2017ට එන්න කියන්න | දිනමිණ

2017ට එන්න කියන්න

2016 අන්තිම කාර්තුවේ දී දේශපාලනය යම් තරමකට උණුසුම් වී ඇති බවක් පෙනෙන්නට තිබේ. එක පක්ෂයක් කියා සිටින්නේ මුළු රටම ගිනියම් කරන බව ය. තවත් කෙනකුගේ අදහස වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ සිට ජනාධිපතිතුමා සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ය. තවත් කෙනකුගේ අදහස වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවන බව ය. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන තවත් අමාත්‍යවරයකු 2017 වර්ෂය රැඩිකල් තීන්දු ගනු ලබන වර්ෂයක් කියන අතර තවත් ඇමැතිවරයකු කියන්නේ 2020 වනතුරු ආණ්ඩු පෙරළියක් නොවන බවය. ජනාධිපතිවරයාගේ අදහස වන්නේ 2017 වර්ෂය මුළුමනින් ම දිළිඳුකම පිටුදැකීම සඳහා කැප කරන බව ය.

මේ සියල්ල සමාලෝචනය කරන කල පෙනී යන්නේ දේශපාලන වශයෙන් යම් විසංවාදී තත්ත්වයක් පවතින්නේ වුව රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ඉතා හොඳ පසුබිමක් ගොඩනැගෙමින් පවතින බවය. එක අතෙකින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ගැටලුව ඇත්තේ දුප්පත්කම සමඟය. දිළිඳුකම ජයගැනීම නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගැටලුව ලෙස පැවැතිණි. විවිධ උපාය මාර්ග ඔස්සේ විසැඳුම් යෝජනා ඉදිරිපත් වුව ක්‍රියාකාරී සැලැසුම් දියත් කළ ද දුප්පත්කම විසැඳී නැත.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ දිළිඳුකම පිටුදැකීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වී ඇත. ජනසතු ව්‍යාපාරය, පස් අවුරුදු සැලැස්ම, මහවැලි සංවර්ධන ව්‍යාපාරය, ගම් උදාව, ජනසවිය, සමෘද්ධිය ඉන් කිහිපයක් පමණි. මේ එක වැඩසටහනක්වත් නරක නැත. ඒවායින් දුප්පත්කම පිළිබඳ ප්‍රශ්න විසැඳුණේ නැතැ’යි කියන්නට ද බැරි ය. ඒවා දිළිඳුකම පිටුදැකීම සම්බන්ධයෙන් යම් වැඩ කොටසක් ඉටු කර තිබේ. එහෙත් රටේ සමස්ත දුප්පත්කම විසැඳීම සඳහා ස්ථාවර හා ශක්තිමත් යාන්ත්‍රණයක් එමගින් ගොඩනැඟී නැත. තේරුම් ගත යුතු සත්‍යය එය යි.

අප්‍රිකානු මහාද්වීපය ඉංග්‍රීසින් විසින් හඳුන්වන ලද්දේ අඳුරු මහාද්වීපය හැටියටය. අඳුරු මහාද්වීපය යන්නෙන් ඔව්හු කරුණු දෙකක් සාක්ෂාත් කළහ. පළමුවන්න දිළිඳුකමය. දෙවන්න නූගත්කම ය. මේ දෙක අතර සම්බන්ධයක් ද තිබේ. නූගත්කම දිළිඳුකමට හේතුවකි. දිළිඳුකම ද නූගත්කමට හේතුවකි. අනාගත වැඩසටහන් සැලැසුම් විය යුත්තේ එම සාධක ද සැලැකිල්ලට ගනිමින් ය. දකුණු ආසියාවේ රටවල් කිහිපය ද ඉතා දරුණු ලෙස දුප්පත්කමට මුහුණ දී සිටී. ඉන්දියාව බලවත් රාජ්‍යයක් වුව විශාල පිරිසක් දුප්පත්කමෙන් පීඩා විඳිති. එලෙසම දිළිඳුකම පිටු දැකීම සඳහා එම රටවල් අනුගමනය කරන සාර්ථක උපාය මාර්ග ද තිබේ.

දිළිඳුකම පිටු දැකීම යනු දුප්පතාට ආධාර ලබා දීම නොවේ. පින් පඩි හෝ සමාජ සුබසාධක ක්‍රියා මාර්ග අනුගමනය කිරීම ද නොවේ. දිළිඳුකම පිටුදැකීම යන්නෙහි එක් අදහසක් වන්නේ ආබාධිත පුද්ගලයා වුව දෙපයින් සිටගන්නා තත්ත්වයකට පත් කිරීමය. බංගලිදේශයේ ග්‍රාමීන් බැංකු ක්‍රමය ක්‍රියාත්මක වූයේ හිඟන්නන් ස්ථාවර ආර්ථික තත්ත්වයකට ගෙන ඒම සඳහා ය. එය බොහෝ සෙයින් සාර්ථක විය. එහි නිර්මාතෘ නොබෙල් ත්‍යාගයෙන් ද පුද ලැබීය. දිළිදුකම පිටු දැකීම එක්තරා කතාන්දරයක් සේ ඉදිරියට යයි. එය පහසුවෙන් කළ නොහැකිය. නිර්මාණශීලීබව හා නිවැරැදි තීරණ ගැනීම මේ වැඩසටහන පසුපස ඇති ප්‍රධාන ශක්තිය ලෙස සැලැකිය හැකි ය.

රටවල් ගතහොත් ඒවාට දේශපාලන ස්ථාවරත්වය නැති ව ඉදිරියට යා නොහැකිය. අන්තර්ජාතික මූල්‍ය සමාගම්, ලෝක බැංකුව, ධනවත් රටවල්, පෞද්ගලික ආයෝජකයන් ස්ථාවර දේශපාලන වටපිටාවක් නැති රටවල් සමඟ ආර්ථික ගනුදෙනු කිරීමට කැමැති නැත. ආයෝජකයන් පමණක් නොව සංචාරකයන් ද අස්ථාවර දේශපාලන පසුබිම් සහිත රටවලට කැමැති නැත. යහපාලනය, සමාජ සාධාරණත්වය, මානව හිමිකම් රැකීම, ජනමාධ්‍ය නිදහස ලබාදීම ආදී කරුණු ආශ්‍රයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු කීර්ති නාමය නිසා ලෝකය තුළ යම් ආකර්ෂණයක් අපට තිබිණි. දැන් පවත්නා තත්ත්වයට අනුව එය ගිලිහී යයිදැ’යි සැකයක් පවතී.

ආණ්ඩුවට එරෙහි දේශපාලන ව්‍යාපාර රට අස්ථාවර තත්ත්වයකට ඇද දැමීම සඳහා නිරන්තර උත්සාහයක යෙදී සිටින බව දකින්න‍ට ලැබේ. ඔව්හු එක අතෙකින් දේශීය වශයෙන් දේශපාලන අරගල ඇති කරති. තව අතෙකින් විදේශීය වශයෙන් දේශපාලන අවුල් ඇති කරති. දේශීය වශයෙන් ගත් කල ආණ්ඩු පෙරැළියක් ඇති වන්නේ ය යන ව්‍යාජ සැකය ස්ථාපිත කිරීමට පිරිසක් වෑයම් කරති. මීට සමාන අදහසක් ප්‍රකාශ කරන ලාල් කාන්ත ජ.වි.පෙ. මන්ත්‍රීවරයා කියා ඇත්තේ රාජපක්ෂ කල්ලිය බලය සඳහා ඕනෑම ජඩ වැඩක් කිරීමට ඉදිරිපත් වන බවය. මේ තත්ත්වය මහජනයා හොඳින් වටහාගත යුතුය.

ආණ්ඩුව ඉදිරියේ ප්‍රධාන අභියෝග දෙකක් ඇතැ’යි සිතන්නට පුළුවන. පළමු අභියෝගය වන්නේ රට දේශපාලන වශයෙන් යම් ස්ථාවර තැනකට තල්ලුකර තැබීමය. දෙවන අභියෝගය වන්නේ රටේ පවත්නා දැවෙන ආර්ථික ගැටලු විසැඳීම සඳහා ස්ථාවර වැඩසටහනක් ඇති කිරීමය. මේ දෙකම දැනට පවතින්නේ දුර්වල තැනක ය. දේශපාලන ස්ථාවරත්වය සඳහා ආණ්ඩුව තවදුරටත් දේශපාලන උපාය මාර්ග භාවිත කළ යුතුය. ආර්ථික ජයග්‍රහණ උදෙසා ඊටත් වඩා ශක්තිමත් ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය. හොඳම මාර්ගය සපයාගත හැක්කේ නිවැරැදි වැටහීම සමඟ ය. නිවැරැදි වැටහීමක් නැතොත් පාලකයා ද, පාලිතයා ද, තවත් අය ද විනාශ මුඛයට පත්වනු ඇත.

නව අදහස දක්වන්න