පුංචි ඡන්දයට ශ්‍රීලනිප අයැදුම්පත් 10300ක්

බුද්ධිකා ඉඹුලාන

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රීලනිප අපේක්ෂකත්වය ලබා ගැනීමට අයැදුම්පත් 10300ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපලේකම් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

මේ සියලු දෙනාම ඉදිරි සති කිහිපය තුළ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවන බවද අමරවීර මහතා පවසයි.

ශ්‍රීලනිප පාක්ෂිකයන් අතර සිටින තරුණ පිරිසගේ නව පිබිදීමක් මේ වන විට දක්නට ලැබෙන අතර මේ අයැදුම්පත් ඉදිරිපත් කළ අ‍පේක්ෂකයන් අතර නව තරුණ අපේක්ෂකයන් රැසක් වන බවද ඇමතිවරයා අවධාරණය කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධාන කටයුතු දැන් ඇරැඹී ඇති බවත් බිම් මට්ටමේ සිට ක්‍රියාත්මක මෙම ප්‍රතිසංවිධාන වැඩපිළි‍වෙළට පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකත්වයෙන් නව ජවයක් ලැබී ඇති බවත් අමරවීර මහතා පෙන්වා දෙයි.

ඊයේ (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වූ ඇමැති මහින්ද අමරවීර මහතා මේ බැව් අනාවරණය කළ අතර එහිදී මෙසේද පැවැසීය.

ශ්‍රීලනිප ය ප්‍රතිසංවිධානය කිරීමේදී අප මේ වන විට තරුණ බලමුළු ආසන 47ක කැඳවා අවසන්. අනෙක් ප්‍රදේශවල මාර්තු අප්‍රේල් මාසවලදී පැවැත්වීම සිදු වනවා. ඉතා ඉක්මනින් දිස්ත්‍රික් සම්මේලන පැවැත්වීමටයි අපේ සූදානම.

පසුගිය කාලයට වඩා උතුරේ ද්‍රවිඩ තරුණ පිරිසගෙන් ශ්‍රිලනිප යට විශාල කැමැත්තක් තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගැන ඔවුන්ගේ දැඩි විශ්වාසයක් තිබෙනවා. එදා මැතිනියටත් මේ වගේ ආදරයක් විශ්වාසයක් උතුරේ ජනතාවගේ තිබුණා.

පසුගිය කාලයේ අපේ පක්ෂයේ පාලකයන්ගේ කටයුතු නිසා උතුරේ ජනතාවගේ තරුණ පිරිසගේ ඒ විශ්වාසය බිඳී ගියා. එය යළිත් අපේ පක්ෂ නායක වත්මන් ජනාධිපතිතුමන් විසින් ගොඩනගාගෙන තිබෙනවා.

ශ්‍රීලනිප වෘත්තීය සමිති සම්බන්ධීකරණ කමිටුවේ ලේකම්වරයකු ලෙස මා දකින දෙයක් තමයි වෘත්තිය සමිතිවල වි‍ශ්වාසයද අපගේ ක්‍රියාකලාපය පිළිබඳව තහවුරු වී ඇති බව. අපේ පක්ෂයේම සිට අද කැඩී බිඳී ගිය අය රජයේ වැඩපිළිවෙළ කඩා කප්පල් කරන්න මාන බලනවා.

මේ කඩා කප්පල්කාරීන් කියන්නේ අපි (ශ්‍රීලනිප) එජාපයට මුක්කු ගසන බවයි. විමල් වීරවංශ, ගම්මන්පිල ඇතුළු කණ්ඩායම කියන්නේ ශ්‍රීලනිප ය එජාපයේ හිරකාරයන් බවයි. එසේ වෙලා නෑ. දැන් සිදුවී තිබෙන්නේ අපේ හිටපු නායක මහින්ද රාජපක්ෂ මහතා විමල්ගේ, ගම්මන්පිලලාගේ හිරකාරයකු වීමයි. මේ විමල්ලා කවුද? ඔවුන්ගේ දේශපාලනය කුමක්ද? අපි කවදාවත් පක්ෂවලින් පැනලා ගියේ නෑ. මම අත ලකුණින් 1991දී මුලින්ම ඡන්දය ඉල්ලුවේ. අදත් මම ශ්‍රීලනිප යේ හොඳ සාමාජිකයෙක්. අපි පක්ෂය අතහරින්නේ නෑ. රට සංවර්ධනයේදී පක්ෂයකට වඩා රට උතුම් බවයි අපි විශ්වාස කරන්නේ.

පසුගිය රජයේ මුල්ම සිදුවීම ආරම්භ වන්නේ විමල් වීරවංශ එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ඉදිරිපිටදී උපවාස කරන්නට යාම හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුට තැඹිලි පොවන්නට යාමේ සිද්ධියයි. එතැනින් මුළු ජාත්‍යන්තරයම අපත් සමඟ තරහා වුණා.

ඔවුන්ගේ වැරැදි වහගන්න අපට මඩගහනවා. අපි නොවෙයි ඒ අයයි එජාපය සමඟ ඩීල් ගහන්නේ.

මේ අවස්ථාවේදී බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමැති රංජිත් සෝමවංශ සබරගමු පළාත් සභා ඇමැති බානු මුනිප්‍රිය මහත්වරුන්ද කතා කළහ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...