ඉඹුල්ගොඩ ප්‍රියංගනීගේ රන්වන් පිත්තල

මදාරා මුද­ලිගේ

 

“මීට අවුරුදු 15කට කලින්, රු 3000 සමෘද්ධි රක්ෂණය අරන් , මං මේ ‍ස්වයං රැකියාව කරන්න පටන් ගත්තේ බොහොම පුංචියට .” එලෙස තම හඬ අවදි කළේ ඉඹුල්ගොඩ පදිංචි ජී.ඒ. ප්‍රියංගනී ය.

ඇය ජීවත් වන්නේ, පිත්තලවලින් සාදා රන් ආලේප කරන ලද ආභරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමෙනි. මේවා , රත්‍රං ආභරණ මෙන් පැළඳිය හැකි, නිර්මාණාත්මක බවින් පිරිපුන් ඒවා වීම විශේෂත්වයකි.

“මගේ මහත්තයගේ තාත්තා තමයි මේවා නිර්මාණය කිරීම මුලින්ම ආරම්භ කරලා තියෙන්නේ. ඔවුන්ගේ පරම්පරාවේ ඉන්න ඥාතීන් හැමදෙනාම, මේ ස්වයං රැකියාව මඟින් තමයි ජීවිකාව පවත්වාගෙන ගිහිං තියෙන්නේ. මීට අවුරුදු 40 කට පෙර ඇරැඹි මේ වෘත්තීය, අද වෙනකනුත් අපේ පරම්පරාවෙ අය අතර සුරැකීව තිබීම ගැන අපට තියෙන්නේ සතුටක්.මේ වගේ නිර්මාණ හැමෝටම කරන්න බැහැ.

ඒ සඳහා නිර්මාණාකත්මකව සිතීමේ හැකියාව තියෙන්නම ඕනෑ.ඒ වගේම, කැපවීම, උත්සාහය, අවංක බව, වෘත්තියට ආදරය කිරීම, පාරිභෝගිකයන්ට සුහදව සැලකීම කියන කාරණා මඟින්, මේ වෘත්තිය හොඳින්ම දියුණු කතර ගන්න පුළුවන්.” පරම්පරාවේ උරුමයට පයින් නොගසා, ඊට ගෞරව කරමින්, තරමක් සුවිශේෂී ව්‍යාපාරයක නිරතව සිටින ප්‍රියංගනී වැනි කතුන්, නිවෙසට වී, සැමියාගේ දිරියෙන් ජීවිතය ගැටගසා ගන්නා කතුන්ට සැබැවින්ම ආදර්ශයකි.

මේ වනවිට අපේ මේ ස්වයං රැකියාව නිසා,සමෘද්ධි පවුල් 08ක් විතර ජීවත් වෙනවා. ඔවුන්ගේ ජීවිතවලටත් අත්වැළක් වුණු අපේ ව්‍යාපාරය, තරමක් තරගකාරී වුණත්,ලාභ ලබාගෙන ඉදිරියටත් කර ගෙන යාමට තමයි බලාපොරොත්තු වෙන්නේ.”

තරගකාරී සමාජ රටාව හමුවේ බොහෝ ව්‍යාපාරවලට අභියෝග එල්ල වන්නේ නිතැතින්ම ය. ඒ අභියෝග හමුවේ නොසැළෙන පහන් සිළුවක් සේ නැගී සිටින ප්‍රියංගනී, ධෛර්යවන්තකමින් පිරිපුන් කාන්තාවකි.

“අද කාලේ රත්‍රං පළඳින්න බොහෝ අය බයයි. ඒ නිසා, බොහොමයක් අය අපේ ආභරණ රැගෙන යනවා. බැලූ බැල්මටම මේවා පේන්නේ, රත්‍රංවලින් නිම කරන ලද ආභරණ හැටියටයි. ඒත් මේවා දාගෙන යන්න කිසිසේත්ම බිය වෙන්න ඕන නෑ. පිත්තලවලින් සාදන ලද, රන් ආලේප කරන ලද මාල, වළලු, මුතු කරාබු, හවඩි වර්ග අපි ළඟ තියනවා.”

සොරුන්ගෙන් ගහණ වූ වර්තමාන සමාජය තුළ, කාන්තාවන් නිරතුරුවම මිලදී ගන්නා භාණ්ඩ අතර, මේ ආභරණවලට සැළකිය යුතු වටිනාකමක් ලැබී තිබේ.

“අපි ළඟට එන පාරිභෝගිකයන්ට හැකි සෑම විටකදීම තරමක් අඩු මිලකට ආභරණ ලබා දීමට අපි කටයුතු කරනවා. ඒ නිසා වෙන්න ඇති, අපි ළඟට බොහෝ පිරිසක් පැමිණෙන්නේ.”

ප්‍රියංගනී තම පාරිභෝගිකයන් සමඟ දැඩි මිත්‍රශීලී බවකින් යුතුව කටයුතු කරන තැනැත්තියකි. අන්‍යෝන්‍ය සුහදතාව, අවංකකම තුළින් ජීවිතය ජය ගන්නට වෙර දරන්නියක් වන ඇය, මුළු මහත් සමාජයටම අනගි පාඩමක් කියා දෙන්නී ය.

“තමන්ගේ ලාභය ගැන විතරක් හිතන එක හොඳ නෑ. මිනිසුන්ට දිගු කාලීනව තබාගත හැකි, ප්‍රමිතියෙන් වගේ ම, ගුණාත්මක බවින් යුතු ආභරණයක් ලබා දීම ගැනයි මම නම් වැඩිපුරම හිතන්නේ. ආත්මාර්ථකාමී බවක් නැතිව, මිනිසුන්ගේ සිතැඟිවලට ඇහුම්කන්දීලා, මේ රැකියාවෙන් අපි හැමෝගෙම ජීවිතය යහපත් කර ගන්නයි අපි උත්සාහ කරන්නේ.

ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක සිටින, මෙවැනි ව්‍යාපාරයක් කිරීමට කැමැති ඕනැම කෙනකුට, මේ වෘත්තිය පිළිබඳ කියා දෙන්න මං කැමතියි. එයින් අපේ වැඩවලටත් උදව්වක් වෙනවා. ඒ වාගේම, අපේ මේ ස්වයං රැකියාවට සම්බන්ධවෙලා, එය කරන්න කැමැති ඕනෑම කෙනෙක්ට ඒ සඳහා අවස්ථාවක් දෙන්නත් කැමතියි.” ඇය පවසන්නීය.

 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...