අදටත් වේදිකාවේ වලංගු ස්ටැනිස්ලාව්ස්කිගේ රංග ක්‍රමය | දිනමිණ

අදටත් වේදිකාවේ වලංගු ස්ටැනිස්ලාව්ස්කිගේ රංග ක්‍රමය

 වේදිකා රංග සම්ප්‍රදායන් දෙකක් ලෝපුරා ප්‍රකටව පවතිනවා. එකක් ස්ටැනිස්ලාවුස්කිගේ තත්විධ රංග ක්‍රමය හෙවත් රූපණ විධි ක්‍රමය. මේකට ඉංග්‍රිසියෙන් ‘මෙතර්ඩ් ඇක්ටිං’ කියා කියනවා. මෙහි නිර්මාතෘවරයා රුසියානු ජාතික කොස්ටාන්ටින් ස්ටැනිස්ලාවුස්කි. ඔහු පසුගිය සියවසේ ලොව විශිෂ්ට ගණයේ වේදිකා නළුවෙක් වගේම නිෂ්පාදකවරයෙක්.

අනිත් රංග සම්ප්‍රදාය තමයි බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් විසින් අනුදක්නා ලද එපික් රංග රීතිය. මේ දෙකම එකිනෙකට වෙනස්. පරස්පරතා බහුලයි.

ස්ටැනිස්ලාවුස්කිගේ රූපණ විධික්‍රමය ඇරිස්ටෝටල්ගේ රංග සිද්ධාන්තවලම එක්තරා වර්ධනයක් විදියට දකින්න පුළුවන්.

ස්ටැනිස්ලාවුස්කිගේ රූපණ විධික්‍රමය බිහිවීමේ පසුබිම දැනගැනීම ඉතා වැදගත්. එකල රුසියාවේ පැවතුණේ පිරිහුණ නාට්‍යකලාවක් වේදිකාව මත ප්‍රධාන වුනේ අධ්‍යක්ෂවරයා නෙමේ නළුනිළියන්. ඔවුන් නාට්‍යයෙක පෙළ රචනයේ හරය අර්ථාන්විතව ග්‍රහණය කරගත්තේ යැයි කියන්ට බැහැ. ඇන්ටන් චෙකෝව්ගේ ‘මුහුදු ලිහිණියා’ (සීගල්) නාට්‍යයට අත්වුණෙත් එබඳු ඉරණමක්. නාට්‍ය පෙළ සාර්ථක වුණත් නිෂ්පාදනය දුර්වල වුණා. මෙයින් චෙකෝව් මොනතරම් කලකිරීමකට පත්වුණාද කිවහොත් ඔහු නාට්‍යාගාරයෙන් ඉවත්ව මුළු රැය පුරාම පීටර්ස් බර්ග් නගරයේ ඉබාගාතේ ඇවිද්දා. ඒ විතරක් නෙමෙයි ඔහු තම මිතුරකුට ලිපියක් යවමින් කියා සිටි‍ෙය් තමා තව අවුරුදු සීයකටවත් නාට්‍යයක් නොලියන බවය.

චෙකෝව්ගේ නාට්‍යය අසාර්ථක වූණේ ඇයි කියන එක කල සිටි නාට්‍යකලා විචාරකයන් විමසා බැලුවා. ඔවුන්ට පෙනී ගිය කාරණාව වූයේ මෙහි අසාර්ථකව ඇත්තේ පෙළ නොව එහිලා යොදාගත් රංග රීතිය බවය. නෙම්රොවිච් චෙකොව්ගේ මෙහිදී වැදගත් වන නාට්‍යකලා විද්වතෙක්. චෙකොව්ගේ ‘මුහුදු ලිහිණියා’ ස්ටැනිස්ලාවුස්කිගේ නිෂ්පාදනයක් ලෙස යළි එළිදක්වන්ට මැදිහත් වුණේ ඔහු. ‘මොස්කෝ ආර්ට් තියටර්’ විවෘත කිරීමේ සමාරම්භක නාට්‍යය ලෙස ‘මුහුදු ලිහිණියා’ රඟ දැක්වුණ. එවිට එය සාර්ථක නිෂ්පාදනයක් බවට පත්වුණා.

එතෙක් නළු නිළියන්ට තිබුණු ප්‍රමුඛතාව නිෂ්පාදකවරයා ගේ ආධිපත්‍යයට යටත් වුණා. නළු නිළියන් රඟපෑවේ නිෂ්පාදකවරයාගේ විධානයන් මත. චෙකෝව්ගේ නාට්‍ය පෙළින් මතුවන ගැඹුර ඥානනය කරගත් නළු නිළි පිරිසක් ‘මුහුදු ලිහිණියා’ හී රඟපෑවා.

‘මුහුදු ලිහිණියා’ හි සාර්ථකත්වයක් සමගම ස්ටැනිස්ලාවුස්කි චෙකෝව්ගේ සෙසු නාට්‍යය (ද චෙරි ඕචර්ඩ්, අන්කල් වන්යා, ත්‍රී සිස්ටර්ස්) නිෂ්පාදනය කළා. ඒවාත් සාර්ථක වුණා.

ස්ටැනිස්ලාවුස්කිගේ රූපණ විධික්‍රමය යනු කුමක්ද? එය සරලව හඳුන්වා දිය හැක්කේ කෙසේද? කිසියම් නළුවෙක් චරිතයක් රඟපාද්දි ඔහු ඒ චරිතයට භාවාත්මකව බැ‍ඳෙන්න ඕනෑ. චරිතයේ අභ්‍යන්තරයට කිමිදෙන්න ඕනෑ. චරිතයේ ආත්මය වේදිකාව මත මුදා හරින්න ඕනෑ.

ස්ටැනිස්ලාවුස්කි කියන විදියට නළුවකු වන්ට ප්‍රතිභාව හා නිර්මාණවේශය පමණක් ප්‍රමාණවත් නැහැ. ඔහු ඒවාට දෙන්නේ නළුකමෙන් දහයෙන් එකයි. ඉතිරි නවයම අභ්‍යන්තරිකව ‘එනම් හැඟීම් හා අන්තර්ඥානනයෙන් නළුවා ගොඩනගා ගත යුතුයි. මෙහිදී මතුපිට රඟපෑම වෙනුවට නළුවා තම අධ්‍යාපනය, පරිකල්පනය, පෞද්ගලික අත්දැකීම් හා ගවේෂණ ඔස්සේ චරිතය ගොඩනඟනා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයාගත යුතුයි. ඒ ස්ටැනිස්ලාවුසකිගේ රංග මතිමතාන්තර.

ස්ටැනිස්ලාවුස්කිගේ මේ රංග සම්ප්‍රදාය ලොවපුර ව්‍යාප්ත වන්ට පටන් ගත්තා. විශේෂයෙන් ඇමෙරිකාවේ මෙයට වැදගත් තැනක් හිමිවුණා. පසුකලෙක වේදිකාවෙත් සිනමාවෙත් විශිෂ්ට චරිතාංග නිරූපණ ඉදිරිපත් කළ බොහෝ නළුවන් ස්ටැනිස්ලාවුස්කිගේ රූපණ විධි ක්‍රමය ශාස්ත්‍රාලිය වශයෙන් හදාරපු අය. ලී ට්‍රාස්බර්ග් යටතේ පැවැති ‘නිව්යෝක් ඇක්ටර්ස් ස්ටුඩියෝ’ හි පුහුණුව ලද මාලන් බ්‍රැන්ඩෝ, රොඩ් ස්ටයිගර්, පෝල් නිව්මන්, ටෝනි කර්ටිස්, සිඩ්නි පොයිටියර්, ජැක් නිකල්සන්, ජේන් ෆොන්ඩා ස්ටැනිස්ලාවුස්කිගේ රංග ක්‍රමය මැනවින් අත්දුටු ඇමෙරිකානු නළු නිළියෝ.

ස්ටැනිස්ලාවුස්කිගේ රූපණ විධික්‍රමය ශ්‍රී ලාංකේය වේදිකාවට හඳුන්වා දුන්නේ මෙරටට විත් නාට්‍ය කීපයක් නිපැයු නිව්මන් යුබාල් නමැති විදෙස් නාට්‍ය නිෂ්පාදකයා යයි කියන්ට පුළුවන්. ඔහු යටතේ රඟපාපු වින්ස්ටන් සේරසිංහ, අයිරාංගනි සේරසිංහ, දයානන්ද ගුණවර්ධන වගෙ අය ස්ටැනිස්ලාවුස්කි රූපණ වේදය මනාව වටහාගත්තා.

ඊට පස්සේ අපට වැදගත් වන නාට්‍යකරුවා වන්නේ ගුණසේන ගලප්පත්ති. ඔහු ඇමෙරිකාවට ගොස් ලී ට්‍රාස්බර්ග්ගේ ‘නිව්යෝක් ඇක්ටර්ස් ස්ටුඩියෝ’ හි මේ රංගක්‍රමය ඉගෙන ගත්තා. එහිදී ඔහුගේ ගුරුවරුන් වුනේ හර්බට් බර්ගොෆ් හා දටා හැගන්. ගලප්පත්ති මෙරටට විත් නිෂ්පාදනය කළ ‘මූදුපුත්තු’ නාට්‍යයේ රංග රීතිය වශයෙන් භාවිතා වුණේ රූපණ විධික්‍රමය. සිරිල් වික්‍රමගේ, සෝමලතා සුබසිංහ පසුකලෙක වේදිකාවටත් එයින් සිනමාවටත් ගෙන ආවේ මේ රංග රීතියයි.

රන්ජිත් ධර්මකීර්තිද ස්ටැනිස්ලාවුස්කි රූපණ විධික්‍රමය මැනවින් හැදෑරු නාට්‍යකරුවෙක්. ඔහු 1975 දී රුසියාවේ මොස්කෝ නුවර ස්ටැනිස්ලාවුස්කි ආයතනයේදී නිරීක්ෂකයකු වශයෙන් පුහුණුව ලැබුවා. එවක එහි අධ්‍යක්ෂවරයාව සිටියේ ස්ටැනිස්ලාවුස්කි සමඟ එකට වැඩකළ මහාචාර්ය රාඩෝ මිස්ලින්ස්කි.

රන්ජිත් ධර්මකීර්ති තම න්‍යයික හා ප්‍රායෝගික අත්දැකීම් පදනම් කරගෙන ස්ටැනිස්ලාවුස්කිගේ රූපණ විධික්‍රමය අළලා අගනා විමර්ශන ග්‍රන්ථයක් ලියා තිබෙනවා.

ඔහු එය නම් කර ඇත්තෙත් ‘ස්ටැනිස්ලාවුස්කි හා ඔහුගේ රූපණ විධි ක්‍රමය’ යනුවෙන්.

රුසියානු නාට්‍ය කලාවේ විකාශනය, ස්ටැනිස්ලාවුස්කිගේ නිර්මාණ දායකත්වය, රූපණ විධික්‍රමයේ ප්‍රභවය. රූපණ විධික්‍රමය යනාදි වශයෙන් පරිච්ඡේද ගණනාවක් ඔස්සේ ඔහු මෙම විෂය ගැඹුරට අධ්‍යයනය කරනවා.

ස්ටැනිස්ලාවුස්කිගේ රංග සිද්ධාන්ත අදටත් වලංගුයි. ලෝකයේ බොහෝ රටවල වේදිකාව මත දක්නට ලැබෙන්නේ මේ රංග භාවිතාව. අද බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් අත්දුටු එපික් රංග රීතිය එතරම්ම ප්‍ර‍යෝජනයට ගන්නේ නැහැ. ලංකාවට ආපු බ්‍රෙෂ්ට් රංගකලා විද්වතකු වන මහාචාර්ය ෆ්‍රිට්ස් බෙනෙවිට්ස් වරක් පවසා සිටියේ බ්‍රෙෂ්ට් ගේ මැජික් රංග රීතිය බොහෝ නාට්‍යකරුවන් දැන් අතහැර දමා ඇති බවයි. එහෙත් බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය සර්වකාලිනය. ඒවා ශ්‍රේෂ්ඨයි. ඒ ගැන විවාදයක් නැහැ. අපේ ආධුනික නළුනිළියන් හා නිෂ්පාදකවරුන්ට නාට්‍ය කලාව අධ්‍යාපන විෂයක් වශයෙන් හදාරන සිසුන්ට රන්ජිත් ධර්මකීර්තිගේ පොත බෙහෙවින් ප්‍රයෝජනවත්. ස්ටැනිස්ලාවුස්කි විතරක් නෙමෙයි බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් අර්වින් පිස් කැටෝ වැනි නාට්‍යකරුවන් ගැනත් සැලකිය යුතු විස්තරයක් මේ පොතට අන්තර්ගතයි.

සුනිල් මිහිඳුකුල
[email protected]


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...