සංවර්ධන පනත පරාජයවීම රාජපක්ෂ කුමන්ත්‍රණයක් | දිනමිණ

සංවර්ධන පනත පරාජයවීම රාජපක්ෂ කුමන්ත්‍රණයක්

කමනි අල්විස්
ඡායාරූපය රුවන් ද සිල්වා
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (29) පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, කාවින්ද ජයවර්ධන සහ හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිරිකොත මන්දිරයේදී පැවැත්වූ අයුරුයි මේ.

යහපාලන ආණ්ඩුවේ සංවර්ධන විශේෂ විධිවිධාන පනතේ අරමුණ සුපිරි ඇමැතිවරුන් බිහිකිරීම නොව සුපිරි ශ්‍රී ලංකාවක් බිහිකිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

දෙස් විදෙස් ආයෝජන රට තුළ අප්‍රමාදව ඇතිකරන වටපිටාව සකස්කරදීම මෙම පනතින් සිදුවීම නිසා තරුණ තරුණියන් සුපර්මෑන්ලා බවට පත්වෙන බවත් ඇමැති බණ්ඩාර පැවැසීය.

රාජපක්ෂ පාලන සමයේ සුදු අලි බවට පත්කර තිබෙන හම්බන්තොට සංවර්ධනය කොළ අලි බවට පත්කරමින් තරුණ තරුණියන් ලක්ෂ හතරහමාරකට රැකියා උත්පාදනය කරදෙන හම්බන්තොටට සංචාරක පුරවරයට මුල්ගල තැබීම ජනවාරි 07දා සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවැසීය.

පොදු විපක්ෂයේ ටොප් ටෙන් වෙනුවට රාජපක්ෂ පාලන සමයේ ටොප් හන්රඩ් හෙළිදරව් කරන බව පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා, ඒ යටතේ අණ පනත් උල්ලංඝනය කරමින් එවකට පවත්වා තිබෙන දූෂිත සමුපකාර ඡන්දය ටොප් හන්රඩ් හෙළිදරව්ව යටතේ ප්‍රථමයෙන් රට හමුවේ අනාවරණය කරන බවත් කීය. ඒ යටතේ මුළු රටම ආවරණය වන ආකාරයට අධිකරණ ක්‍රියාදාමයන් ගන්නා බවත් මන්ත්‍රී අප්පුහාමි මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර, කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි මහත්වරු මේ බව පැවසුවේ ඊයේ (29) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා, සුපිරි ශ්‍රී ලංකාවකට පදනම ඇතිකරවන සංවර්ධන යෝජනා පිළිබඳ තවදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවැසීය.

යහපාලන ආණ්ඩුව වසර 2016 දී සංවර්ධන සැලසුම් සකස් කළේය. ලබන වසර ඇරඹෙන්නේ අදාළ සංවර්ධන ඉලක්ක කරා පිවිසෙමින්ය. ඒ අනුව කුලියාපිටියේදී වොක්ස්වැගන් කම්හලේ වැඩකටයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 03 දා ආරම්භ වෙයි. එදින පන්නල ගිරිඋල්ලේදී මාස් හෝල්ඩින්ග්ස් කර්මාන්තායතනයේ වැඩකටයුතු ආරම්භයත් සිදුවෙයි. ජනවාරි 05 දා රුපියල් මිලියන දොළහක මූල්‍ය වැයකිරීමකින් හොරණදී ටයර් කර්මාන්තශාලාවක් ඇරඹෙයි. දෙස් විදෙස් ආයෝජකයින්ගේ හවුල් ව්‍යාපාරයක් වන එම කර්මාන්තශාලාවෙන් සෘජු රැකියා තුන්දහසක් සහ වක්‍ර රැකියා දහදාහක් උත්පාදනය වෙයි.

කල්පිටිය හලාවත සංචාරක පුරවරයත්, වෙන්නප්පුව බිංගිරිය සත්ව ගොවිපොළවල් සහ වෙන්නප්පුවේ සත්ව ආහාර නිෂ්පාදනය ඇතුළුව සංවර්ධන යෝජනා ක්‍රම රැසකි. ඉරණවිල අමෙරිකා හඬ පවත්වාගෙන ගිය අක්කර පන්සියයක භූමිය විශාල සංචාරක පුරවරයක් බවට පත්වෙයි. මාදම්පෙ බිංගිරිය ආශ්‍රිතව සංචාරක කලාපයක් බිහිවෙයි.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම දේශීය කොන්ත්‍රාත්කරුවන් දහතුන්දෙනෙකුට පවරා තිබේ. දේශීය කර්මාන්තකරුවන් නංවාලීමට ජනාධිපතිතුමා, අගමැතිතුමා, කිරිඇල්ල ඇමැතිවරයා ක්‍රියාකිරීම පිළිබඳව ස්තුතිය පිරිනමයි.

ප්‍රථම වතාවට දේශීය කොන්ත්‍රාත්කරුවන්ට අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට අවස්ථාව ලැබී තිබේ. එම නිසා අපේ කොන්ත්‍රාත්කරුවන්ට ජාත්‍යන්තර කොන්ත්‍රාත් සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කිරීමට මාර්ගය සැලසී තිබේ. මධ්‍යම අධිවේගය දේශපාලන ප්‍රතිරූප පුම්බන අධිවේගයක් නොවෙයි.

විශේෂ විධිවිධාන පනත යටතේ පහසුකම් ඇති කරන්නේ රටේ සංවර්ධනය කඩිනම් කිරීමටයි. ආයෝජකයින් මෙරටට පැමිණෙන්නේ දින කිහිපයක් තුළදී තම ආයෝජනයට අදාළ කටයුතු නිමකර අනුමැතිය ගැනීමටයි. නමුත් සිදුවන්නේ අනුමැතිය ලැබීමට වසර දෙකක් පමණ ගතවීමයි. එහිදී සිදුවන්නේ ආයෝජකයින් අප රට තුළ ආයෝජන අවස්ථා ඇතිකිරීමට අකමැතිවීමයි. බංග්ලාදේශය, මියන්මාරය, වියට්නාමය යන රටවල් දින කිහිපයක් තුළදී යටිතල පහසුකම් ලබාදීම නිසා එම රටවල් ආයෝජකයින්ගේ ආකර්ෂණයට ලක්වී තිබේ.

කඩිනම් පනතකින් සුපිරි බලතල ගෙන ඒමක් සිදුනොවෙයි. රාජපක්ෂ පාලන සමය අණ පනත් නොමැතිව සුපිරි බලතල භුක්ති වි‍න්දේය. රාජපක්ෂ පවුල සුපිරි බලතල සියයට හැටක් පමණ යොදාගෙන රට පාලනය කළේය. මන්ත්‍රීවරයකු ලෙස නාමල් මහතා ඇමැතිවරුන්ට අණ දෙමින් පාලනය කළ යුගයකි. තම දේශපාලන හෙංචයියලාට සහ රාජපක්ෂ පවුලේ උදවිය ඇතුළුව සමහර ඇමැතිවරු සුපිරි බලතල භුක්ති වින්දේය.

විශේෂ විධිවිධාන පනත තීරණය කළේ ජනාධිපතිතුමා අගමැතිතුමා සහභාගී වුණ ඇමැති මණ්ඩල රැස්වීමේදීය. පළාත් සභා බලතලවලට මෙම පනතින් කිසිම දෙයක් සිදුනොවෙයි. පළාත් සභා සමඟ ඉදිරියට මධ්‍යම රජය ගමන් කරන අතර සෘජු දායකත්වය මධ්‍යම රජය ලබාදෙන්නේ සංවර්ධනය සඳහායි.

පළාත් සභාවල සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිම කෙනෙකු ජනාධිපතිතුමා පත්කිරීමට කිසිදු කැපවීමක් නොකළේය. වර්තමානයේ දහවල් මෛත්‍රීපාල ජනාධිපතිතුමා සමඟ සුහදව සිටිමින් රාත්‍රියට රාජපක්ෂවරු සමඟ ඩීල් දමති. එම ඩීල්වල සහ රාජපක්ෂවරුන්ගේ කුමන්ත්‍රණවල ප්‍රතිඵල ලෙස පළාත් සභාවලදී විශේෂ විධිවිධාන පනත පරාජය වෙයි.

යහපාලන රජය ගෙන ඒමට කැපනොවූ ඔවුන් තමන්ට අවශ්‍ය දේ පමණක් ඉටුකරගැනීමේ ප්‍රතිපත්තියේ සිටිති. එළදෙනගෙන් කිරි දොවාගෙන එක්සත් ජාතික පක්ෂයට ගොමදීම ඔවුන්ගේ ප්‍රතිපත්තියයි. අවස්ථාවාදී ලෙස රාජපක්ෂ කල්ලිය ක්‍රියාකරද්දි එක්සත් ජාතික පාක්ෂිකයින් සහ සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් එක්ව රටේ සංවර්ධනය වෙනුවෙන් කැපවෙති.

මාධ්‍ය සංදර්ශන පවත්වමින් කැමරා ඉදිරියේ වීරයන් වන ඇතැමුන්ට තම ගමෙන් දහදෙනෙකුගේ පිරිසක්වත් එකතු කරගැනීමට ‍ෙනාහැකිය. සීයක් පමණ වටවී ඔවුන්ට හූ හඬ නංවති. හාලිඇළට ගියොත් මේ ගැන හොඳාකාරව දැකගත හැකිය.

නිමල් සිරිපාල ඇමැතිවරයා ඉතා සාර්ථකව තම කාර්යභාරය ඉටුකරන්නෙකි. ඔහුත් සමඟ ගැටී හොම්බ බිම ඇනගත් උදවියද වෙති. රාජපක්ෂවරුන්ගේ කුමන්ත්‍රණ හමුවේ ඩීල් දමමින් රටේ සංවර්ධනයට විනකරන දෙබිඩි දේශපාලන චරිත දුටුවිට මතක්වන්නේ හුණුවටයේ කතාවයි. එහි දැක්වෙන දරුවා දෙපැත්තට අදින වැදූ මව සහ හැදූ මව යන චරිත මතක් වෙයි.

අභියෝග හමුවේ කැපකිරීම් සිදුකරමින් මෛත්‍රීපාල ජනාධිපතිතුමා ජනාධිපති ධුරයට ගෙන ආවේ එක්සත් ජාතික පක්ෂයයි.

එක්සත් ජාතික පක්ෂය මෛත්‍රීපාල ජනාධිපතිතුමාට එරෙහිව චෝදනා එල්ල කරන්නේ නැත. රාජපක්ෂවරුන් සමඟ කුමන්ත්‍රණ කරන්නවුන් බලවත්ම හානිය සිදුකරන්නේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාටයි. එලෙස ජනාධිපතිතුමාට හානිකිරීමෙන් වළකින ලෙසට එක්සත් ජාතික පක්ෂය ඔවුන්ට තරයේම දැනුම් දෙනු ලැබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා- රාජපක්ෂවරුන්ගේ උවමනාව ජනාධිපතිතුමා තනිකර අසරණ කිරීමයි. ඒ සඳහා ඔවුන් සිහින දකිමින් සිටී. එම උදවියට කිව යුත්තේ ඔවුන් දකින්නේ සිහිනයක් බවයි. එක්සත් ජාතික පක්ෂය කිසිසේත්ම මෛත්‍රීපාල ජනාධිපතිතුමා තනිකරන්නේවත් අසරණ කරන්නේවත් නැත. ජනමතයකින් තොරව ජාතික ලැයිස්තුවලින් පැමිණි උදවිය මහින්ද සිහිනයේ පසුවෙයි.

ජනාධිපති පදවියට මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කිරීමට කිසිදු කැපවීමක් නොකළ උදවිය වර්තමානයේ වහසිබස් දොඩවයි. ඩිලාන් කියනවා එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන්ට පිටවී යන ලෙසට. එසේ කීමට ඔහුට තිබෙන අයිතිය කුමක්ද?

සුපිරි ඇමැති කෙනෙකු ගැන ඔවුන් මුසා දොඩවන්නේ බැසිල් මහතා මතක්වීමෙන්ය. සෑම අමාත්‍යාංශයකටම අතපොවමින් ක්‍රියා කළ හිටපු සුපිරි ඇමැති ඔහුයි. සුපිරි ඇමැති ධුර හෙබවූයේ රාජපක්ෂ පාලන සමයේදීය. හැලිය රත්වනතුරු කකුළුවන් දඟලයි. එලෙස මොවුන්ද දඟලති. ජනාධිපතිතුමා අගමැතිතුමා සහ ආණ්ඩුව රටත් ජනතාවත් ආරක්ෂා කරගෙන දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියකට පිවිස තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා- පරාජිත මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් ලබාදෙද්දි එක්සත් ජාතික පක්ෂය ඒ පිළිබඳව කිසිවක් පැවසුවේ නැත.

යහපාලන රජය තුළ ජනාධිපතිතුමාට එරෙහිව කුමන්ත්‍රණයක් තිබේ. එතුමා බලයට පත්කිරීමට කැපවීම් නොකළ උදවිය මෙම කුමන්ත්‍රණයේ නිරතව ඇත.

මෙහිදී විමල් සහ උදයට අභියෝගයක් ඉදිරිපත් කරමින් පවසන්නේ මෙම ව්‍යවස්ථාව අවශ්‍යද නැද්ද. උතුරු නැගෙනහිර ගැටලු විසඳිය යුතුද නැද්ද, එසේත් නැත්නම් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ව්‍යවස්ථාව හොඳයි කියන්න. රටේ ජනතාව කුපිත කරවමින් හැසිරෙන්නේ නැතිව මෙම අභියෝගයට පිළිතුරු දෙන්න.

උදය නිතරම යුද්ධය ගැන පවසයි. නැවත යුද්ධයක් ඇරඹීමේ පසුබිමක මොවුන් සිටිනවාද යන්න ප්‍රශ්න කළ යුත්තකි. චීනය, ජපානය, අමෙරිකාවට යමින් මුදල් රැගෙන මෙහි පැමිණ ආයුධ ගෙන යුද්ධයක් ඇතිකිරීමේ නිරතව සිටිනවාද යන්නත් ගැටලුවකි.

ගැටලු විසඳාගෙන කතිකාවතකට ඒමට අවස්ථා ඇත. එසේ තිබියදී ඇතැමුන්ගේ හැසිරීම් පිළිකුල්සහගතයි. මහ ඇමැතිවරු පවසන්නේ හිටපු ජනාධිපති මහින්ද සහ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල මහතාගේ එකතුවක් ගැනයි. රෙදි ඇඳගෙනද ‍ෙමාවුන් මෙලෙස පවසන්නේ.

ටොප් හන්රඩ් යටතේ සිදුකරන ප්‍රථම හෙළිදරව්වට අයත්වන සමුපකාර ඡන්දයට සුදුසුකම් ලබන්නේ පහළොස්දහසයි. නමුත් තිස්දහසක් සිටිති. මියගිය වූන‍්ද නාමලේඛනවල සිටිති. හිටපු කොමසාරිස්වරු, සභාපතිවරු, හිටපු ලේකම්වරු මෙයාකාරයට සාවද්‍ය දූෂණ ඡන්ද පැවැත්වීම ගැන වගකිව යුතුයි. මෙය රාජපක්ෂ පාලන ස‍මයේ සිදුවී තිබෙන විශාලතම දූෂිත හොරකමකි.

මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න සහ ඒ සඳහා ලැබුණු පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය - ටොප් හන්රඩ් ඉදිරිපත් කරනවා කිව්වා. සෙසු කාරණා මොනවාද?

පිළිතුර - හෙමින් යමු අදට එකක් ඉදිරිපත් කළා. ඉතිරිවා එයාකාරයට ඉදිරිපත් වෙනු ඇත.

ප්‍රශ්නය - විශේෂ විධිවිධාන පනත පරාජය කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පිරිස බව පැවසුවත්, ඉසුර දේවප්‍රිය මහ ඇමැති ලෙස පත්කළේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා නේද?

පිළිතුර - දවල් මිගෙල් රෑ දැනියෙල් ලෙස දෙබිඩි පිළිවෙත් තිබෙන අය වෙති. පනත ජනාධිපතිතුමා සහභාගිවුණ ඇමැති මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වූවකි. මෙහි ගෞරවය එක්සත් ජාතික පක්ෂය ලබාගනී හිතන පිරිසකි. ඔවුන්ගේ කඩාකප්පල්කිරීම් විය හැකිය.

නව අදහස දක්වන්න