මදුරුවාට දඩ නැත!

ඩෙංගු වසංගතය යළිත් උත්සන්න තත්ත්වයකට පත් ව තිබේ. මෙතෙක් යෙදූ උපාය මාර්ග හා උපදේශන සාර්ථක ප්‍රතිඵල අත්පත් කර දී නැති බවක් එයින් හැඟී යයි. ප්‍රකට මලල ක්‍රීඩිකාවක හා ඔලිම්පික් පදක්කම් ලාභිනියක වන සුසන්තිකා ජයසිංහට පවා ඩෙංගු වැලඳී අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූවා ය. නව වසරේ පළමු පැය විසිහතර තුළ ඩෙංගු රෝගීන් හාරසිය අනූ පහක් හමු වී ඇති බව ඩෙංගු මර්දන ඒකකය කියයි. බලපිටිය මූලික රෝහලේ ඩෙංගු රෝගීහු අසූ අට දෙනෙක් ප්‍රතිකාර ලබති. මේ අතරින් තිදරු මවක් මිය ගියා ය. ඇයගේ පුරුෂයා ද ඩෙංගු රෝගයෙන් අසාධ්‍ය තත්ත්වයට පත් ව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි. කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලින් ‍ඩෙංගු රෝගීන් විශාල පිරිසක් හමු වී ඇත.

ඩෙංගු මාරාන්තිකයි යනුවෙන් විශාල ප්‍රමාණයේ බැනර් හා පෝස්ටර් ගසා තිබුණ ද කිසිවකු ඒ ගැන සැලැකිල්ල දක්වා නැතැ’යි සිතන්නට පුළුවන. රෝගයෙන් වැළකීම සඳහා රෝග කාරක මදුරුවා විනාශ කළ යුතුය. මදුරුවා විනාශ කිරීමට නම්; පරිසරය ශුද්ධ - පවිත්‍රව තබා ගත යුතුය. සෑම නිවැසියකුම තම නිවෙස අවට පරිසරය සතියකට වරක්වත් ශුද්ධ - පවිත්‍ර කරන්නේ නම්; මදුරුවන් ව්‍යාප්ත වන්නේ නැත. එහෙත් මේ සරල කාරණය නීතිය මගින් හෝ ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයකට රට පත් ව තිබේ. එය කනගාටුවට කාරණයකි. අඩුම තරමින් තම දරුවන් ගැන සිතා හෝ ඩෙංගු තවාන් විනාශ කිරීමට වැඩිහිටි සමාජය පෙළැඹිය යුතු යි.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කරන වාර්තාවකට අනුව දිවයින පුරා ප්‍රදේශවලින් හඳුනාගත් ඩෙංගු තවාන් සහිත පරිශ්‍ර ලක්ෂයකට රතු නිවේදන නිකුත් කර තිබේ. අපේ ජනතාව තම සෞඛ්‍යය සම්බන්ධයෙන් දක්වන උනන්දුවේ තරම හා තම දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් දරන ආකල්පය මේ සිද්ධියෙන් තහවුරු වෙයි. ඩෙංගු තවාන් සහිත පරිශ්‍ර ලක්ෂයක් යනු මුළු රටට ම ඩෙංගු බෙදාහැරිය හැකි ආස්ථානයකි. මේවා හඳුනාගැනීම පමණක් ප්‍රතිඵලදායක වන්නේ නැත. එක අතෙකින් මේ තවාන් විනාශ කළ යුතුය. තව අතෙකින් ඊට අදාළ පුද්ගලයන් නීතිය හමුවට ගෙනැ’විත් ඔවුනට උපරිම දඬුවම් ලබා දිය යුතුය. මෙය සෙල්ලමක් හෝ විහිළුවක් හෝ ලෙස සැලකීමට කිසිසේත් ම ඉඩදිය යුතු නැත.

ඩෙංගු තවාන් ඇති කරන පුද්ගලයන්ට එරෙහි ව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටත් අදාළ දඩ මුදල රුපියල් විසිපන්දහස දක්වා වැඩි කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය යෝජනා කර තිබේ. එය අතිශය කාලෝචිත හා බුද්ධිමත් තීන්දුවක් ලෙස සැලැකිය හැකිය. රථවාහන වැරැදි සම්බන්ධයෙන් වන දඩය රුපියල් 25,000 ක අවම දඬුවමකට යටත් කිරීමට යෝජනා කළා පමණි. මෙතෙක් රියදුරු බලපත්‍ර රහිත ව වාහන පැද වූ සියලු දෙනා රියදුරු බලපත්‍ර ගැනීම සඳහා පෝලිම්වලට ගියහ. ඒ අය අතර වෛද්‍යවරු හා නීතිඥයෝ වැනි උසස් වෘත්තිකයෝ ද උන්හ. අපේ ජන සමාජය ඇතැම් නීති හා රීති හෑල්ලුවට ගෙන ක්‍රියා කරන ආකාරය මේ සිද්ධියෙන් පැහැදිලි වෙයි. ඩෙංගු ව්‍යාප්තිය සම්බන්ධයෙන් ද තද තීන්දු ගැනීම වැදගත් ය.

අපගේ අත්දැකීමට අනුව ජනතාව ඩෙංගු වැළැක්වීම සඳහා සහයෝගය ලබා දෙන්නේ අඩුවෙන් ය. නිදසුනක් කිවහොත් නිලධාරීන් ගෙවල් පරීක්ෂා කිරීමට ඒම ගැන නිවැසියන් තුළ කැමැත්තක් නැත. සමහරු එය අනවශ්‍ය කරදරයක් ලෙස සලකති. තව සමහරු නිලධාරීන් සමඟ ගැටුම් ඇති කර ගනිති. තවත් සමහරු මේ පරීක්ෂාව පෞද්ගලික නිදහසට බාධාවක් ලෙස සලකති. සමහර ගෙහිමියෝ ඩෙංගු පරීක්ෂාව සිදුවන දිනයේ දී නිවෙසින් පලා යති. මේ සියල්ලෙන් ම පෙනී යන්නේ ඩෙංගු වැළැක්වීම සම්බන්ධයෙන් නිසි අවබෝධයක් හා උනන්දුවක් සමාජය තුළ නැති බව ය. ඔවුන් කුලප්පු වන්නේ තමාගේ ම නිවසේ කෙනකුට ඩෙංගු රෝගය වැලඳුණහොත් පමණි. මේ වනාහී අපේ සමාජයේ පවත්නා පොදු දුර්වලතාවකි.

ආණ්ඩුව දැන් තීරණය කර ඇත්තේ ඕනෑම අවස්ථාවක දී ඩෙංගු පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට අවකාශ ලබා දිය යුතු බව ය. මේ සඳහා නීතිපති උපදෙස් පැතීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව ඉදිරියේ දී ඕනෑම අවස්ථාවක දී නිවෙස පරීක්ෂා කළ හැකි ය. ආයතන පරීක්ෂා කළ හැකි ය. ඒ මගින් රෝග කාරක මදුරුවා සහමුලින් ම විනාශ කිරීමේ අවස්ථාව ලැබෙනු ඇත යන්න අපගේ වැටහීම ය. ඇතැම් ආයතන පරීක්ෂාවට ගිය සෞඛ්‍ය බලධාරීන් හිස් අතින් ආපසු පැමිණි අවස්ථා තිබේ. හේතුව එම ආයතන බලධාරීන් පරීක්ෂණවලට අවස්ථාව ලබා නො දීම ය. මෙය යහපත් දෙයක් නොවේ. ඩෙංගු වැළැක්වීමට නම් සියලු නිවාස මෙන් ම සියලු ආයතන ද පරීක්ෂාවට ලක් කළ යුතු ය. එබඳු පරීක්ෂාවක් කළහොත් තව - තවත් අවදානම් කලාප හඳුනාගත හැකි ය.

මේ වනවිට පාසල් පද්ධතිය තුළ ඩෙංගු පැතිර යෑමේ අවදානමක් ඇතැ’යි වාර්තා වී ඇත. පාසල් නිවාඩු සමයේ කඩින් - කඩ වැසි පැවැති අතර පාසල් අවට පරිශ්‍ර පිරිසුදු කිරීමේ ක්‍රියාවලියකට නතු වී නැත. දැන් පාසල් වාරය යළිත් ආරම්භ වී ඇත. පාසල යනු ඉතා ඉක්මනින් අපද්‍රව්‍ය එකතු වන ස්ථානයකි. බොහෝ පාසල්වල අපද්‍රව්‍ය බැහැර කිරීමේ විධිමත් වැඩසටහන් නැත. ඒ අනුව පාසල් වතු තුළ, පිට්ටනි තුළ ඕනෑ තරම් ඩෙංගු තවාන් තිබෙන්නට පුළුවන. ඒ අතර දරුවන් ළඟද ඩෙංගුවලින් ආරක්ෂා වීමේ පිළිවෙතක් නැත. දරුවන් ඉතා ඉක්මනින් මේ රෝගයට ගොදුරු විය හැකි ය.

අධ්‍යාපන බලධාරීන්, මාපියන් සේම පාසල් සංවර්ධන සමිති ආදියත් වහා ම මේ ගැන අවධානය යොමු කළ යුතුව තිබේ. පාසල් පද්ධතිය තුළ ඩෙංගු ව්‍යාප්ත වුවහොත් එය බරපතළ විනාශයක් වනු ඇත.

2016 ඔලිම්පික් උලෙළ පැවැති බ්‍රසීලයේ රියෝද ජැනෙයි රෝ නගරය හා එම රට ද සීකා වසංගත රෝගයෙන් ඇලළී ගියේ ය. ලෝකය පුරා බොහෝ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සීකා රෝගයට බියෙන් තැතිගෙන සිටියෝ ය. එහෙත් බ්‍රසීලය ක්‍රියා කළ ආකාරයෙන් කිසිදු ක්‍රීඩකයකු හෝ කිසිදු ක්‍රීඩිකාවක හෝ මේ ‍රෝගයට ගොදුරු වූයේ නැත. බ්‍රසීල ආණ්ඩුව ඉතා විධිමත් සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළක් සැලැසුම් කළ අතර සෞඛ්‍ය බලධාරීහු එය අකුරට ම ක්‍රියාත්මක කළහ. මේ හැරෙන්නට බ්‍රසීලයේ විවිධ ආයතන වැඩසටහනට සහයෝගය ලබා දුන්නේ ය. ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගය තුරන් කළ හැක්කේ ද සහයෝගයෙන් ක්‍රියා කිරීමෙන් පමණි. ඒ සඳහා සාමූහිකත්වය අවශ්‍ය වේ.

ඩෙංගු රෝගය හා එම රෝගය ව්‍යාප්ත කරන මදුරුවා ගැන අවබෝධය පළමුව වැදගත් ය. රෝගය වැළැක්වීම සඳහා ආණ්ඩුව ගනු ලබන උපාය මාර්ග දෙවනුව වැදගත්ය. ජාතික ව්‍යසනයක් ලෙස සලකා මේ රෝගයට එරෙහිව සාමූහිකව ක්‍රියා කිරීම මේ සියල්ලට ම වඩා වැදගත් ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...