2017 ගණන් නොගන්න අය

මංජුලා විජයරත්න

 

2017 නව වසර ඊයේ උදා විය. බොහෝ බටහිර ජාතීන් මෙන් ම, ඇතැම් පෙරදිග ජාතීන් ද නව අවුරුදු උදාව ලෙස සලකන්නේ ජනේරුව ලැබීම ය. එහෙත්, ලෝකයේ ඇතැම් සංස්කෘතීන් ජනේරුව නව අවුරුදු උදාව ලෙස නොසලකන බව ප්‍රකට ය. එවැනි සංස්කෘති අතර, මෙරට සංස්කෘතියත් අයත් ය. සිංහලයන් නව වුරුරුදු උදාව ලෙස සලකන්නේ සිංහල අලුත් අවුරුදු උදාවයි. එය යෙදෙන්නේ සෑම වසරකම අප්‍රේල් 14 වැනිදා දිනට ය.

මේ, ජනේරුව ලැබීම නව අවුරුද්දක් ලැබීමක් ලෙස නොසලකන, ලෝකයේ සෙසු සංස්කෘති පිළිබඳ කෙටි සටහනකි.

1.චීනයේ අලුත් අවුරුදු උදාව

වසන්ත සැණකෙළිය, එහෙමත් නැත්නම් අලුත් අවුරුදු උදාව හැටියට චීන ජාතිකයන් සලකන්නේ, චන්ද්‍රයා මුල් කරගත් චීන දින දර්ශනයේ පළමු දිනයයි. ඒ අනුව මේ වසරේදී ඔවුන්ට නව අවුරුද්ද උදාවන්නේ මේ මස 28 වැනිදා ය. ජනවාරි මාසයේ 28 වැනිදායින් ආරම්භ වන වර්ෂය, චීන ජාතිකයන් සලකන්නේ කුකුළාට අයත් වර්ෂයක් හැටියට ය.

චීනුන්ගේ නව අවුරුද්ද ඇරැඹෙන්නේ ඒ වසරේ වසන්ත කාලයේ අස්වනු ගෙට ගැනීමත් සමඟ ය. එනිසා, නව අවුරුද්ද සරු සාරව සමරන්නට අවශ්‍ය භව බෝග, කිසිදු නිවෙසකට හිඟ වන්නේ නැත. අලුත් අවුරුද්ද ලබන්නට පෙර සෑම නිවෙසක්ම ඉතා හොඳින් පවිත්‍ර කෙරේ. ඒ, අයහපත් සහ අශුභ දේ බැහැර කිරීමේ අරුත ඇතිව ය. ඒ වගේ ම, ශුභ සහ යහපත් දේ නව වසරේදී නිවෙස වෙත කැඳවා ගැනීමේ බලාපොරොත්තුවෙනි. නිවෙස්වල ජනේල සහ දොර, රතු පැහැති කඩදාසි සැරසිලිවලින් අලංකාර කෙරේ. රතිඤ්ඤා පත්තු කිරීම සහ රතු පැහැ ලියුම් කවරවල දමා තෑගි වශයෙන් මුදල් දීමත් දැකිය හැකි ය. නව වසර ලැබීමෙන් පසු නෑසියන් එකට එක්ව අහාර පාන භුක්ති විඳීම එහි කෙරෙන සුලභ චාරිත්‍රයකි.

2.කොරියා අලුත් අවුරුදු උදාව

කොරියා අලුත් අවුරුද්ද ලබන්නේ, කොරියා චන්ද්‍ර දින දර්ශනයේ පළමු දිනය උදා වන විටදී ය. ඒ අනුව, බොහෝවිට කොරියාවට නව අවුරුද්ද උදා වන්නේ චීනයට නව අවුරුද්ද උදා වන දිනයේදී ම ය. මදක් වෙනස් වන්නේ වෙලාව පමණි. කොරියාවට මේ වසරේදී නව අවුරුද්ද උදා වන්නේ ද, ජනවාරි 28 වැනිදා ය. කොරියා ජාතිකයෝ දින තුනක් පුරා නව අවුරුදු උදාව සමරති.

3.බාලි දූපත් වැසියන්ගේ නව අවුරුදු සැමරුම

ඉන්දුනීසියාවට අයත් බාලි සහ ජාවා දුපත්වල වැසියන් නව අවුරු සමරන්නේ ඔවුන්ටම ආවේණික සංස්කෘතික අංග මුල් කර ගනිමිනි. ඔවුන් භාවිතයට ගන්නේ චන්ද්‍රයා මුල් කරගත් සාකා නමැති දින දර්ශනයකි. ඒ දින දර්ශනයේ සඳහන් පළමු දිනය බාලි සහ ජාවා දූපත් වැසියන්ගේ නව අවුරුදු දිනයයි. ඒ අනුව ඔවුන්ට අලුත් අවුරුද්ද උදා වන්නේ මේ වසරේ මාර්තු මස 28 වැනිදා ය.

බාලි සහ ජාවා දූපත් වැසියන් නව අවුරුද්ද එළැඹීම පිළිගන්නේ ඉතාමත් නිශ්ශබ්දව ය. රතිඤ්ඤා පත්තු කිරීම, ගිනි කෙළි සංදර්ශන පැවැත්වීම, සංගීත නාද නැඟීමෙන් විනෝද වීම යනාදිය එදින සිදු නොකෙරෙන බව දැක්වේ. අනෙකක් තබා එදින කිසිවකු වීදී බැස ගමනක් බිමනක් යන්නේ ද , ආහාර ගන්නේ ද නැත. එකී කාර්යවලින් වැළකී සිටින සියල්ලෝම, නව අවුරුදු දිනය පුරාම භාවනා කරති. මේ නිසා නව අවුරුද්ද උදාවන විට මේ දූපත්වල කඩ සාප්පු වසා දමා තිබෙනු දක්නට පුළුවන. එදින සාමාන්‍යයෙන් විවෘතව තිබෙන්නේ රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකක පමණෙකැයි කියා සඳහන් වේ.

4.ඉරානයට නව අවුරුද්ද උදාවීම

“නොව්රුස්” යනුවෙන් හැඳින්වෙන්නේ ඉරාන නව අවුරුද්දයි. ඉරානයට නව අවුරුද්ද උදා වන්නේ සෑම වසරකම මාර්තු 21 වැනිදා ය. එහෙත්, නව අවුරුද්ද ලබන්නට පෙර දිනයේත්, නව අවුරුදු දිනට පසු දිනයේත්, නව අවුරුද්ද සම්බන්ධ චාරිත්‍ර පැවැත් වේ. එනිසා, මාර්තු 20, 21 සහ 22 යන තෙදින පුරාම චාරිත්‍ර පැවැත්වේ.

නොව්රුස් යනුවෙන් හැඳින්වෙන සම්ප්‍රදායේ අක් මුල්, වසර 3000ක් පමණ ඈතට දිව යන බව ඉතිහාසඥයෝ පවසති. මේ සම්ප්‍රදාය සහ ඊට සම්බන්ධ ද්වාර කර්ම සරතුස්ත්‍ර ආගම සමඟ සම්බන්ධ බව කියැවේ. අද වනවිට නොව්රුස් සම්ප්‍රදාය හෙවත් නොව්රුස් උත්සවය සමරන්නේ ඉරාන ජාතිකයන් පමණක් ම නොවේ. ඉරාකය, ඉන්දියාව, ඇෆ්ඝනිස්ථානය, තජිකිස්ථානය, උස්බෙකිස්ථානය, අසර්බයිජානය, කසකස්තානය, කිර්ගිස්තානය, ඇල්බේනියාව, ජෝර්ජියාව සහ කොසෝවෝ යන රාජ්‍යයවල ජනයාත් නොව්රුස් සමරති. එහෙත්, ඉරාන ජාතිකයන් නොව්රුස් සමරන්නේ, ඒ හැමටම වඩා ඉතාමත් උත්කර්ෂවත් අන්දමිනි.

5.යුගාධි සැමරුම

වර්ග කිලෝමීටර 3,287,263කින් සමන්විත ඉන්දියාවේ බිලියන 1.2ක පමණ පිරිසක් ජීවත් වෙති. මේ ජනතාව ඉන්දීය ජාතිකයන් වුවත්, ඔවුහු ආගම සහ අනෙකුත් සංස්කෘතික අංග අතින් විවිධත්වයක් උසුලති. ඒ අනුව, ඉන්දියාවේ එක් එක් ප්‍රාන්තවල ජනයා තම සංස්කෘතිය අනුව නව අවුරුද්ද සමරන්නේ, වසරේ විවිධ දිනවලදී බව ඔබ දන්නවාද?

කර්ණාටක, තෙළඟනා සහ ආන්ද්‍ර ප්‍රදේශවල ජනයා යුගාධි උත්සවය සමරති. එය ඔවුන්ගේ නව අවුරුදු සැමරුම ය. යුගාධි උදා වන්නේ ඔවුන් භාවිතයට ගන්නා චන්ද්‍ර දින දර්ශනය අනුව ය. ඒ අනුව, මේ වසරේදී ඔවුන්ගේ නව අවුරුදු උදාව සිදුවන්නේ මාර්තු මස 28 වැනිදා බව සඳහන් වේ.

යුගාධි නව අවුරුදු උදාව සමරන්නට මේ ප්‍රාන්තවල වැසියන් සූදානම් වන්නේ, සිය නිවෙස් පිරිසුදු කර, නිවෙස්වලට ඇතුළු වන දොර අඹ අතුවලින් සැරසීමෙනි. නව අවුරුදු සැමරුමේ තවත් විශේෂ අංගයක් වන්නේ, “යුගාධි පචාදී” නමින් හැඳින්වෙන කෑම දීසිය සැකසීම ය. මේ දීසියට අනිවාර්යයෙන් එකතු කරගත යුතු දෑ ඇත. ඒ අතර වඩාත් කැපී පෙනෙන්නේ, රස හයක් මතුවන අන්දමට එකතු කරගත් කෑම වර්ග ය. පැණි රස, තිත්ත රස, ඇඹුල් රස, සැර ගතිය, ලුණු රස, කර්කෂ ගතිය යන රස ඇති කරවන ආහාර, ඒ අනුව ඊට එකතු කර ගැනේ. විවිධ රසවලින් සංකේතවත් කරන්නේ, සතුට, කලකිරීම, තරහව, භය, පුදුමය සහ දුක යන මනුෂ්‍ය හැඟීම් බව දැක්වේ.

6.දෙමළ අලුත් අවුරුද්ද

ලෝ පුරා වෙසෙන ද්‍රවිඩ ජනයා අලුත් අවුරුද්ද සමරන්නේ සෑම වසරකම අප්‍රේල් 14 වැනිදා ය. ඔවුන් නව අවුරුද්ද සමරන්නේ අලුත් ඇඳුම්, රස කැවිලි, සංගීත නාද, හාල් පිටිවලින් කරන නිර්මාණ ආදිය සූදානම් කර ගනිමිනි. හාල් පිටි යොදාගෙන සිතුවම් ඇඳීම කරන්නේ නිවෙස් ඉදිරිපිට ය.

මූලික වශයෙන් ම ද්‍රවිඩ ජනයා වෙසෙන්නේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රන්තයේ ය. එනිසා , ඔවුහු අප්‍රේල් මාසයේ 14 වැනිදා නව අවුරුද්ද සමරති. එමෙන් ම, මෙරට වෙසෙන ද්‍රවිඩ ප්‍රජාව අවුරුදු සමරන්නේ අප්‍රේල් 14 වැනිදා ය. ඒ හැරුණු විට, සිංගප්පූරුව, මුරුසි දිවයින, මැලේසියාව ආදී විවිධ රටවල ජීවත්වන ද්‍රවිඩ පිරිස් ද එදින නව අවුරුදු සැමරුම්වල නිරත වෙති.

7.දීවාලි සැමරුම

ආලෝකය මුල් කර ගෙන පැවැත්වෙන මේ උත්සවය, වඩාත් ප්‍රකට හින්දු, සික් සහ ජෛන ජන කොටස් අතර ය. මේ සැමරුමේ ප්‍රධාන අංගයක් වන්නේ, නිවෙස් ඉදිරිපිට වගේම, නිවෙස් අභ්‍යන්තරයේත්, පහන් සහ ඉටිපන්දම් දැල්වීම ය. මේ ආලෝක පූජා පැවැත්වෙන්නේ ලක්ෂ්මී දෙවඟන වෙනුවෙනි. ලක්ෂ්මී දෙවඟන සශ්‍රිකත්වයට සහ සෞභාග්‍යයට අධිපති දෙවඟන සේ සැලකේ.

දිවාලී සමය, නැත්නම් දීපවාලී සමය සාමාන්‍යයෙන් උදා වන්නේ ඔක්තෝබර් මාසයේ ය. ඒ අනුව, මේ වසරේ ඔක්තෝබර් 19 වැනිදා උතුරු ඉන්දියානුවෝත්, ඔක්තෝබර් 18වැනිදා දකුණු ඉන්දියානුවෝත්, දිවාලී සමරති. එහෙත්, මසක කාලයක් පුරා ලක්ෂ්මි දෙවඟන වෙනුවෙන් ආලෝක පූජා පැවැත්වීම සුලභව කෙරෙන්නකි. එනිසා , නොවැම්බර් මස මැද භාගය තෙක් එකී චාරිත්‍ර සිදු කරේ. ෆිජී, ගයනාව, ඉන්දියාව, මැලේසියාව, මුරුසිය, මියන්මාරය, නේපාලය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, සුරිනේම් මෙන් ම, ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ යන රාජ්‍යය, දීවාලී දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මෑතක සිට පාකිස්තානයේ සින්ධි ප්‍රාන්තයත්, දීවාලී දිනය රජයේ නිවාඩු දිනයක් හැටියට සලකන බව වාර්තා වේ.

8.යුදෙව්වන්ගේ නව අවුරුදු සැමරුම

රොෂ් හෂනාහ් යන නමින් හැඳින්වෙන්නේ යුදෙව්වන්ගේ නව අවුරුද්ද ය. යුදෙව්වන්ගේ නව අවුරුද්ද ඇරැඹෙන්නේ, යුදෙව් සිවිල් වසරේ පළමු මාසයෙන් බව දැක්වේ. එය යුදෙව් ආගමික වසරේ හත්වැනි මාසයයි. නව අවුරුදු උදාව දින දෙකක් පුරා සැමරේ. ඒ අනුව, මේ වසරේදී යුදෙව්වන්ට නව අවුරුද්ද උදා වන්නේ සප්තැම්බර් 20 වැනිදා ය. නව වසරේ රාත්‍රිය උදා වන්නේ සැප්තැම්බර් 22 වැනිදා බව දැක්වේ. එනිසා, එකී දෙදින තුළ නව අවුරුදු චාරිත්‍ර පැවැත්වෙනු ඇත.

නව අවුරුද්ද උදා වනවිට යුදෙව්වෝ කාහළ නාද නඟති. ඒ වගේම, නිශ්ශබ්දව හිඳිමින්, යම් යම් චාරිත්‍ර ඉටු කිරීමක් ද සිදු කෙරේ.

යුදෙව්වන්ගේ පිළිගැනීම අනුව ලෝකය මවා තිබෙන්නේ දෙවියන් ය. ලෝකය නිර්මාණය කිරීමෙන් අනතුරුව, මනුෂ්‍ය වර්ගයාගේ ඉරණම දෙවියන්ම තීන්දු කළ බව දැක්වේ. නව අවුරුදු උදාවේදී නිශ්ශබ්දතාව රකිමින් ඔවුන් බලාපොරොත්තු වන්නේ, එළැඹෙන වසරේ මනුෂ්‍යයන්ගේ ඉරණම කුමක් විය යුතුදැයි කියා තීරණය කිරීමට, දෙවියන්ට ඉඩක් ලබා දීම ය.

නව අවුරුද්දේදී පැණි සහ ඇපල් මිශ්‍ර ආහාර ගැනීම යුදෙව්වන් අතර ප්‍රකට ය. පැණි ආහාරයට ගැනීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ සහ ප්‍රර්ථනා කරන්නේ, ලබන්නා වූ නව වසර පුරා ශුභ දේ ඉටු විය යුතු ය යන්න ය.

9.ඉස්ලාමික බැතිමතුන්ගේ නව අවුරුද්ද

ඉස්ලාමික දින දර්ශනයේ පළමු මාසයේදී, ඔවුන්ගේ නව අවුරුදු උදාව සිදුවේ. නව අවුරුදු උදාව ප්‍රකාශයට පත් කරන්නේ ඉස්ලාමික ආගමික ආයතනවල ප්‍රධානීන්ය. ඔවුන් ඊට පාදක කර ගන්නේ සඳ දර්ශනය වීම ය. ඒ අනුව, මේ වසරේදී ඔවුන් නව අවුරුද්ද උදා වනු ඇතැයි කියා බලාපොරොත්තු වන්නේ, සැප්තැම්බර් මස 22වැනිදා ය.

10.ඇබරොජීනියස්වරුන්ගේ මුරාඩෝර් ගෝත්‍රයේ නව අවුරුදු සැමරුම

ඔස්ට්‍රේලියාවේ ආදී වාසි ජනයාගේ ගෝත්‍රයක් ලෙස සැලකෙන මුරාඩෝර් ජනයා, නව අවුරුදු උදාව ලෙස සලකන්නේ ඔක්තෝබර් 30 වැනිදා ය. එකී දිනය, ගෝත්‍රයේ ඉතා වැදගත් දිනයක් ලෙස සලකා, මෙදින ඔවුහු සහයෝගය, හොඳ හිත වඩා ගැනීම සහ ආගමික කටයුතු වෙනුවෙන් වෙන් කරති. ඇබරොජීනියස්වරුන්ගේ මුරාඩෝර් ගෝත්‍රයට අයත් ජනගහනය මේ වනවිට ශීඝ්‍රයෙන් පහළ වැටෙමින් ඇති බව වාර්තාවල දැක්වේ.

අන්තර්ජාලය ඇසුරෙනි


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...