සදාහරිත සත්ව රජදහන උඩවලව ජාතික වනෝද්‍යානය

ඉරෝ­ෂිණී දීපිකා

 

මැදියම් රැය ගෙවී හරියටම ගතවී ඇත්තේ හෝරා හතරක් පමණකි. කළුවරට වැට බැඳි සුදු සඳරැස් කෙඳිති,තුරු වියන් අතරින් පෙරී විත්, මහ පොළොව මත ඒ ගස්වල සෙවණැලි අඳිමින් ඇත.මුළු ලොවම නිහඬ බව රජයමින් ඇත. ඒ නිහඬත්වය කෙතරම් ද යත්, වරින් වර තුරු පත් මතට පිණි කැට වැටෙන හඬ පවා ඇසෙන තරම් ය.අවට පරිසරයම මී දුමින් වැසී ඇත.

මාවතක යනෙනවුන්ට මීදුම කපාගෙන එන වාහනයක ආලෝකය හැරෙන්නට , වෙනත් කිසිවක් දැකගත නොහැකි ය.පරිස‍රයේ සියලු විපර්යාස අත්දකිමින් මඟට පිළිපන් අපගේ අරමුණ වූයේ, කොළඹ නරගයෙහි සිට කිලෝමීටර් 165 ක් පමණ දුරින් පිහිටි, සබරගමුව සහ ඌව පළාත්වලට මායිම්ව පිහිටි, රත්නපුර දිස්ත්‍රික්කයට අයත්, තෙත් කළාපය සහ වියළි කළාපයට අතරමැදි දේශගුණික කළාපයෙහි පිහිටා ඇති, ඕනෑම වෙලාවක අලි බැලිය හැකි උඩවලව ජාතික වනෝද්‍යානය දැකබලා ගැනීමට ය.

මේ වනවිට අපි, රත්නපුර, පැල්මඩුල්ල හරහා, පැය හතරක් පමණ කාලයක් ගෙවා පැමිණ සිටියෙමු. තණමල්විල මාර්ගයට හැරී යන අපට ,උඩවලව ජලාශය දුටුවිට දැනුණේ කිව නොහැකි තරම් සංතෝෂයකි. එයට හේතුව, මෙරටදී වැඩිපුරම අලින් දැකබලාගත හැකි වනෝද්‍යාන භූමියට පිවිසීමට ඇත්තේ තව මද දුරක් වූ නිසාවෙනි.

අනතුරුව අපි ප්‍රවේශපත් රැගෙන, සෆාරි රියකට ගොඩවුණෙමු. ඒ වනවිට පැවැති කාෂ්ටක බව නිසා ම, වනෝද්‍යානයේ ගහකොළ ද වියළී යමින් පැවතුණි. එනමුදු සංචාරකයන්ගේ හිඟයක් නම් කොහෙත්ම දැකගත හැකි වූයේ නැත.

තැනිතලා මංපෙත් දිගේ දිවෙන සෆාරි රිය, දූලි පිඹිමින් ඇදී යන්නේ, වන උයනේ රැඳී සිටින වන සතකුගේ රුව අප දෙනෙත් අතර සිතුවම් කරනු සඳහා ය. වරෙක බෑවුම් සහිත ස්ථාන ද, තවත් වරෙක කැඩුණු මඟ වළවල් අතර ද වැටි වැටී යන රථයේ හුන් අපට විඩාවක් නොදැනුණේ,වනය විනිවිද යන අයුරින්, දෑස් යොමුව තිබුණ නිසා ය.

“ආන්න තුන්පත් රෑණක්.අප පිරිවරේ එකකු කෑ ගැසුවේ, පළමුවෙන් ම ඇස ගැටුණු දසුන එය වීම නිසා ම ය.රිය නැවතුණි.අප රිසි සේ උන්ගේ චර්යා නැරැඹුවෙමු. ඡායාරූප ද ගතිමු.

නැවතත් රිය පණගැන්විණි. ඉදිරියටම යන අප නෙත ගැටුනේ, තුරු මුදුනක වසා සිටි මොණරෙකි. නැතිනම් අහසේ සැරිසරනා රාජාලියෙකි.කොණ්ඩ කුස්සකු,බඹුණු පියාකුස්සකු හෝ සර්ප කුස්සකු හෝ අපට දැකගත හැකි වූයේ ඉතාමත් ම කලාතුරකිනි.

“අන්න මුවෙක්.” අපේ හඬ ඇසුණු විගස තණ පත් කමින් සිටි මුව පොව්වකු හීයක වේගයෙන් දිව ගියේ ය.මේ වනය, රූස්ස ගස්වලින් යුතු ඝන වනාන්තරයක් නොවූව ද, අතර මැදි දේශගුණික කලාපයකට උරුම හරුමකම් කියන නිසා ම,සියඹලා, පළු, නැදුන්, හල්මිල්ල, බුරුත ,වීර,දිවුල්,බෙලි,මාර,අඹ, ඇහැළ, බූරුත, කුඹූක්,කිරිකෝන්, කැටකෑල, කුණූමැල්ල, මී, තෙලඹු, කැන්ද, නුග වැනි විශාල ශාකවලින් ද යුක්ත ය.එසේ ම මෙහි,ගිණිතණ, දමිනිය වැනි තෘණ වර්ග ද බහූල ය. මෙහි ඇති ආක්‍රමණික ශාක ලෙස,පොඩිසිඤ්ඤෝ මරං , ගඳපාන වැනි ශාක හැඳින්විය හැකි ය.වනය තුළ ම ඉපැදී, වනයේ ජීවත්වී, එහි ම මියැදෙන නෙක් වර්ගයේ වන ජීවීන්ට කෑම බීම සපයන්නේ ද මේ වනයම ය.

අලියාගේ ස්වභාවික අභිජනන භූමියක් බවට උඩවලව ජාතික වනෝද්‍යානය පත්ව ඇත.දැනට අලි 800ක් පමණ මෙහි වසන අතර, දළ ඇතුන් අටක් පමණ සිටින බව වාර්තා වේ.

එරමිණියා ගසක නැගී, එහි පල රස විඳින දෙමලිච්චන් රූණක් ද, එහි ම බිම හිඳ වැටුණු පල අහුලා කමින් රස විඳින මයිනන් රංචුවක් ද ඇස ගැටුණි.

මලින් පිරුණු බෝවිටියා පඳුරක ලැග, එහි පල, රස කර කන සූටික්කන් ය. මුළු වනය පුරාම සැරිසරන විවිධ වර්ණයෙන් යුතු සමනළයින් ද අසිරිමකත් දසුනකි.

වනය තුළට කෙමෙන් කෙමෙන් පිවිසෙත් ම, අලි බොහෝ පිරිසක් දැකගත හැකි ය. එහෙත්, අධික ලෙස පවත්නා පෑයුම නිසා වියැළුණු පත් බුදින්නට බැරි හෙයින්, පාවලින් බිම හාරා, තණකොළ ගලවා, හොඬින් ගෙන බුදින අලි , එම වනයේදී අප දුටු , හිත සසල කළ දසුනකි.මේ වන උයනේ මොණරුන්ගෙන් මෙන් ම සෙබඩන්ගෙන් ද අඩුවක් නැත. විටෙක බිම ඇවිදිමින් ද, තවත් විටෙක ගසක ළගිමින් ද සිටිනා උන්, වනාන්තරයට ගෙන එන්නේ අසිරිමත් බවකි.

උඩවලවේ වනෝද්‍යානයේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 310 කි. ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන අතර විශාලත්වයෙන් හයවැනි ස්ථානයට පත්ව ඇති මේ වනෝද්‍යානය කරා, වන සතුන්ට ආදරය කරන බොහෝ පිරිසක් පැමිණෙති. නිරිත දිග මෝසම් වැසි වැටෙන මාර්තු සිට සැප්තැම්බර් යන කාලය තුළ, හරිත පැහැයෙන් යුත් තෙත් කළාපීය වනාන්තරයක ලක්ෂණ විද්‍යමාන වන මේ වනය, අනෙක් මාසවලදී සම්පූර්ණයෙන් ම ශුෂ්ක කළාපීය ලක්ෂණවලින් යුක්ත ය.එසේ ම, ජෛව විවිධත්වයෙන් යුතු මෙහි, අපා, දෙපා, සිව්පා, ක්ෂිරපායී, උරග ආදී නෙක්විධ ජීවීන්ගෙන් බහුල ය. අලි බහුලව විසූවත්, රිලවා, හම්බාවා, කළු වඳුරා, මුගටියා, හෝතඹුවා, කබල්ලෑයා, කබරයා,තගගොයා, මුවා, ගෝනා, හඳුන් දිවියා, ඕළු මූවා, කුළු හරකා,වල් ඌරා, ඉත්තෑවා,හාවා සහ මීයන් විශේෂ ගණනනාවක් ද මෙහි වෙසෙති.

එසේ ම, වලි කුකුලා, මහ නීල ගොයා වැනි සතුන් ද මෙහි බහුල ය.සත්ව සම්පත අතින් ඉතා පොහොසත් මේ වනෝද්‍යානය ආශ්‍රිතව ශාක විශේෂ 94 ක්, මත්ස්‍ය විශේෂ 21 ක්, උභය ජීවීන් විශේෂ 12 ක්, උරග විශේෂ 33 ක්, පක්ෂි විශේෂ 184 ක් (සංක්‍රමණික පක්ෂීන් විශේෂ 33 ක්) සහ ක්ෂීරපායි සත්ව විශේෂ 43 ක් වාර්තා වී ඇත. මීට අමතරව සමනලුන් විශේෂ 135 ක් පමණ සිටින බව පැවසේ. දිවියා හා වලහා මෙහි වසන නමුත් දැකගැනීම දුලබ ය.

මේ උද්‍යානය, දෙස් විදෙස් නරඹන්නන් සඳහා උදෑසන 7 සිට සවස 5 දක්වා විවෘතව ඇත. එසේ ම, අවසර ගෙන , එහි කඳවුරු බැඳ සිටීමින්, අපූර්ව රාත්‍රියක් ගත කිරීමට ද ඔබට හැකි ය.ඒ සඳහා, ප්‍රන්සදාර හා වෙහෙරමංකඩ වැනි වෙන්වූ ස්ථාන කිහිපයකි.වනෝද්‍යානය තුළ සංචාරකයන්ගේ පහසූව සඳහා සිනූග්ගල, තිඹිරිගස්මංකඩ, වෙහෙරගොල්ල, ගෝණවිද්දගල යනුවෙන් හැඳින්වෙන සංචාරක නිවාස කිහිපයක් ඇත.

වර්තමානය වනවිට උඩවලව ජාතික වනෝද්‍යානය ලෙසින් හැඳින්වෙන මේ භූමිය, පෙර කල නීල මහා යෝධයාගේ කෘෂි කාර්මික බිමකි. වනය තුළ පිහිටි වෙහෙරමංකඩ, වෙහෙරගොල්ල යන ස්ථානවල ඇති නටඹුන්වලින් ඒ බව පිළිබිඹු වන බව සමහරුන්ගේ මතය වී තිබේ.

1972 ජූනි 30 වැනි දින ජාතික වනෝද්‍යානක් බවට පත් වූ මේ බිම,දිවයිනේ වැඩි ම සංචාරකයන් පිරිසක් පැමිණෙන වනෝද්‍යාන අතරින් තෙවැනි තැනට පත්ව ඇත. වලවේ ගඟ හ‍රස් කර උඩවලව ජලාශය ඉදි කිරීමෙන් අසරණ වූ සතුන්ට රැකවරණය සැලසීම සහ ජලාධාරක ප්‍රදේශය ආරක්ෂා කර ගැනීම, මේ වනෝද්‍යානය නිර්මාණය කිරීමේ අභිප්‍රාය විය.

වනය තුළ සැරිසරන විට, හැම‍ දෙසින්ම දක්නට ලැබෙන්නේ, සංචාරකයන් රැගෙන සැරිසරන සෆාරි රථ ය. උඩවලව ජලාශය අසලින් අප ඉදිරියට යනවිට වැඩිපුර දුටුවේ හරකුන් සහ මී හරකුන් ය. එසේ ම,

පියාඹමින් කෘමි සතුන් ඩැහැ ගන්නා තඹල හිස් බිඟුහරයන් ය.එම ප්‍රදේශයේ සැරිසරනා එම සතුන් බොහෝ ය.මේ පෙදෙස පසුකර ඉදිරියට යනවිට කිඹුලන්ගේ රජදහනක් බවට පත්ව ඇති, වියැළුණු ගස් කොට සහිත ජලාශ ප්‍රදේශයට ඇතුළු විය හැකි ය. අප එහි යනවිට, අව් රශ්මියේ පහස විඳීමට ජල ඉවුරු වෙත පැමිණි කිඹුලන් රාශියක් දැකගත හැකි විය. එසේ ම,පැස්තුඩුවන්,ෆ්ලෙමිංගෝ, කළු හිසැති දෑකැත්තන්,පෙලිකන් වැනි පක්ෂීන් ද, මුහුදු රාජාලියා, කළු රාජාලියා,සර්ප රාජාලියා වැනි රාජාලි විශේෂ ද දැකගත හැකි ය.

සතුන් දැකීම මෙන් ම,ඔවුන්ගේ චර්යා රටා දැක සතුටු වන්නට රිසි ඔබට,නිවාඩු කාලයේ සංචාරයක් සඳහා යාමට සුදුසු ම ස්ථානයක් ලෙස, උඩවලව ජාතික වනෝද්‍යානය හැඳින්විය හැකි ය.

ඡායාරූප-අන්තර්ජාලයෙනි


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...