කඩවර පූජාව වැහි පිරිත

 ඉදිරියේ දී දැඩි නියං සමයක් ඇති විය හැකි බැවින් ‍ඒ සඳහා කල් තබා සූදානම් විය යුතු බවට කාලගුණ විශේෂඥයෝ අනතුරු ඇඟවූහ. මේ පිළිබඳ ජනමාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් ලැබීම පිළිබඳ අප සතුටු විය යුතුය. ආපදා කළමනාකරණ ප්‍රතිපතියක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි පෙළඹවීමක් ඇති කිරීමේ අවස්ථාවක් එයින් උදා වේ.

එහෙත් ඊට වඩා ප්‍රමාණයක් ලැබුණු ප්‍රවෘත්තියක් දැක මම අන්ද මන්ද විමි. එනම් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ගොවිජන සේවා නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් හා මහජන නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් අනුරාධපුරයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමය. සාකච්ඡාවට විෂය වූයේ නියගය දුරුකර වැසි ලැබෙන ලෙස ප්‍රාර්ථනා කරමින් ජය ශ්‍රී මහා බෝධිය අසල සතියක කාලයක් පිරිත් සජ්ඣායනා කිරීමය. මේ වැඩසටහන රාජ්‍ය දේපළ පාවිච්චි කරමින් සිදු කරනු ලබන්නකි.

පිරිත් බලෙන් වැසි ලැබිම සත්‍යයක් නම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව යනාදී රාජ්‍ය ආයතන රුපියල් කෝටි ගණන් වැය කරමින් නඩත්තු කිරීමේ පලක් නොමැත. විශේෂ භික්ෂු කණ්ඩයාමක් රජයේ වියදමින් නඩත්තු කරමින් වැසි නොලැබෙන පළාත්වලට යවා (වැඩම කරවා) පිරිත් සතිය දියත් කළ හැකිය. පිරිත් කීමෙන් ස්වභාව ධර්මයේ නියාම වෙනස් කළ හැකි නම් වැසි වැස්සවීම මෙන්ම ගංවතුර පාලනය සඳහා ද මේ ක්‍රමය යොදා ගත හැකිය. එමෙන්ම මේ අගනා සොයා ගැනීම ලංකාවට සීමා නොකර ලොවට හඳුන්වා දීම ඔස්සේ මිහි මඩලේ ජීවත් වන මිනිසා , ගහ කොළ සතා සීපාවා යන සියලු ජීවින්ට සෙත සැලසිය හැකිය. නියඟය සහ ගංවතුර නිසා සිදුවන හානි වළක්වා ගැනීමෙන් එම රටවල ආර්ථිකය ද ශක්තිමත් කළ හැකිය.

ස්වභාව ධර්මයේ නියාමයන්ට අනුගත වෙමින් ජීවත් වූ ආදි කල්පිත මිනිසා ගුප්ත බලවේග කෙරෙහි විශ්වාසයක් තැබීය. මේ නිසා ඇදහිලි විශ්වාස හා සිරිත් විරිත් සම්ප්‍රදායක් ඇති විය. එම ඇඳහිලි අනුව කටයුතු කිරීමේ පුද්ගලික නිදහසක් මිනිසාට අවශ්‍ය වේ. ඒවා බලහත්කාරයෙන් නැවැත්වීම සුදුසු නොවේ. එහෙත් විද්‍යාත්මක සොයා ගැනීම් හා තාක්ෂණික ජයග්‍රහණ අනුව මිනිස් චින්තනය අරක්ගෙන තිබූ ඇදහිලි සම්ප්‍රදායෙන් විශාල ප්‍රමාණයක් ඉවත් විය. ළි‍ඳෙන් වතුර බී ගඟට ආවඩන්නාක් මෙන් විද්‍යාවේ හා තාක්ෂණයේ පිහිටෙන් තම අවශ්‍යතා ඉටු කර ගන්නා ඇතැම්හු තවමත් එහි ගෞරවය දෙවියන්ට හෝ වෙනත් නොපෙනෙන බලවේගයකට පුද දෙති. මේ ලක්ෂණය පසුගාමී සමාජයක් නිර්මාණය වීම කෙරෙහි බලපෑම නොවැළැක්විය හැක්කකි. එමෙන්ම එය මිනිසාගේ ඉදිරි ගමනට බාධාවකි. එය මිනිසාගේ ශිෂ්ටත්වය පිළිබඳ ගැටලුවකි.

නිදහස් ඉන්දියාවේ පළමු අගමැති ශ්‍රී ජවහල්ලාල් නේරු දැඩි ප්‍රතිපත්තියක් මත පිහිටමින් මිථ්‍යාවට රාජ්‍ය අනුග්‍රහය දීමෙන් වැළකී සිටියේ ය.

ඉන්දියාව විවිධ මිථ්‍යා මත අදහන්නන් සුබල රටක් වුවද එහි රාජ්‍ය නායකධුරයට විද්‍යාඥයන්, කවීන් හා දාර්ශනිකයන් පත් වූයේ මහත්මා ගාන්ධි, ශ්‍රීනේරු, රබීන්ද්‍රනාත් තාගෝර් සහ අම්බෙඩ්කාර් යනාදී විශිෂ්ට බුද්ධිමතුන්ගේ දායකත්වයෙන් පෝෂණය වුණ බුද්ධිමය සම්ප්‍රදාය නිසාය. ඉන්දියානු ජාතික ව්‍යාපාරය එම බුද්ධිමය සම්ප්‍රදායේ ප්‍රතිඵලයකි.

එහෙත් අපේ රටේ නායකයෝ ප්‍රසිද්ධියේ මිථ්‍යා ඇදහිලි පසු පස යමින් ජනතාව ද එම මාවතට ඇද දමති. කපටි පූජකයෝද ඊනියා දෛවඥයෝ ද රාජ්‍යානුග්‍රහය ලබමින් රට චින්තනමය අරාජිකත්වයට ගෙන යති. ඔවුන්ට ඒ සඳහා වරදාන ද ලැ‍බේ. නම්බුනාම හිමි වේ. මඩි තර කෙරේ. සංස්කෘතික අමාත්‍යාංශය මහජන බදු මුදලින් නැකත් කමිටුවක් නඩත්තු කිරීම ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදසුනයි.

බුද්ධත්වය ලබා ගැනීමේ දී ගෞතමයන් පිට දුන් බෝධිය ලෙස ජය ශ්‍රී මහ බෝධිය කෙරෙහි විශාල ගෞරවයක් බොදුනුවන් සිත්හි පවතී. එහෙත් ඊට බාරහාර වීමෙන් හා පිරිත් කීමෙන් සිතු පැතූ දේ ඉටු වේ යැයි විශ්වාස කිරීම මිනිස් බුද්ධියට කෙරෙන නින්දාවකි. බුද්ධ ධර්මය වෙනුවට මිථ්‍යාව සරණ යෑමකි. එය පුද්ගලික ව ඇඳහිම හා පිළිවෙත්වල යෙදීම නින්දාවට ලක් කළ යුතු නැත. එහෙත් රාජ්‍ය දේපළ යොදවා එවැනි ‍ගෝත්‍රික සම්ප්‍රදායන් පවත්වාගෙන යෑම බරපතළ වරදකි. ජනතා බදු මුදල් අයථා පරිහරණයෙහි යෙදවීමකි. ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා පරමාධිපත්‍යය ගරු කරන රට වැසියකු හැටියට ඊට මගේ විරෝධය පළ කරමි. කෘෂිකර්ම අමාත්‍යාංශය කඩවර පූජාව පැවැත්වීය. එහි ම තවත් පියවරක් ලෙස වැසි පිරිත පැවැත්වේ. ඊළඟ පියවර ලෙස රටටම බලියාගයක් පැවැත්වුව හොත් පුදුමයට පත් නොවෙමි. 

තිඹිරියාගම බණ්ඩාර
thimbiri@gmail.com


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...