සංවර්ධන පනත වයඹිනුත් විසිවෙයි

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත අද වයඹ පළාත් සභාව වෙත ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී එම පනත වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය.

විශේෂ විධිවිධාන පනත පරාජය වූයේ අද පෙරවරුවේ වයඹ පළාත් සභා සංකීර්ණයේ සශ‍්‍රී ශාලාවේදී පැවැති විශේෂ වයඹ පළාත් සභා රැස්වීමේදීය.

පළාත් ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මිය වෙත මධ්‍යම රජයෙන් එවනු ලැබ තිබූ සංවර්ධන විශේෂ විධිවිධාන පනත වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

අනතුරුව පැය පහකට වැඩි කාලයක් තිස්සේ ඒ පිළිබදව විවාදය පැවැති අතර පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් එහිදී පනත පිළිබදව අදහස් දක්වනු ලැබූහ.

විවාදය අතරතුරදී පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් අතර ඇති වූ උණුසුම් වචන හුවමාරු කිහිපයක් හේතුවෙන් සභා රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තේය.

විවාදයේදී අදහස් දැක් වූ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී පාලිත රෝහණ සංවර්ධන විශේෂ විධිවිධාන කෙටුම්පත ඉරාදැමීම විශේෂ සිදුවීමක් විය.

විවාදය අවසන්වීමෙන් පසුව සංවර්ධන විශේෂ විධිවිධාන සම්මත කිරීම සදහා ඡන්ද විමසීම පැවැත්වුණු අතර වයඹ ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක ඇතුලූ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත‍්‍රීවරු ඊට එරෙහිව ඡන්දය පාවිච්චි කළ අතර එහිදී පනතට විපක්ෂව ඡන්ද 31 ක් ලැබිණි.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් පනතට එකගත්වය පළකරමින් ඡන්දය පාවිචිචි කළ නමුත් පනතට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද 11 ක් පමණි.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත‍්‍රීවරයා අද දිනයේදී පළාත් සභා රැස්වීමට සහභාගි නොවීය.

ඒ අනුව ළාත් සභාවේ අනුමැතිය ලබාගැනීමේ අපේක්ෂාවෙන් මධ්‍යම රජය විසින් වයඹ පළාත් සභාව වෙත එවා තිබූ සංවර්ධන විශේෂ විධිවිධාන පනත වැඩි ඡන්ද 20 කින් පරාජයට පත් විය.

(කුරුණෑගල අතිරේක බණ්ඩාර රත්නායක)


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...