විදෙස් වෙනස්කම් හමුවේ අපේ අයවැය ඉලක්ක

ශ්‍රී ලංකාවේ 19 වන මුදල් ඇමැතිවරයා වන රවී කරුණානායක මහතා වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය ලේඛනය පසුගිය සතියේ බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය. නිදහස් ලංකාවේ 71 වන අයවැය ලේඛනය ලෙස සැලකෙන 2017 අයවැය ලේඛනය පිළිබඳ විවාදය දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වේ.

රවී කරුණානායක මුදල් ඇමැතිවරයා සිය අයවැය ලේඛනය ඉදිරිපත් කරනවිට ඇමෙරිකාව, ඉන්දියාව සහ චීනය යන තුන් රටේම පෙරළි තුනක් වාර්තා වී හමාරය. මේ රටවල්තුනම ශ්‍රී ලංකා ආර්ථික කේන්ද්‍රයේ බලවත්ම ග්‍රහයෝය. ඇමෙරිකාවේ ජනපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගෙන තිබුණි. එය දේශපාලන සිද්ධියකි.

ඉන්දියාව රුපියල් 500 සහ 1000 නෝට්ටු සියල්ලම “අවලංගු” කෙළේ බදාදා මධ්‍යම රාත්‍රියේය. මේ නිසා ඉන්දියාවේ කළු සල්ලි පාතාලය දෙදරා ගියේය. අගමැති මෝදි මහතාගේ වචනයෙන් පවසනවා නම් මේ ඉන්දියාවේ කළු සල්ලි දූෂණ මැඬීමේ මුල් ප්‍රහාරයයි. ඉන්දියාවේ මේ ප්‍රහාරය එරටට පමණක් බලපෑම් කර නතරවූවේ නැත. කොළඹට පවා එය බලපෑවේය. ශ්‍රී ලංකා මුදල් හොර රහසේ ඉන්දියානු මුදල් බවට පත්කරන ව්‍යාපාර හා සම්බන්ධ මගඩි රැසක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රියාත්මක ය. ඉන්දියාවේ මේ ක්‍රියාව නිසා ශ්‍රී ලංකා මූල්‍ය අංශයට ද බලපෑම් කිරීමට සමත් විය. අවලංගු කළ 500 -1000 නෝට්ටු වෙනුවට නව නෝට්ටු නිකුත් කර ඇතත්,  ඒ නව නෝට්ටු ලබා ගැනීමට හංගාගෙන ඇති නෝට්ටු එළියට ඇදීමට සිදුවේ. එමගින් ඉන්දියාවේ හංගා‍ෙගන තිබූ නෝට්ටු දැන් මිටි පිටින් එළියට එමින් තිබේ. මේ අයුරින් එන්. එම්. පෙරේරා මුදල් ඇමැති වරයා ද ශ්‍රී ලංකාවේ නෝට්ටු තහනම් කර කළු සල්ලි එළියට ගත්තේය.

චීනයේ ඉදිරි පිම්ම

චිනය ගිය සතියේ සිය නවතම වාණිජ ගුවන් යානා එන්ජිම (J 20) මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කෙළේ ගුවන් යානා තාක්ෂණයේ තමන් පෙරමුණ ගෙන සිටින බව පෙන්වීමටය. බ්‍රිතාන්‍ය, ඇමෙරිකා හා ප්‍රංශ ගුවන් යානා වෙළෙඳපොළ උදුරා ගැනීම සඳහා චීනය යෙදූ උපක්‍රමය මේ යානා තාක්ෂණයේ ප්‍රාතිහාර්යයි. එම අංශයෙන් ඉදිරියට ඒම චීනයේ අපේක්ෂාවයි. ශ්‍රී ලංකා අයවැය ලේඛනය ඉදිරියට ආවේ ඉහත කී රටවල් තුනේ දේශපාලන, ආර්ථික හා තාක්ෂණිකමය සංසිද්ධි තුනක් සමගය. මේ හැම සිද්ධියක්ම ශ්‍රී ලංකාවට බලපෑම් කරයි.

ඇමෙරිකාව සතුව ඇති ලෝකයේම බලවත් රාජ්‍යය යන විරුදාවලිය උදුරා ගැනීමට චීනය වෑයම් කරයි. ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රාජ්‍ය වීමට චීනය හා ඉන්දියාව “ද්වන්ධ සටනක” නිරතව සිටිති.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපනයනය සහ වාණිජ කටයුතු පෙරදැරිකර ගත් නවතම ආර්ථිකයක් බවට පත්කර ගැනීම සඳහා 2017 අයවැය මගින් උත්සාහ දරා තිබේ. විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ මගින් යැපීම ස්ථිර ආදායම් මාර්ගයක් නොවන බව මැද පෙරදිග ආර්ථික පසුබෑමෙන් ඔප්පුව තිබේ.

මෙහිදී අමෙරිකාවේ ආර්ථික හැසිරීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත්ය. ශ්‍රී ලංකා අපනයනයන්ගේ අපනයනමය ගමනාන්තය අමෙරිකානු වෙළෙඳපොළය. 2015 ශ්‍රී ලංකාව එම ගමනාන්තය මගින් උපයාගත් ආදායම 2015 මහ බැංකු වාර්තාවනට අනුව බලන කල ඇ.ඩොලර් දසලක්ෂ 2810 කි. එනම් සමස්ත අපනයනයෙන් සියයට 26.7 කි. ශ්‍රී ලංකාව අමෙරිකාවෙන් කරන ලද ආනයනය ඇ. ඩොලර් දසලක්ෂ 471 කි. එම නිසා ශ්‍රී ලංකා අමෙරිකා වෙළෙඳ කටයුතු අතින් වැඩිවාසිය ඇත්තේ ශ්‍රී ලංකාවටය. චීන ඉන්දියා වෙළෙඳ වාසි හිමිවන්නේ ඒ දෙරටටය.

ට්‍රම්ප්ගේ වාණිජ ප්‍රතිපත්ති

ඩොනල්ඩ් ට්‍රම්ප්ට රාජ්‍ය  පරිපාලනය අතින් පළපුරුදුකම් අඩුවුවද, ඔහු දක්ෂ ව්‍යාපාරිකයෙකි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සහ දේපොළ සංවර්ධන ව්‍යාපාරයන්හි ඔහු නියත වත්කම් උපයාගෙන තිබේ. ඔහුගේ ව්‍යාපාරික වත්කම් ඇ. ඩොලර් බිලියන 3.7කි. ඇමෙරිකාවේ 324 වන ධනවතා වන ඔහු ජනාධිපතිවීමෙන් පසු පැවසුවේ ඇමෙරිකාව යළි සමෘද්ධිමත් රටක් බවට පත් කරන බවයි.

ඔහුගේ වාණිජ ප්‍රතිපත්ති පිළිබඳව බොහෝ විවේචන පවතී. සංක්‍රමණිකයන්ට බුරුලක් නොදෙන බවට සපථකර සිටින ට්‍රම්ප් ඇමෙරිකාව කැනඩාව සහ මෙක්සිකෝ රටවල් සමග ඇති නැෆ්ටා ගිවිසුමට විරුද්ධය. එමගින් වැඩිවාසිය ඇත්තේ කැනඩාවට හා මෙක්සිකෝවට යැයි ඔහු තර්ක කරන නිසා ට්‍රම්ප් ආරක්ෂණවාදි‍ෙයකැයි හැඳින්වේ. චීන භාණ්ඩ සඳහා ඔහු වැඩිබදු නියම කරනු ඇතැයිද කියැවේ. චීන අමෙරිකා වෙළෙඳ කටයුතු අංශයෙන් වැඩිවාසිය ඇත්තේ චීනයටය. එහෙයින් චීන අපනයන ආදායම අඩුවුවහොත් එය චීනයේ ආර්ථික පසුබැස්මකට හේතුවන බව විචාරක අදහසයි.

ශ්‍රී ලංකාවේ 2017 අයවැය ලේඛනය නව සමාගම් ආරම්භ කිරීමට මෙන්ම පවත්වාගෙන යෑමටද අවසාන වශයෙන්, සමාගමක බංකොලොත්භාවය ප්‍රකාශ කිරීමට ද අදාළ නීති රීති යෝජනා කර තිබේ. එසේම විදේශ වෙළෙඳ පොළ දිනාගැනීමට ද විදේශ ආයෝජනා රැක ගැනීමට ද මංපෙත් විවර කර තිබේ.

පසුගිය කාලය මුළුල්ලේම ශ්‍රී ලංකාවේ දැවැන්ත ව්‍යවසායයන් රාශියකට චීනය සම්බන්ධ විය. සෘජු විදේශ ආයෝජන අංශයෙන් ද චීනය ප්‍රමුඛ ස්ථානයක සිටී. එසේම ඉන්දියාවද ශ්‍රී ලංකා ආර්ථිකයේ විශාල චරිතයකි. චීන මෙන්ම ඉන්දියානු සමාගම් රාශියක් ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් වෙති. හම්බන්තොට ආර්ථික කලාපය චීන ආයෝජනයට විවෘතය.

ශ්‍රී ලංකාවේ ආයෝජනයට සූදානම් වන ආයෝජකයන්ට ඇති බාධක රාශියකි. මේ පිළිබඳව ආයෝජන මණ්ඩලය පවා වගකිවයුත්තන්ගේ අවධානයට කරුණු දැන්වූහ. එසේම වාණිජ මණ්ඩලද අදහස් ප්‍රකාශ කළ ව්‍යාපාරික දර්ශකයේ 70 වෙන් පහළ දර්ශකයකට එනම් 1 සිට 70 දක්වා ළඟාවීමට ශ්‍රී ලංකාව අවශ්‍ය  පියවර ගන්නා බව අයවැය කතාවේ දී ප්‍රකාශ විය. මේ ඉලක්කය සපුරා ගතහොත් ශ්‍රී ලංකාවට විදේශීය සමාගම් ආකර්ෂණය කර ගැන්ම අමාරුවක් නොවේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්ති හා චීනය පිළිබඳව වන දැක්ම පිළිබඳව පසුගිය සතියේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විවරණයක් කළේය. එම විවරණයේ සාරය නම් ට්‍රම්ප් යටතේ ඇමෙරිකාව වඩා වාණිජවාදී වන බවයි. ඇමෙරිකානුවන්ගේ රැකියා අවස්ථා චීනය විසින් උදුරාගෙන ඇතැයි කියන ට්‍රම්ප් ඇමෙරිකාව ඇතුළත කම්හල් ඇරැඹීමට කර්මාන්තකරුවන් දිරිමත් කරනු ඇතැයි ද එම ලිපිය සඳහන් කරයි.

එම ලිපිය තවදුරටත් පවසන අන්දමට වියට්නාමය,  බංගලිදේශය සහ ඉතියෝපියාව යන රටවලට ගොස් ඒවායේ කර්මාන්ත ඇරැඹීමට ආයෝජකයෝ පුරුදුව සිටිති.

මෙසේ චීනයෙන් සිය කර්මාන්ත අකුලාගෙන යන එක් හේතුවක් නම් වියට්නාමය,  බංගලිදේශය සහ ඉතියෝපියාවේ විදුලිය හා ශ්‍රමය ලාබවීමය. දැනට චීනයේ කර්මාන්ත ශාලාවක සේවක වැටුප මසකට ඇ. ඩොලර් 424 දක්වා ඉහළ මට්ටමක පවතී. මේ නිසා STELLA සපත්තු කම්හල,  TAL යනාදි සමාගම් චීනයෙන් ඉවත්ව යෑමේ පෙරගමන්කරුවෝ වූහ. දැන් තවත් සමාගම් එසේ කිරීමට සූදානමින් සිටිති.

චීන නිෂ්පාදන සඳහා බදු වැඩිකිරීමක් නුදුරු අනාගතයේ සිදුවෙතැයි විශ්වාසයක් පවතී. මෙවැනි අන්තර් ජාතික තත්ත්වයකදී DIGITAL ECONOMY යන්නට පරිවර්තනය වීම ද ශ්‍රී ලංකාවට වාසි සහගතය.

චීනයේ ආර්ථිකයේ එක සුසුමක් ගෝලීය ආර්ථිකයට දැනෙන්නේ කුණාටුවක් ලෙසිනැයි ස්ටොක් වොච් ප්‍රකාශනයක සඳහන්කර තිබුණි. චීනයේ ආර්ථිකයේ මේ වනවිට සුළු චංචලතාවක් හට‍ෙගන ඇති බවද,  එය ලෝක ආර්ථිකයට බලපෑ අන්දම ද ආර්ථික ක්ෂේත්‍රයට රහසක් නොවේ.

ඉන්දියා-අමෙරිකා සබඳතා

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති ඉන්දියාවට කවර අන්දමින් බලපාන්නේ ද යන්න ගැන ඉන්දියාවේ ඉකොනොමික් ටයිම්ස් පුවත්පත ද විවරණයක් කර තිබුණි. “පළමුවෙන්ම ඇමෙරිකාවයි” යන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පිළිවෙත ඉන්දියාවට හානිකර යැයි තර්ක කරන එම පුවත්පත ට්‍රම්ප්ගේ මුස්ලිම් විරෝධය ඉන්දියාවට වාසියකැයි කියයි. සිය ඡන්ද ව්‍යාපාරයේ දී චීනය සහ පකිස්ථානය විවේචනය කළ ද ඉන්දියාව පිළිබඳව ට්‍රම්ප් අමනාපයක් දැක්වූයේ නැත. ඉන්දියා - ඇමෙරිකා වෙළෙඳ සබඳතා අනිවාර්යයෙන්ම දියුණුවන බව ද එම විවරණය කියයි.

ට්‍රම්ප් ඉන්දියානු සාගරයේ නිදහස අගය කරනවා පමණක් නොව පකිස්ථානය ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන බවටද විශ්වාස කරයි. මේ කරුණු දෙකම ශ්‍රී ලංකාවේ වාසියට ද හේතුවන බව පෙනේ. ට්‍රම්ප්ගේ ජයෙන් ශ්‍රී ලංකාවට අවාසි සිදු නොවන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ 2017 අයවැය ලේඛනය ගැන කරුණු පරීක්ෂාකිරීමේ දී ඉන්දියාව, චීනය සහ අමෙරිකාව යන රටවල වත්මන් තත්ත්වය ද සැලකිල්ලට ගත යුත්තේ ශ්‍රී ලංකාව එම රටවල් තුනේ ආර්ථික ක්‍රියාකාරිත්වය සමඟ එකට බැඳී පවතින නිසාය.

අනාගත ලෝකයේ ඉන්දියා සාගරයට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. මැද පෙරදිග අප්‍රිකාව සහ අග්නිදිග ආසියාව ඇමෙරිකාව සහ යුරෝපය සමඟ සම්බන්ධ කරන්නේ ඉන්දියා සාගරයෙනි. පර්සියා ගල්ෆ් කලාපයේ සහ ඉන්දුනීසියාව ආශ්‍රිත පෙට්ට්‍රොලියම් නිෂ්පාදන ගමනා ගමනය සිදුවන්නේ ද මේ සාගර කලාපය ඔස්සේය. සාගරයේ ඇති මත්ස්‍ය සම්පත ඉන්දියා සාගර රටවලට ආහාර සපයන ගමන් ඒ රටවලට විදේශ වත්කම් ද උපයා දෙයි.

සාගර සම්පත

රුසියාව, ජපානය,  කොරියාව, තායිවානය ඉන්දියානු සාගර මත්ස්‍ය  සම්පත් පල නෙළා ගැනීමේ යෙදෙන නමුත් ශ්‍රී ලංකාව මේ දැවැන්ත සාගර සම්පතින් හා ඒ ආශ්‍රිත ඛනිජ සම්පතින් නිසි පල ලබාගන්නේ නැත. ශ්‍රී ලංකාව ඒ සඳහා සූදානම් වන්නේ දැන්ය.

ඉන්දියන් සාගරයෙන් උපරිම පල නෙළා ගැනීම සඳහා අවධානය යොමු කිරීම මෙන්ම නවෝත්පාදන ආර්ථිකයකට මග හෙළි කිරීම ද මෙවර අයවැයේ විශේෂ ලක්ෂණයකි.

එසේම තේ, පොල්, රබර් වගාව සහ කුරුදු කර්මාන්තය නගාසිටුවන ගමන්ම ග්‍රාමීය ආර්ථිකය පණ ගැන්වීමට උත්සාහ දැරීම ද එහි විශේෂත්වයයි. සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත අංශය සහ ස්වයං රැකියා අවස්ථා වැඩිදියුණු කිරීම ද වෘත්තීය පුහුණුව පුළුල් කිරීම ද දීර්ඝ කාලීන සංවර්ධන මාවතකට පිවිසීමේ මඟ හෙළිකරයි.

කෙටිකාලීන හා දීර්ඝ කාලීන විසඳුම් යෝජනා රැගත් 2017 අයවැය ලේඛනය අධ්‍යාපනය, සෞඛ්‍යය, ජීවන වියදම ඔස්සේ ශ්‍රී ලංකාවේ ණයබර අඩුකිරීම දක්වා ඈතට දිවයයි. කෘෂිකර්මාන්තය, නව බදු ව්‍යුහය,  සංචාරක කර්මාන්තය සහ සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය ආදියද එමගින් ආවරණය වෙයි.

අයවැය වාද විවාද, සාකච්ඡා, දේශන ආදිය දැන් අසන්නට ලැබේ. ලොකු ලොකු කාලතුවක්කු ගන්නා අතරතුර පුස් වෙඩි හඬද ඇසීම ස්වභාවිකය.

කරුණාරත්න අමරතුංග


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...