පනතේ අරමුණ සංවර්ධනයට පළාත් සභා එක්කර ගැනීමයි | දිනමිණ

පනතේ අරමුණ සංවර්ධනයට පළාත් සභා එක්කර ගැනීමයි

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත මඟින් සිදු කෙරෙනුයේ පළාත් සභා විෂයයන් මධ්‍යම ආණ්ඩුව යටතට ගැනීමක් නොව ජාතික සංවර්ධනය සඳහා පළාත් සභා ක්‍රියාකාරී ලෙස සහභාගී කර ගැනීමක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ පළාත් සභා ප්‍රධාන ඇමැතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (23) සවස අරලියගහ මන්දිරයේ දී පැවති අතර, දකුණ, බස්නාහිර, නැගෙනහිර, ඌව යන පළාත් ප්‍රධාන ඇමැතිවරු ඊට සහභාගී වූ අවස්ථාවේ දී අගමැතිවරයා එසේ පෙන්වා දී ඇත. සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත මගින් සිදු කිරීමට අපේක්ෂිත කාර්ය භාරය පිළිබඳව මෙහිදී කරුණු පැහැදිලි කෙ‍රිණි. මෙමගින් අරමුණු කෙරෙනුයේ පළාත් සභා විෂයයන් මධ්‍යම ආණ්ඩුව යටතට ගැනීමක් නොව ජාතික සංවර්ධනය සඳහා පළාත් සභා ක්‍රියාකාරී ලෙස සහභාගී කර ගැනීමක් බව අගමැතිවරයා පෙන්වා දුන්නේය.

පළාත් සභාවන්ට අයත් කිසිදු විෂයකට කිසිදු බලපෑමක් මේ පනත මගින් සිදු ‍නොවන බව මෙහිදී අවධාරණය කෙරිණි.

ජාතික සංවර්ධන කාර්යයන් සඳහා පළාත් සභා සම්බන්ධ කර ගැනීම ප්‍රතිපත්තිමය වශයෙන් අගය කරන බව ප්‍රධාන ඇමැතිවරු පැවසූහ.

අනිකුත් ප්‍රධාන ඇමතිවරුන් සමඟ ද සාකච්ඡා කොට මේ පිළිබඳ යෝජනාවලියක් කඩිනමින් ඉදිරිපත් කරන බවද ඔවුහු පැවසූහ.

ඒ යෝජනාවලියට අදාළ සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට අවකාශ ඇති බවද මෙහිදී අගමැතිවරයා පෙන්වා දුන්නේ ය.

නව අදහස දක්වන්න