දුර දකිමු ද ගිනි තියමුද? | දිනමිණ

දුර දකිමු ද ගිනි තියමුද?

 පසුගිය දිනෙක, මගේ කවි පොත් , කෙටිකතා පොත් පිළිබඳ පුවත්පත් සඟරාහි පළ වු විචාර හා අනෙක් ලිපි සියල්ල වෙන් වෙන්ව එකතු කොට තබන්නෙමැයි සිතා පැ‍රැණි වාර සඟරා හා පුවත්පත් පිටු සොයනා කල විවරණ නම් නිදහස් මාසික සංග්‍රහයේ පිටපතක් හමු විණ. 1995 මැයි -ජූලි කලාපයෙහි කවරය සැරසී තිබුණේ වාසුදේව නානායක්කාර තරුණ මන්ත්‍රීතුමාගේ එදවස ඡායාරූපයකිනි. එහි බහාලූ ශීර්ෂය ‘දුර දකිමුද ගිනි තියමුද’ යන්නයි. එස්.ජී.පුංචිහේවා නිලාර් එන්.කාසිම් ,වසන්ත දිසානායක හා ප.ද.රා ප්‍රේමවර්ධන විසින් සංස්කරණය කරන ලද විවරණ මෙම කලාපයෙහි රැය පහන් වේ නම් මගේ කෙටි කතා සංග්‍රහය පිළිබඳ විචාරයද ඇතුළත්ව තිබිණ. සඟරාවෙහි වූ බොහෝ ලිපි හා සංවාද යුද්ධය මුල් කොටගත් ඒවාය.

වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා සමඟ සංවාදයෙහිද යුද්ධය හා සාමය පිළිබඳ කතා බහ කොට තිබිණ. ජනතාවට සාමය, ප්‍රභාකරන්ට යුද්ධය මේ කලාපයෙහි සැකසූ වැකිය වීය. එහි දේශපාලන විවරණය ‍මොන සාමයක්ද දැන් අවශ්‍ය යුද්ධයයි මාතෘකාවෙන් විය. දේශපාලන විවරණය ලියූ ලේඛකයාගේ ලිපියෙහි එක් තැනක මෙසේ සඳහන්ය. “නලින්ද සිල්වා, ගුණදාස අමරසේකරලා ,බෙංගමුවේ නාලකලා, එඩ්මන් රණසිංහ වැන්නන් බ්‍රිගේඩියර් තනතුරුවලට පත් කර, හමුදාවේ දේශපාලන උපදේශකයන් ලෙස පත් කළ හොත් මේ යුද්ධය දිනාගැනීම එතරම් කජ්ජක් නොවනවා නොඅනුමානය. “මෙකී උත්‍ප්‍රාසාත්මක ප්‍රකාශයෙහි සඳහන් ඇතැම් චරිත, යුද්ධය ජය ගැනීමෙන් පසුව වුවද ක්‍රියා කරන්නේ යුද්ධය පැවැති සමයේ ඔවුන් දැරූ ආකල්පවලින්ම නොවේද? කියාත් සිතීම බැහැර කළ නොහැකිය.

එහෙත්, අද දවසේ යුද්ධය හා සාමය යන වචන භාවිතයෙන් ඈත්වී ඒ වෙනුවට නිතර අසන්නට ලැබෙන ජාතික ඒකාබද්ධතාව හා ප්‍රතිසන්ධාන, සංහිඳියාව වැනි වචන, නිරතුරුවම අසන්නට ලැබේ. එහෙත් මේ වචන සැබෑ අර්ථයෙන්ම ක්‍රියාවට නැංවීම හෝ, ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමට හෝ ගනු ලබන ක්‍රියාමාර්ග කොතෙක් දුරට සාර්ථක වී ඇද්ද යන්න ප්‍රශ්නයකි. එකම රටක උපන් සහෝදර සහෝදරියන් සේ ජීවත් වනවා වෙනුවට ජාතින් වශයෙන් බෙදී පළාත් වශයෙන් සීමා වෙන්කොට ජීවත් වීම ජීවිතය සේ සලකන දකුණෙහි මෙන්ම උතුරු නැගෙනහිර ද වෙසෙන ඇතැම් කොටස් පිළිබඳ උදා වූ නව වසරෙහි මා මතකය අලුත් වූයේ කිම්දැයි නොදනිමි.‍ සිංහල දෙමළ, ජාතීන් අතර විසඳාගත නොහෙන මහා ප්‍රශ්නයක් ඇතැයි” මට දැනෙන්නේ 1958 තරම් ඈත වකවානුවකය. යන්තම් වයස දහයක් පමණ බාල කාලයේදී සිංහල දෙමළ අරගලයක, එකිනෙකා මරා ගැනීමක තතු වැටහුණු බව සිහියට නැගේ. බාල කාලයේ අප දැන සිටි , ගනුදෙනු කළ දෙමළ චරිත, මතකයට එයි. බෙලිඅත්තේ පොදු වෙළෙඳ පොළෙහි දුම්කොළ හා සුරුට්ටු විකුණු යාපනයේ දෙමළ මිනිසා ජීවත්ව සිටියේ සිංහල පවුල් රාජධානියක් මැදය.

උදා කාලයේදී වෙළෙඳ පොළෙහි සීනි කඩල, මුරුක්කු සීනි පොල් කොහු වැනි රසකැවිලි විකුණූ දෙමළ මනුස්සයාද හවසට වඩේ විකුණූ දෙමළ මනුස්සයාද බාල කලම හඳුනා ගත් දෙමළ චරිතයි. බෙලිඅත්තෙන් ගන්දර පදිංචියට පැමිණ මාතර සාන්ත සර්වේෂයෙහි අකුරු කරද්දී පාසලට හැරෙන එලියට් පාර ඉදිරිපස සයිවර් කඩයද විවේක වේලාවේදී වැසූ යකඩ ගේට්ටුව පිටුපස සිට සීනිකූරු හා වඩේ විකුණූ දෙමළ ආච්චීද අද මෙන් මතකය. 1958 එක්තරා දවසක (මාසය මැයි බව දැන් දනිමි) පාසලට ඉදිරිපිට සයිවර් කඩය කුඩුපට්ටම් කොට තිබෙනු දුටුවෙමි. මාතර තංගල්ල මහා මාර්ගය පුරා විසිරී ගිය වීදුරු කැබලි විසිවී ගොස් තිබුණු වඩේ භාජන රිදී පාට වතුර බොන තඹලේරු ද දස අත විසිරී තිබෙනු දිටිමි. රාත්‍රියේදී සයිවර් කඩය කොටුවේගොඩ සිංහල බෞද්ධයන් විසින් සුණු විසුණු කොට තිබිණ.

සිදු වී ඇත්තේ කුමක්ද යන්න පිළිබඳ වැටහීම් නොවුණද මාතර නගරයේ දෙමළ මිනිසුන් ගේ කඩ සාප්පු කඩා බිඳ දමා ඒවායේ වූ වටිනා භාණ්ඩ හා මුදල් පැහැරගත් වාර්තා ඇසිණි. ග‍ඟෙන් එගොඩ තිබූ කොයිල්පිල්ලේ ගේ පරණ යකඩ පත්තර සුන්බුන් එකතු ‍කළ කඩයටද සයිවර් කඩයට අත්ව තිබූ ඉරණමම අත්වු බව කියැවිණ. කොයිල්පිල්ලේ ගේ ව්‍යාපාරික ස්ථානයෙහි වලලා තිබූ කාසිවලින් පිරුණු විශාල භාජන, මැරයන් විසින් බෙදා හදාගත් බවද අසන්නට ලැබිණ. පාසල නැවත දන්වන තෙක් වසා දැමීම නිසා කලින්ගෙදර එන්නට ලැබිණ. ගන්දර රබර් ගහහන්දිය අසල, ප්‍රධාන පාර හරස්කොට බාධකයක් දමා මාතරට එන හා කතරගම දෙසට යන වාහන පරික්ෂා කරනු දිටිමි. හන්දියේ පුද්ගලික මෝටර් රථ හයර් කරන්නන් බැරියරය භාරව සිටියහ. ගෙදර පැමිණි පසු අම්මා කියු පුවතකින් දහවල් ආහාරය පවා එපා විණ. උදා කාලයේදී වාහන පරික්ෂාවේදී කතරගම දෙසට යමින් සිටි වයසක වයෝවාද්ධ දෙමළ ජාතිකයෙකු බසයෙන් බස්සවාගෙන පහර දෙමින් මුහුදු වැල්ලට ගෙන ගොස් ගෝනියක දමා මුහුද මැද ගැඹුරු දියට වීසි කළ බව අම්මා වාර්තා කළාය. “අයියෝ සාමී සාමී කිය කියා වැන්දලු ඒ මනුස්සයා හන්දියේ තිරිසනුන්ට” පුංචි මගේ සිතට දුකක් දැනුණා මිස අන් හැඟීමක් නොවිණ.

පාසල් සමයේදීම අත්විඳි අමිහිරි අත්දැකීම සුන්දර මතක බවට පත් වන්නේ සරසවියෙන් පිටවී පළමු රැකියාව ලද සේවා ස්ථානයේදීය. ජාතික ලුණු සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ සේවය කළ සෙල්වනාදන් ,ජෙයබාලසිංහම් ජීවකාන්තා මිසිස් පොන්නදුරේ වැනි දෙමළ මිතුරු මිතුරියන්ට අමතරව, බහුතර දෙමළ මිතුරන් හමු වන්නේ එලිෆන්ට්පාස් ලුණු ලේවාය හා සම්බන්ධිත රාජකාරි කටයුතුවලදීය. සැබවින්ම ඔවුන් කාරුණාවන්ත , ආගන්තුක සත්කාරයට ප්‍රිය සුහදශීලි මිනිසුන් බව අත්දැකීමෙන්ම දනිමි. මන්නාරම ලුණු ලේවායේ වාර්ෂික තොග ගණනයට ගිය මා තොග සමීක්ෂණ මණ්ඩලයේ සභාපති වැලිකල සමඟ නවාතැන් ගත්තේ එහි කාර්යභාර නිලධාරි කුමාරස්වාමිගේ නිවසෙහිය. සතියක් පමණ ඔහුගේ නිවසෙහි රාත්‍රි කල ගෙවුණු සුන්දර අතීතය මිහිරි මතකයක්ම වේ‍. පාලාවි ලේවායේ දී හමුවන වෘත්තීය සමිති ක්‍රියාකාරික මුරුගපිල්ලේ පාලනාධිකාරිය බය ගන්වා ගෙන සිටි ද්‍රවිඩ නිලධාරියෙකි. රාජ්‍ය සංස්ථා සේවය මඟින් ජීවිතයට සමීප කළ ද්‍රවිඩ ජාතික හිතවතුන් හිතවතියන් ගේ චර්යාවන් ළෙන්ගතු බව ජීවිතයට කා වැදී ඇති බැවින් ඔවුන් තර කුමන ‍හෝ හේතුවක් නිසාද සිංහල ජීවිත ඝාතනය කරන්නට තරම් කෲර සිතැත්තන් සිටිනා බවක් පිළිගැනීමට මැලිවෙමි. එහෙත් යථාර්ථය එය නොවේ.ඔවුන්ගේ ඇතැම් පාර්ශ්ව නිරායුධ අහිංසක සිංහල පවුල් දහස් ගණනින් ඝාතනය කළ බව ඉතිහාසයෙහි සටහන් වී ඇත. ඔවුන් තුළ සිංහල සහෝදර ජනතාව කෙරෙහි ඒ” සා විශාල වෛරයක් හට ගත්තේ 1983 කළු ජූලියේ අමිහිරි හා අවාසනාවන්ත අත්දැකීම් මතින් විය නොහැකිද කියා සිතමි. පළමු වරට ද්‍රවිඩ සංස්ථා සභාපතිවරයෙකු (එම් .සිවනාදන්) යටතේ සේවය ඇරැඹූ මා 80 දී පී.ජේ. අන්තෝනිපිල්ලේ නම් කළමනාකරු ගේ නියෝජ්‍ය කළමනාකරු වූයේ ටයර් සංස්ථාවේ දීය. දෛවයේ කුමන හෝ හාස්කමකට මෙන් යළිඳු ද්‍රවිඩ මිතුරන් ඇසුරට වාසනාව ලබන්නේ 81 සිට සිමෙන්ති සංස්ථාවේ රැකියාවට ගිය පසුවය. ලුණු සංස්ථාවට මෙන්ම සිමෙන්ති සංස්ථාවටද පාලාවියේ මෙන්ම උතුරේද කම්හල් තිබීම ද්‍රවිඩ මිත්‍ර සමාගමය තර කළ දුර්ලභ මොහොතක් සේ හඟිමි.

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව සතු ප්‍රධාන කම්හල කන්කසන්තුරේහි පිහිටා තිබීම උතුර දකුණ යා කළ පාලමක්වීය. 1981 දී සංස්ථා සේවයට එක්වූ පසු කළමනාකාරවරුන් විසින් කම්හල් චාරිකා කොට නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ මූලික දැනුමක් ලබා ගත යුතු බව පවසමින් අංශ ප්‍රධානී සැපයීම් කළමනාකර එස්.පී. සමරසිංහ ගේ කාලෝචිත කළමනාකරණ තීරණය නිසා 83, ජූලි කලබල උග්‍ර වීමෙන් වැසුණු කන්කසන්තුරේ සිමෙන්ති කම්හල චාරිකාව ඊට පෙර සපුරන්නට ඉඩ ලැබිණ. රාත්‍රී දුම්රියේ නිදන මැදිරියේ ‍කොට‍ුවට ආ ගමනද මතකයේ වේ. රාත්‍රි දුම්රියට ගොඩ වී මැදිරියේ නිදන්නට සැරසෙත්ම ඉහළ ඇ‍ඳෙහි සිටි ද්‍රවිඩ මහත්මයෙකු මගෙන් විමසුවේ රාත්‍රි කෑම තිබේද කියායි. ඔහු බන්ධනාගාරයේ සේවය කළ ද්‍රවිඩ ජාතික රාජ්‍ය නිළධාරියෙක් වීය. කන්කසන්තුරය ගමනින් මාසයකට හෝ දෙකකට පමණ පසුව 83 ජුලි 24 දා සුපුරුදු ලෙස සංස්ථාවේ සේවයට ගියේ එදින දහවල කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල ටෙන්ඩර රැස්වීමකට සහභාගි වීම ද සිහිපත් කොට ගෙනය. ගාලුපාර බම්බලපිටිය ,අල්මනා ගොඩනැගිල්ලෙහි පිහිටි ප්‍රධාන කාර්යාලයට යන අතරතුර ,නගරය අමුතු වෙසක් ගත් ස්වභාවයක් දැනිණ. තැන තැන එක් රැස්වුණු ජන කොටස්, ඔවුන්ගේ උස් හඬවල් ,සිතට භීතියක් ගෙන විසීය. ටෙන්ඩර් මණ්ඩල රැස්වීමට යාමට සූදානම් වී අවශ්‍ය ලිපිගොනු සහිතව මාවෙතට එන්නී සැපයීම් නිලධාරිණී යෝගාදේවී හරිස්චන්ද්‍ර (සුබ්‍රාමානියම්) ය. ඈ දැකුම්කළු ස්ත්‍රියකි. මැදි වියේ වූවාය. දිනපතා උදයේ පිච්ච වලින් වරල සරසා නළලේ තිලකයක්ද තබා කාර්යාලයට එන්නීය. ගාලු පාරට පැමිණ නිල රියට නගින්නට පෙර යෝගා කළේ වරලෙහි වූ පිච්ච මල් වැල ගලවා දැමීමය. දෙවනුව නළලෙහි වූ තිලකය අතින් පිස දැමීමය. මම කිසිත් නොදොඩා බලා සිටියෙමි. ඩික්මන්ස් පාර ඩුප්ලිකේෂන් පාර එපිටින් අහසට නැගෙන කළු දුම් කඳ දෙපස ගිනි ජාලාද මම දකිමි. යෝගාගේ මුහුණු බියෙන් පිරීතිරී ගොසිනි. ගංගාරාමය ආසන්නයට පැමිණෙන කල යෝගා කතාකරන්නීය. මිස්ටර් ගලප්පත්ති කැන් අයි ටේක්මයි චයිල්ඩ් ෆ්‍රොම්ද ස්කූල් Can I take my child from the school.වාහනය බිෂොප් විද්‍යාලය අසල නැවැත්විණ. කඩිනමින් පාසලට ගිය යෝගා ගිය සැණින් නිලඇඳුමින් යුතු කුඩා දියණියටද සමඟ රියට ගොඩවූවාය. ගංගාරාමය අසල පිහිටා තිබුණු කර්මාන්ත හා විද්‍යා කටයුතු අමාත්‍යාංශ කාර්යාලයේ අපි දෙදෙනා ලිපිගොනුවද සූදානම් කොට රැස්වීම් ඇරඹෙන තෙක් බලා සිටියෙමු. රැස්වීමක් ඇරැඹෙන කිසිඳු සංඥාවක් නොපෙනේ. එහි සිටි කාලය තුළ යෝගා සිව් වතාවක් කාර්යාල යේ කෙළවර තිබූ wash room වෙත ගියාය. ඇගේ මුහුණෙහි වු බියද චකිතයද මම දකිමි. කිසිවක් නොදන්නා දියණිය නිහඬව සිටින්නීය. අවසන රැස්වීම කල්දැමූ පුවතින් පසු යළි අප බම්බලපිටියට ගමන් ඇරැඹී මුල Yoga are you ok මම බියෙන් තැතිගෙන සිටින යෝගාගෙන් විමසීමි. ඈ මඳ සිනාවක් පා නිහඬ වූයේ ඇගේ සිත බියෙන් පහව ගොස් නැතැයි හඟවමින. දහවල් දොළහ වන කල කාර්යාලය වැසිණ. සියලු ප්‍රවාහන පහසුකම් ඇන හිට තිබිණ. සිංහල බෞද්ධ දේශප්‍රේමීහු තම ජාත්‍යාලය මොනවට ඔප්පු කරමින්, ද්‍රවිඩ ව්‍යාපාරය ස්ථාන ගේ දොර මංකොල්ල කෑම ද අහිංසක ද්‍රවිඩයන් ඝාතනයද අරඹා තිබින. 83 කළු ජූලිය, 3000 කට අධික ද්‍රවිඩ පිරිසකගේ ජීවිත බිලි ගත් බව කියවේ. ඔවුන්ගෙන් ඇතැමෙක් අමු අමුවේ පුළුස්සා මරා දැමිණ. වාහනයක් නොමැති බැවින් අලෙවි කළමනාකාර මිත්‍ර චන්ද්‍රරත්න හා පා ගමනින් නුගේගොඩට එන අතරතුර දැවෙමින් තිබූ මෝටර් රථද එතුළ වූ මිනිසුන්ද දිටිමි. හැව්ලොක් පාර පාමන්කඩ පාර බෙදෙන හන්දියේ වූ බෝ සෙවණ යට මෝටර් රථයක් තුළ සිරුරක් දැවෙනු අපි දෙදෙනා දුටුවෙමු. බෝ සමිඳු සේ එහි වැඩ සිටි බුදු පිළිම වහන්සේ හෝ එය නොදුටුවා විය යුතුය. යෝගා පිළිබඳ සිහි වීමෙන් මා සිත යළි යළි දුකින් පිරේ. පසුදා කාර්යාලයට ගිය පසු දැනගන්නට ලැබුණේ බියෙන් තැතිගෙන සිටි යෝගා හා දියණිය නිවසට ඇරලවීමේ වගකීම එදා සභාපතිව සිටි චන්ද්‍ර ද අල්විස් මහතා විසින් භාරගත් බවයි. සුපුරුදු ලෙස වැල්ලවත්ත ජාත්‍යාල සිංහල බෞද්ධ මැරයෝ සභාපතිගේ රිය නවත්වා තිබිණ. ඔවුන් එකෙකුට වචනයක් හෝ පවසන්නට ඉඩක් නොතබා සද්දන්ත පුරුෂයෙක් වූ චන්ද්‍ර අල්විස් සභාපතිතුමා වාහනයෙන් බැස මැරයන් ගේ මවුවරුන්ගේ සිහිකොට පැවසූ වදනකින් දෙකකින්

ඔවුන් බියගුලු සුනඛ පිරිසක් සේ සැඟව ගිය බව පසු දිනෙක සභාපතිතුමා, විසින් පවසනු ලදී. ඉන් පසුව යෝගේශ්වරී සිමෙන්ති සංස්ථාවේ රැකියාවට නොආවාය. ඈ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ පුවත පසුව අසන්නට ලැබිණ. පාසල් වියේදී මා ඇසු දුටු අමිහිරි අත්දැකීමකට නොදෙවෙනි වූ සෝබර අත්දැකීමකට මුහුණ දෙන්නට යෝගේශ්වරී නම් ද්‍රවිඩ කාන්තාව නිසා සිදු විය.

මරණය හමුවේ මිනිස් සිතක හට‍ ගන්නා බියට චකිතයට තිගැස්මට දෙමළ හෝ සිංහල යන භේදයක් නොවේ. මරණය හමුවේ අපි සියල්ලෝම අසරණ වෙමු. 83 නිරපරාදේ මියගිය ද්‍රවිඩ මවුවරුන් , පියවරුන්, දරුවන් මෙන්ම එදා මෙදා තුර යුද්ධ වී නිමාවන තෙක් කුරිරු එල්.ටී.ටී.ඊ ඝාතකයන්ට ගොදුරු වූ සිංහල මාපියන් දූ දරුවන්ගේ ජීවිත වටිනාකම කියා ලියා නිම කළ නොහේ. දෙපසින්ම එක පසක හෝ අත්දැකීමක් ලද කවරෙකුගේ සිතෙහි වුව යළි කිසිදිනෙක මිනිස් ඝාතනයක් පිළිබඳ වෛරී සිතක් පහළ විය නොහැක. රටත් මවුබිමත් ගිනි නොතබා දුර දැකීමට උතුරේ ද්‍රවිඩයන්ට මෙන්ම දකුණේ බහුතර සිංහල බෞද්ධයන්ටද කාලය එළඹ ඇති බව සිහි කරෙන අපූරුව දෙසැම්බර් 17 වනදා චාවකච්චේරියේදී රිය අනතුරකින් මිය ගිය දකුණේ සිහලුන් දාහත් දෙනා වෙනුවෙන් උතුරේ සහෝදර දෙමළ ජනතාව පෑ මානවීය දයාව පිළිබිඹු වූ සිදුවීමකින් දුටුවෙමු. ඔවුහු කලුතර මිල්ලනියෙන් විනෝද චාරිකා ගොස් අකල් මරණයට ගොදුරු වූවන් වෙනුවෙන් පහනක්, ඉටි පන්දමක් දැල්වූයේ මලක් පුදා යාඥා කළේ මිනිස් ජිවිතයක වටිනාකම දන්නා සැබෑ මිනිසුන් ගැහැනුන් ලෙසය. යාපනය සරසවියේ දී එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සැමරූ විද්වතුන් හා ශිෂ්‍යයකුගේ මෙන්ම දකුණේ ජාතිවාදී වලිප්පුවෙන් පෙළෙන ඊනියා දේශපාලනඥයන්ගේද උතුරේ දේශපාලනඥයන්ගේද ඇස් ඇරවීමට චාවකච්චේරියේ අහිංසක ද්‍රවිඩ ජනකොටස් සමත් වූ බව මගේ විශ්වාසයයි.

බුද්ධදාස ගලප්පත්ති
[email protected]

නව අදහස දක්වන්න