හිසරදයක් නොවෙන්න ඉවුම් පිහුම් කර ගන්න | දිනමිණ

හිසරදයක් නොවෙන්න ඉවුම් පිහුම් කර ගන්න

 

රසවත් කෑම වේලක් භුක්ති විඳින විට අත්දකින සතුට, ඉවුම් පිහුම් කරන විට ලැබෙන්නේ නැති තරම් ය. සමහර විට සමහර ගෘහණියන්ට ඉවීම තරම් තවත් හිසරදයක් ද නැත. ඉවුම් පිහුම් ඒ ගණනට ලෝක හිසරදයක් වන්නේ, අප සැලකිල්ලක් නොදක්වන පුංචි පුංචි කාරණා නිසා ය. ඇතැම් විට ඒ පුංචි කාරණා දෙස ඔබේ අවධානය මෙතෙක් යොමු නොවුණා වන්නට ද පුළුවන. මේ, ඉක්මනින් කෑම වේලක් හදා ගැනීම ඔබට පහසු කර දෙන, නමුත් ඔබෙන් මේ වනතුරු අතපසු වුණු කාරණා කිහිපයකි.

1.ඉවුම් පිහුම් අරඹන්න පෙර සැලසුමක්

කෑම වේලක් හදා ගන්නට පළමුව සැලැසුමක් සකසා ගන්න. තමන් සකසන්නට යන්නේ කවර දේද? යන්න පෙළගස්වා ගැනීම , හැම විටම වැදගත් වේ. එවිට ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවාදැයි කියා ලැයිස්තුවක් සකසා ගැනීම පහසු වේ. ඒ අනුව තමන් සතුව ඇති සහ නැති ද්‍රව්‍යය මොනවාද? යන්න ගැන සිතිය හැකි ය. එමඟින්, විටින් විට කඩයට දුවමින්, අඩුම කුඩුම රැගෙන ඒමට සිදු නොවේ.

2.භාජන සහ උපකරණ ගැන සැලකිලිමත් වන්න

ඔබට කිසිවක් ඉතා ඉක්මනින් උයා පිහා ගත හැක්කේ, ඊට අවශ්‍ය භාජන සහ අවශේෂ උපකරණ පිරිසුදුව පවතී නම් පමණි. එනිසා, සෑම කෑම පිසගැනීමකින්ම පසුව , භාජන හොඳින් පිරිසුදු කර , ආරක්‍ෂිත තැන්වල තැන්පත් කර තැබීම පුරුද්දක් කර ගන්න.

3.රුචිකත්වය

භෝජනය භුක්ති විඳින අයගේ රුචිකත්වය ගැන සැලකිලිමත් වන්න. ඔබ, ඔබට වුවමනා සහ ඔබට හැකි දේ උයා පිහා මේසයට යැවූ පමණටම, අනෙක් අය ඒවා භුක්ති විඳීමෙන් සතුටට පත් වන්නේ නැත. එනිසා, පිළිවෙළක් නැතිව වර්ග රැසක් උයමින් කාලය නාස්ති කරන්නට වන්නේත්, අවසානයේදී කෑම බීම නිකරුණේ ඉවත දමන්නට සිදු වන්නේත්, රුචිකත්වය ගැන විමසීමක් නොකළ අවස්ථාවලදී ය.

4.කාලය ගැන සැලකිලිමත් වන්න

කිසිවක් පිස ගැනීමට වැඩි කාලයක් ගත වන්නේ නම්, එය පළමුව පිස ගැනීම අරඹන්න. ආහාරයට ගැනීමට ස්වල්ප වෙලාවකට පෙර පිස ගත යුතු දෑ ගැන සැලකිලිමත් වන්න.

5.මුළුතැන්ගෙයි පවිත්‍රතාව

ආහාර වේලක් සකසා ගැනීමෙන් පසු, මුළුතැන්ගෙය පිරිසුදු කර ගැනීම ගෘහණියගේ වගකීම ය. එසේ නොවුණහොත්, ඔබ මුළුතැන්ගෙය පුරා අතන - මෙතැන දමා ගිය දේ ඒ ආකාරයෙන්ම තිබෙන්නට පුළුවන. සමහර අපද්‍රව්‍යය නරක් වෙමින්, දුගඳක් පතුරුවන්නට ඉඩ ඇත. එවිට, ඊ ළඟ ආහාර වේල පිසින්නට මුළුතැන් ගෙයට ගොඩවනවිට, මුළුතැන් ගෙය ඔබටම එපාවුණු තැනක් වී තිබෙනවාට සැකයක් නැත. මුළුතැන්ගෙය පිරිසුදුවටත්, පිළිවෙළටත්, ලස්සනටත් තබා ගැනීම හැම විටම ඉක්මන් ඉවුමකට මඟ පාදන බව අමතක නොකරන්න.

මංජුලා

නව අදහස දක්වන්න