විශේෂ විධිවිධාන පනත සම්මත කර ගන්නවා | දිනමිණ

විශේෂ විධිවිධාන පනත සම්මත කර ගන්නවා

කුරුණෑගල අතිරේක බණ්ඩාර රත්නායක

ජනාධිපතිතුමා මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමැතිවරු සංවර්ධන විශේෂ විධිවිධාන පනතට කැමැත්ත පළකර ඇති බැවින්, එම පනත පළාත් සභාවලින් ප්‍රතික්ෂේප වුවත්, නැවැත පළාත් සභාවලට ඉදිරිපත් කර සම්මත කරවා ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවැසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ (29දා) කුරුණෑගල දී පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් මෙම පනත ගෙනඒමේ අරමුණ පළාත් සභා රටේ සංවර්ධනයට දායක කරගැනීම වන බව කීය. සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මුදල් පළාත් සභාවන්වලට නොමැති බවද හෙතෙම පැවසීය. පසුගිය වසරේ දී පළාත් සභා නවයේම ආදායම රුපියල් කෝටි 6600ක් වන නමුත් සමස්ත වියදම රුපියල් කෝටි 27100ක් වන බවද කීය. ඒ අනුව වාර්ෂිකව රුපියල් කෝටි 21000 ක මුදලක් මධ්‍යම රජයෙන් ලබා නොදුන්නහොත් පළාත් සභාවන් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවද හෙතෙම පැවසීය.

පළාත් සභාවලට සල්ලිත් නැත්නම් මධ්‍යම රජයත් එක්ක සහයෝගයෙන් වැඩ නොකර, මධ්‍යම රජය ගෙනෙන පනත් සම්මත කරන්නේ නැතුව ඉදිරියට යන්නේ කොහොමද? වයඹ පළාත් සභාවේ ගිය අවුරුද්දේ අදායම කෝටි 575 යි. වියදම කෝටි 2660 යි. එතකොට වයඹ පළාත් සභාවට මේ සල්ලි ටික මධ්‍යම ආණ්ඩුවෙන් දුන්නේ නැත්නම් පළාත් සභාව කොහොමද ඉදිරියට අරගෙන යන්නේ ? මම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් එක්ක කතා කළා. ඒ සමහර අය මේකට කැමැතියි. මම හිතන්නේ ජනාධිපතිතුමාත් මේ පනතට කැමැතියි. කැබිනට් මණ්ඩලයේ දී මේක අනුමත වුණා කියන්නේ කැබිනට් මණ්ඩලයේ ඉන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සමස්ත ඇමැති මණ්ඩලයම එකතුවෙලා තමයි මේක අනුමත කරන්නේ. නොදන්නාකමට තමයි පළාත් සභාවලින් මේ පනතට අකමැති වෙන්නේ. මම හිතන විදිහට මේවා නැවත පළාත් සභාවලට ඉදිරිපත් වෙයි. ජනාධිපතිතුමාගේ උපදෙස් මත මේ පනත අනුමත වෙයි. සමහර විට මහ ඇමැතිවරු හිතනවා ඇති මේකෙන් තමන්ගේ බලය ගිලිහෙයි කියලා. නමුත් එහෙම හිතන ප‍්‍රධාන ඇමැතිවරු කල්පනා කරන්නේ නැහැ තමන්ට මධ්‍යම ආණ්ඩුවේ උදව් නැතිව පළාත් සභාවක් ගෙනියන්න පුඵවන් වෙයිද කියලා. මධ්‍යම ආණ්ඩුවෙන් සල්ලි දුන්නේ නැත්නම් මහ ඇමැතිතුමා නිකම්ම නිකම් රූකඩයක් බවට පත්වෙයි.

නව අදහස දක්වන්න