තාජූඩින්ගේ අස්ථි කොටස් සයිටම් ගෙනියලා

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුරේ අස්ථි කොටස් මා‍ලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් වෙත ගෙන ගොස් ඇතැයි හෙළි වූ බව රහස් පොලීසිය අද (21) අධිකරණයට දැනුම්දී තිබේ.

ඒ තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් විභාග වන නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදීය.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරුවන් ඔක්තෝබර් මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කර ඇත.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ වසීම් තාජුදීන්ගේ අස්ථි කොටස් කිහිපයක් අතුරුදන්වීම සම්බන්ධයෙන් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා පිළිබඳව ද පරීක්ෂණ පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව ඊට අදාළව කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ සේවකයින් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගත් බව සඳහන් කළ පොලිසිය එම ප්‍රකාශවලදී වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා විශ්‍රාම යාමට දින කිහිපයකට පෙර ශීතාගාරයේ තිබූ අස්ථි කොටස් අඩංගු පාර්සල් 15 ක් පමණ වාහනයකින් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇති බවට අනාවරණය වූ බව සඳහන් කර තිබේ.

ඒ අනුව සිදුකළ විමර්ශනයේ දී එම අස්ථි කොටස් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙත රැගෙන ගොස් ඇති බවට අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට තවදුරටත් දැනුම් දී ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් සැකකරුවන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගර ගත කිරීමට නියෝග කළ අතර පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.


අදහස් 1ක් ඇත

Pawu ahinsaka police inspector

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...