට නඟා ගන්නට ඔබට හැකිද? පෙම්වතියක් වූ දවසේ ඔබේ වචනවල වූ මිහිරියාවත් අද වහා ඇවිළෙන සුලු වචනවල කර්කෂ බවත් මොහොතකට සසඳන්න.

“ඒ ගැන දුක් වෙන්න එපා රත්තරං”

“අපි පුළුවන් විදිහට ජීවත් වෙමු.”

“මොනදේ නැතත් අපට අපි ඉන්නවා.”

පෙම්වතියකව සිටියදා ඔබේ වදන් මෙතරම් මිහිරි වූයේ ඉවසීම - සමාව දීම හිත හදාගැනීම නිසායි. මේ, ජීවිතයේ කොටස්කාරිය ලෙස විවාහයෙන් කිරුළ පැලැන්දීමට ඔහු ඔබ තුළ දුටු හොඳම සුදුසුකමයි. එහෙත් අද ඔබේ නිවෙසේ බිත්තියකට කන තබන්නකුට ඇසෙන්නේ මොනවාද?

“තමුසෙට මොනවද පුළුවන්...?”

“හැමදාමත් ජීවිතේ අඩුපාඩු විතරයි...”

“බලනවකෝ අනිත් මිනිස්සු ලස්සනට ජීවත් වෙන හැටි...”

මෙය පවුල් ජීවිතයේ වගකීම් සම්පන්න බවත්, ජීවන අරගලයත් නිසා වූ වෙනසකැයි ඔබ සාධාරණීයකරණය කරනවා විය හැකියි. එහෙත් විවාහක බිරියකගෙන් ආදරණීය බව පලා යායුතු නොවේ. පෙම්වතියක් විවාහය නිසා පත්වන්නේ ජීවිතයේ පංගුකාරියක් නැතිනම් සහකාරියක් බවටය. අපේ සංස්කෘතියට අනුව බිරිය ‘පවුල’ ලෙස හැඳුනුම් ලබයි. බටහිර සංස්කෘතියේදී බිරිය ඕඥබබඥප ඩචතට වේ. ඒ නිසාම පිරිමියකුගේ ජීවිතයේ සතුට සාර්ථක බව තීරණයවන්නේ බිරියගේ ස්වභාවය අනුවය. ඔහු පවුලට බැඳෙන්නේ විවාහ ගිවිසුමෙන් නොවේ. බිරියගේ ආදරණීය බවේ තරමටය.

“ජීවිතේ අඩුපාඩු තියෙනවා තමයි. ඒත් ඔයා අපට කොච්චර ආදරේද?

“ඔයා කටින් නොකීවට මායි දරුවනුයි ගැන හිතන බව මං දන්නවා.”

මේ පවුලේ සාමය සතුට ඇතිකරන්නට බිරියකට සැමියා ඉදිරියේ ගයන්නට හැකි සෙත් කවියයි. පවුල් ජීවිතයේ අඩුපාඩු සිතින් අස්වසාගෙන හිනැහෙන්නට වෑයම් දරන බිරිය ගැන සැමියකුගේ සිතේ උපදින්නේ පෙම්වතියකවත් නොලැබෙන ආදරයකි.

“අපේ තාත්තා බේබදු ජීවිතයක් ගෙව්වේ. ඒත් කවදාවත් අම්මා තාත්තාත් එක්ක දබර කළේ නැහැ. පුතේ, තාත්තා නරක මිනිහෙක් නෙමෙයි. අරක්කු නම් බොහොම නරකයි. මෙහෙම කියන අම්මා අපට තාත්තා ගැන අහිතක් හිතන්න දුන්නේ නැහැ.” පවුලේ සාමය වෙනුවෙන් ඉවසිලිවන්ත වූ මවකට දරුවන්ගෙන් ලැබෙන අභිමන්ද අපමණය.

එනමුදු අද පොඩ්ඩ වැරැදෙද්දී ඉස්සරවන බිරින්දෑවරුන්ගේ කට පවුලට මොනතරම් අවාසි ගෙන එනවාද?

“ඔහේ හරි කියලද හිතාන ඉන්නේ...?”

“මේ මං කියනදේත් අහනවා.”

“ආ... එහෙමද? ඇයි මටත් උත්තර නෑ කියලද?”

අවලාද - දොස්- චෝදනා දෙගොඩ තලා යන කටක් ඇති කත කාටත් අප්‍රසන්න ජනක වේ. එකට එක කියන කටක් ඇති බිරියක් සිටින පවුලේ සාමයක් රඳන්නේ නැත. ස්වභාවධර්මයෙන්ම කාන්තාවකට තරම් ඉවසීමක් පිරිමියාට හිමි නැති බව ද අමතක කළ යුතු නොවේ. ඒ නිසාම ඇය සැමියාගේ හදිසි කෝපය නිසා නොමනා හිංසනයෙන් ද අසරණ විය හැකියි.

“ඔය මනුස්සයා ලෝකෙට නම් මහා දානපතියා. ඒත් ගෙදරට මොනවා හරි ගේන්න කිව්වොත් මහා ලෝභයා.”

“විවේචනය කර ගැනීම” පවුල් ජීවිතයට විණ කැටීමකි. හදිසි ආවේගයක් නිසා මෙලෙස ඔබ බිඳලන්නේ සැමියාගේ ආත්ම ගරුත්වයයි. මෙවන් පසුබිමකදී ඊළඟ ඇසිල්ලේදී ඔහුගේ මුවෙන් ඔබගේ ද ආත්ම ගරුත්වය බිඳෙනු ඇත. එමෙන්ම සැමියා විවේචනය කිරීමෙන් ඔබ සිදු කරන්නේ තම පවුලට පහරදෙන්නැයි තවකකුට ආයුධ සැපයීමයි.

“ඔය කිව්වට එයා මට දොස් කියද්දී මං කොහොමද ඉවසන්නේ...?”

ඔබේ සිතට මේ සිතුවිල්ල නැඟුණා විය හැකියි. එහෙත් පවුලේ සාමය වෙනුවෙන් ඉවසීම නිවටකමක් නොවේ. එය ඔබේ ආත්ම ගරුත්වයත් රැකගෙනම ඔබට කළ හැකියි.

“අපේ මහත්තයාට තරහා ගිහිල්ලනේ. ඔය කිව්වාට මගේ හස්බන්ඩ් මට හරි ආදරෙයි...”

මේ වචන ටික ඔහුගේ කෝපය මෙල්ල කිරීමට ඔබට ඇති හොඳම අවියයි. තවමත් ඔහුගේ නිවීමක් නොපෙනේ නම් ඔබ නිහඬ වන්න. අවස්ථාව මඟ හරින්න. එය ද ඉවසා ඉවසා බැරිම තැන පවුලේ සාමය වෙනුවෙන් කළ හැකි හොඳම සෙත් ශාන්තියකි.

- ප්‍රසන්නී ගී තරංගමා


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...