ගැළපෙන සංවර්ධනය

 

සංවර්ධනය භාණ්ඩ හා සේවාවලින් මනින්නට බැරි බව ද, එය ඉලක්කම්වලින් ගණනය කිරීම වැරැදි බව ද කියති. ඒ අනුව සුවිශාල ගොඩනැගිලි අතිදැවැන්ත මාර්ග හා තවත් බොහෝ දේවල් සැබෑ සංවර්ධනයේ සංකේත ලෙස ගත නො හැකි ය. සැබෑ සංවර්ධනය යනු මිනිස් සමාජයේ ජීවන පැවැත්ම උසස් වීම ය. ජීවන පැවැත්ම උසස්වීම යනු බහු භාණ්ඩ පරිභෝජනය නො වේ.

ලෝකයේ සම්භාවනාවට පාත්‍ර වූ උගතුන් මේ බව පෙන්වා දුන්නේ බොහෝ කාලයක් ගත වූවාට පසුවය. භාණ්ඩ හා සේවාවලින් සන්තෘප්ත වූ සමාජය සංවර්ධනය නමින් තමන් අත්පත් කරගෙන ඇත්තේ සමාජයට ඔරොත්තු නොදෙන පරිභෝජන රටාවක් බව පසුව තේරුම් ගත්තේ ය.

තිරසාර සංවර්ධනය යන සංකල්පය ලෝකය පුරා ප්‍රචලිත වන්නේ මේ විපරිණාමයෙන් පසුව ය. තිරසාර සංවර්ධනය යන්නෙහි සරල අදහස වන්නේ සමාජයට ඔරොත්තු දෙන හා සමාජයට ගැළපෙන දියුණුවකි. එය පරිසරයට හා ස්වභාව ධර්මයේ පැවැත්මට අභියෝගයක් වන්නේ නැත. මිනිසාගේ අනාගත පැවැත්මට අභියෝගයක් වන්නේ ද නැත.

සරල නිදසුනක් ගතහොත් අතිවිශාල ණය මත ගොඩනැගෙන භෞතික දියුණුව මිනිස් සමාජය අපහසුවට පත්කරයි. ස්වභාව ධර්මයට එරෙහිව ගෙන යන ඉදිකිරීම් අනාගත පැවැත්මට අභියෝග එල්ල කරයි. තිරසාර සංවර්ධනයෙන් අපේක්ෂා කරන්නේ මෙබඳු අභියෝග නැති ස්ථාවර දියුණුවකි.

ආණ්ඩුව ඉදිරි වසර තුනම තිරසාර සංවර්ධනය වෙනුවෙන් කැපකිරීමට තීරණය කර තිබේ. ජනාධිපතිවරයා මෙන් ම අගමැතිවරයා ද මේ තත්ත්වය පැහැදිලි කරති. ප්‍රධාන ක්ෂේත්‍ර 17 ක් තෝරාගෙන ඒ අනුව සැලැසුම් සකස් කරන බවද ප්‍රකාශ කර ඇත.

මෙය වැදගත් තීරණයක් ලෙස සැලැකිය හැකිය. රටක් ආර්ථික සමාජයීය හා දේශපාලනික වශයෙන් ඉදිරියට ගෙන යෑම සඳහා නායකයන්ට නිවැරැදි දැක්මක් තිබිය යුතු ය. එසේ නොවන කල සංවර්ධන ව්‍යාපෘති අයාලේ යයි. විශාල ප්‍රාග්ධන නාස්තියක් ද සිදුවෙයි. අපේ බොහෝ සංවර්ධන වැඩසටහන්වලට අනාගත දැක්මක් තිබුණේ නැත. ඒවා ගැන පසුවිපරමක් තිබුණේද නැත.

සරල නිදසුනක් ගත‍ෙහාත් දිළිඳුකම පිටුදැකීම සඳහා නිදහසින් පසුව වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වී ඇත. ජනසතු ව්‍යාපාරය, පස් අවුරුදු සැලැස්ම, කඩිනම් මහවැලිය, ගම්උදා ව්‍යාපාරය, ජනසවිය, සමෘද්ධි ව්‍යාපාරය, දිවි නැඟුම, ඇඟලුම් කම්හල් වැඩසටහන ඉන් කිහිපයක්. මේවා දේශපාලන දායකත්වය මත ඉතා ගාම්භීර ලෙස ආරම්භ විය. එහෙත් පසුකලෙක ඒවායින් සමහරක් නැවතිණි.

තව සමහරක් මන්දගාමී විය. කුමක් වුව අපේක්ෂිත ප්‍රතිඵල ඒ අයුරින්ම ලැබී නැත. පුදුමයකට මෙන් ඒ ගැන සිදුකළ පසු විපරම්ද නැත. තිරසර සංවර්ධනය යනු එය නො වේ. මේ සංකල්පය ඔස්සේ අපේක්ෂා කරන්නේ අතරමගදී නොනවතින අඛණ්ඩ සංවර්ධන ක්‍රියාවලියකි.

ඉතිහාසය විමර්ශනය කරනවිට පැහැදිලි වන්නේ අතීත ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත රාජ්‍යයක් ලෙස පැවැති බව ය. අපේ දුප්පත්කම වර්ධනය වන්නට වූයේ අධිරාජ්‍යවාදයෙන් පසුව ය. විදේශිකයන් ශ්‍රී ලංකාව ආක්‍රමණය කළා පමණක් නො ව; අපගේ ස්වයංපෝෂිත ආර්ථිකය ද විනාශ කළ බව ඉතා පැහැදිලිය. විදේශික ආක්‍රමණවලට පෙර ශ්‍රී ලංකාව සහල් ආනයනය කළේ නැත. ඉඩම් ප්‍රශ්න, කුඹුරු ප්‍රශ්න, වතුර ප්‍රශ්න අපට බලපෑවේ ද නැත. විදේශිකයන් විනාශ කර ඇත්තේ ආර්ථිකයට අදාළ සියලු පද්ධතීන්ම ය. මේ අනුව සාම්ප්‍රදායික ආර්ථික රටාවක් සංස්කෘතියක් යන දෙකම අභියෝගයට ලක්විය. අද එහි ප්‍රතිඵල භුක්ති විඳින්නට අපට සිදුවී තිබේ.

අපේ දුප්පත්කම භයානක ලෙස වර්ධනය වූයේ සම්පත් හිඟකම නිසා ද? නැත. මිනිස් හැකියාවන්වල දුර්වලතාවක් නිසා ද? නැත. ඉතා වටිනා මානව සම්පතක් අපට තිබේ. එහෙත් අද වනවිට ඒ මානව සම්පතින් උපරිම ඵල ලැබිය හැකි ව්‍යපෘති නැත. එබඳු ව්‍යාපෘති ඇති කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් ද අප සතුව නැත.

මේ තත්ත්වයට විසැඳුම් සපයා ගත යුතු ව තිබේ. අගමැතිවරයා නිතර කියා සිටින විදේශීය ආයෝජකයන් මෙහි දී වැදගත් වෙයි. එහෙත් විදේශීය ආයෝජකයන් ඉබේ පහළ වන්නේ නැත. ඒ සඳහා බලපාන සාධක තිබේ. දේශපාලන ස්ථාවරත්වය. යටිතල පහසුකම්, කම්කරු සාමය ඒ අතර ප්‍රධාන වෙයි. මේවා නැතිව විදේශීය ආයෝජකයන් ගෙන්වා ගැනීම දුෂ්කර ය.

රටේ පවත්නා දුප්පත්කම පිළිබඳ හරස්කඩක් ගතහොත් එහි කැපී පෙනෙන සාධක කිහිපයක් තිබේ. එක රැකී රක්ෂා හිඟයයි. මේ සාධකය තුළද විසංවාදයක් පවතී. එක අතෙකින් නූතන නිෂ්පාදන ක්‍රියාවලිය ඉල්ලා සිටින පුහුණු ශ්‍රමය අපට නැත. තව අතෙකින් සේවා ක්ෂේත්‍ර තුළ සේවක අතිරික්තයක් දකින්නට ලැබේ. තවත් අතෙකින් අපේ අධ්‍යාපනය හා රැකියා වෙළෙඳපොළ අතර කිසිදු සම්බන්ධයක් නැත.

මේවා විසඳාගත යුතු ව තිබේ. තව අතෙකින් රටේ විශාල ඌන සේවා නියුක්තියක් ද පවතී. එය ද අධ්‍යාපනයේ ම ප්‍රශ්නයක් ලෙස ගත හැකි ය. තවත් අතෙකින් නූතන තාක්ෂණය හා ඒකාබද්ධවීමට ග්‍රාමීය සමාජය දක්වන්නේ දැඩි බියකි. එය යහපත් ලක්ෂණයක් නො වේ.

අපේ සමාජය ගතහොත් ආකල්පමය වශයෙන් පසුවන්නේ ඉතා පසුගාමී තැනෙක ය. ලෝකයේ පවත්නා අලුත් දියුණුවට හා වෙළෙඳ පොළ ආර්ථිකයට අපේ බොහෝ දෙනා බිය වී සිටිති. සමාජය විදේශීය ආයෝජකයන් හා ආයෝජන සමාගම් දෙස බලන්නේ ඔවුන් යක්ෂයන් වන්නේය බඳු හැඟීමකින් යුතුව ය. අමෙරිකාව, චීනය බඳු රටවල් අප ගිල ගැනීමට බලා සිටින්නේ යැයි ඔව්හු සැක කරති. චීන ගිවිසුම්වලට විරුද්ධ වන්නේ එම හේතුව නිසා යැයි කිව හැකි ය. ඉන්දියානු ගිවිසුම්වලට විරුද්ධ වන්නේ ද එම හේතුව නිසා යැයි කිව හැකි ය. මේවා හොඳින් තේරුම් ගැනීම වැදගත් ය. උද්ඝෝෂණ පැවැත්වීමට පෙර වැඩසටහන්වල යථාර්ථය වටහාගැනීම වැදගත්ය

තිරසර සංවර්ධනයේ ඉතා වැදගත් සංකල්පයක් වන්නේ එක අරමුණක් සඳහා සාමුහිකව ක්‍රියාකිරීම ය. පාලකයන්, ව්‍යාපාරිකයන්, විද්වතුන්, පොදුජනයා යන ලෙසින් භින්න නොවී එකම පරිසරයක ක්‍රියාකිරීම ඉතා වැදගත් ය. එය සාර්ථකත්වයේ ලකුණක් ලෙස සැලැකිය හැකි ය. ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශය සංවර්ධනය කළ චන්ද්‍රබාබු නායිදු වරක් කියා සිටියේ මට අවශ්‍ය එකට බැඳුණු සමාජයක් යන්න ය. ඉතා දිළිඳු කලාපයක් වූ ආන්ද්‍රා ප්‍රාන්තය නූතන ඉන්දියාවේ දියුණුම ප්‍රදේශයකි. නායිදු මහතා සමාජය ඒකරාශි කළේය. සියලුදෙනා කැටුව වැඩ කළේය. බෙදී වෙන්වීම යනු පරාජයයි. සාමුහිකත්වය යනු ජයග්‍රහණයයි.

වසර තුනක් යනු දීර්ඝ කාලයක් නො වූවද අපට හැදෙන්නට එම කාලය හොඳටම ප්‍රමාණවත් ය. එක අරමුණක් හා පොදු ඉලක්කයක් වෙනුවෙන් සාමුහිකව වැඩ කරමු යන්න මේ වසරේ ප්‍රාර්ථනය විය යුතුය. ඒ අතර මන්තරයක් සේ ජප කළ යුත්තේ ඔව් අපට පුළුවන් යන්න ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...