නව වසරේ පළමු සභාවාරයේම බැඳුම්කර විවාදය ඕනෑ

රෝෂන් තුෂාර

නි. ඇමැති එජාප ස්ථාවරය පහදයි

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය 2017 පළමු සභාවාරයේදීම කළ යුතුය යන ‍ස්ථාවරයේ එක්සත් ජාතික පක්ෂය ද සිටින බව කෝප් කමිටු සාමාජික හා විදුලිබල නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා දිනමිණට ඊයේ (25) පැවසීය.බැඳුම්කර ගනුදෙනු විවාදය කල් දැමීමට හෝ මඟහැරීමට කිසිදු උවමනාවක් එක්සත් ජාතික පක්ෂයට නැති බව පැවසූ නියෝජ්‍ය ඇමැතිවරයා, විවාදය පවත්වන්නේ කවදාද යන්න පිළිබඳව පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේදී තීරණය කරන බවත් එම දිනය බොහෝවිට ජනවාරි මාසයේ දිනයක් විය හැකි බවත් පැවසීය.

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීමට විපක්ෂයේ මන්ත්‍රීවරයකු සභාපතීත්වය දරන කෝප් කමිටුවට පවරා ප්‍රජාතන්ත්‍රවාදීව හා විනිවිද භාවයකින් කටයුතු කර ඇති එක්සත් ජාතික පක්ෂය හෝ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊට කිසිසේත් බාධා කිරීම් නොකරන බව ද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය. පසුගිය ඔක්තෝබර් 28 දින බැඳුම්කර සිද්ධිය පිළිබඳ කෝප් වාර්තාව පාර්ලිමේන්තු‍වට ඉදිරිපත් කිරීමෙන් පසුව නොවැම්බර් 02 දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නීතිපතිවරයාට යොමුකර ඇති බව පෙන්වාදුන් නියෝජ්‍ය ඇමතිවරයා, දෙසැම්බර් 21 දින අය-වැය විවාදයේදී ද අගමැතිවරයා ඒ පිළිබඳව විවෘතව අදහස් දැක්වූ බව පෙන්වා දුන්නේය.

පසුගිය කාලයේ මෙන් කෝප් වාර්තා කිසිදු සැලකිල්ලකට නොගෙන සිටීමේ ප්‍රතිපත්තියක් වත්මන් රජයට නොමැති බව පැවසූ අජිත් පී. පෙ‍රේරා මහතා වත්මන් රජය සියලු කටයුතු ප්‍රජාතාන්ත්‍රීයව, විනිවිදව හා නීත්‍යානුකූලව සිදුකරන බව ද පැවසීය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...