අපි කෝප් වාර්තාව පිළිගන්නවා

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය - ඉරාන් වික්‍රමරත්න

කෝප් කමිටු වාර්තාව,එට්කා ගිවිසුම ආශ්‍රිතව පැන නැගී ඇති ප්‍රශ්න හා වරාය නගරය වැනි කරුණු අළලා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න සමඟ කළ සාකච්ඡාව

* මහ බැංකු බැඳුම්කර නිකුතුවක අවශ්‍යතාවය මතු වූයේ කිනම් කාරණයක් නිසා ද?

රජයක් විදිහට බැලුවොත් ආදායම් සහ වියදම් කියලා කොටස් දෙකක් තිබෙනවා. ආදායමට වඩා වියදම වැඩි නම් ඒ තුළ පරතරයක් තිබෙනවා. ඒ පරතරය අවම කරන්න රජය ණය මුදල් ලබා ගන්න ඕන. ඒ අනුව දේශීය, විදේශීය දෙයාකාරයෙන් ණය ලබා ගත හැකියි. දේශීයව ණය ලබා ගැනීමේ දී රජය වෙනුවෙන් ණය මුදල් ලබා ගැනීමට රජය මහ බැංකුවට නියෝග කරනවා. ඒ ණය අවුරුද්දකට වඩා අඩු කාල සීමාවකට හා අවුරුද්දට වඩා වැඩි කාල සීමාවකට අදාළව ලබා ගත හැකියි. මේ ආකාරයට දේශීයව ලබා ගන්නා ණය සඳහා මහ බැංකුව බැඳුම්කර සහතිකයක් නිකුත් කරනවා. රජය ලබා ගත් ණය සඳහා නිකුත් කර ඇති බැඳුම්කර සහතිකය බැඳුම්කර නිකුතුව ලෙස හඳුන්වනවා.

* මේ ආකාරයට ලබාගත් ණය සඳහා නිකුත් කළ බැඳුම්කර තුළ වංචාවක් වෙලා කියලා කෝප් කමිටු වාර්තාවෙන් පෙන්වා දෙනවා. හිටපු මහ බැංකු අධිපතිවරයා සෘජුව වගකිව යුතුයි කියලයි එහි සඳහන් වෙන්නේ?

මෙතැන තියෙන ප්‍රශ්නය තමයි මේ ණය ලබා ගැනීමේ දී ලබා ගත්තු පොළී අනුපාතය. ඒ වගේම තමයි ඉහළ අගයකට වැඩි මුදලක් එක් සමාගමකින් ගත්තා, කියන චෝදනාවක් තියෙනවා. කොහොම වුණත් කෝප් කමිටුවේ වාර්තාව අපි පිළිගන්නවා. කෝප් කමිටුව නිර්දේශ 15ක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ නිර්දේශ කමිටු සාමාජිකයන් සියල්ල පිළිගෙන තිබෙනවා. ඉන් පෙන්වා දෙන්නේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මේ සිද්ධියේ දී විශාල ලාභයක් උපයලා තියෙනවා කියලයි. ඒ වගේම තමයි මෙතැන දූෂණයක් වෙලා ද නැතිද කියලා සොයා බලන්න හේතු තියෙනවා කියලත් එහි සඳහන්. මේ සිද්ධියට මහ බැංකු අධිපතිවරයා සහ මහ බැංකු නිලධාරීන් වගකිව යුතුයි කියලා සඳහන් වෙනවා.

* කෝප් කමිටු වාර්තාවෙනුත් දූෂණයක් වෙලා කියලා පෙන්වා දෙනවා නම්, රජයක් විදිහට මේ සිදුවීමට අදාළව ගන්න නෛතික ක්‍රියාමාර්ගය මොකක් ද?

ප්‍රථමයෙන්ම මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් විවාදයක් තැබිය යුතුයි. අවශ්‍ය නම් වාද - විවාදවලින් අනතුරුව පාර්ලිමේන්තුවටත් යෝජනාවක් ඉදිරිපත් කළ හැකියි. දෙවැනි කාරණය තමයි මේ වාර්තාව නීතිපතිට යොමු කිරීම. අගමැතිතුමා දැනටමත් ඒ කාර්යය කරලා තියෙනවා. නීතිපතිට පුළුවන් ඒ වාර්තාව අධ්‍යයනය කරලා ගත යුතු නීතිමය පියවර කුමක් ද කියලා තීරණය කරන්න. තුන්වෙනුව ඒ වාර්තාව ගැන සොයා බලන්න කියලා අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිසමට, CID, FCID එකට යොමු කරන්න පුළුවන්. මේ රජය මේ කටයුතුවලට කිසිම ආකාරයට බාධා කිරීමක් කරන්නේ නැහැ.

* ඔබතුමා පසුගියදා මාධ්‍යට සඳහන් කළා ඉහත සඳහන් ආයතනවලට මේ සම්බන්ධයෙන් සොයා බලන්න නීති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවුණොත්, අලුතෙන් නීති ගෙනවිත් හෝ මේ ගැන සොයා බලනවා කියලා. එහෙම කියන්නේ කුමන පදනමකින් ද?

මම එහෙම කියන්න හේතුව තමයි, මේ කාරණයේ දී රජයට විශාල අලාභයක් වෙලා තියෙනවා කියලා නිගමනය කළහොත්, දැනටමත් මහජනතාවගේ විශාල ඉල්ලීමක් තිබෙනවා ඒ මුදල රජයට අයකර දෙන්න කියලා. එය අයකර ගන්න බැහැ කියා අධිකරණය තීරණය කළහොත්, අපි රජයක් විදිහට අලුත් නීති ගේන්න පුළුවන් ද කියා සොයා බලන්න විවෘත වෙන්න ඕන කියන කාරණය තමයි මම කිව්වේ.

* මේ සිද්ධියේ දී ප්‍රශ්නකාරී සමාගම වන්නේ හිටපු මහ බැංකු අධිපතිවරයාගේ ඥාතියකුට අයත් එකක්. එතකොට මේ සිද්ධිය වුවමනාවෙන් සිදුකළ එකක් බවට නිගමනය කිරීමේ හැකියාවක් නැද් ද?

සාමාන්‍යයෙන් ආයතනයක තනතුරකට යම් පුද්ගලයකු පත් කිරීමේ දී, අධ්‍යාපනය, අත්දැකීම හා සදාචාරාත්මක සුදුසුකම් තිබෙන අය යෝජනා කිරීම දේශපාලනඥයන් විදිහට අපිට පැවරෙන වගකීමක්. කොහොම නමුත් තනතුරට යම් පුද්ගලයකු පත් වූවා නම් එහි වගකීම තිබෙන්නේ ඒ පුද්ගලයාට. චෝදනාවක් එල්ල වුණාම ඒ ගැන සොයා බලන්න බාධාවක් නොකර ඒ සඳහා අවකාශය හදලා දෙන්න අප කටයුතු කළ යුතුයි. හිටපු මහ බැංකු අධිපතිවරයා දෙස බැලුවොත් එතුමා ලංකාවේ ඉපදිලා, ලංකාවේ අධ්‍යාපනය ලබලා, විදේශයන්හි ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබලා, ලංකාවට ඇවිත් ලංකාවේ මහ බැංකුවේ සේවය කරලා, පස්සේ ජාත්‍යන්තර බැංකුවක සේවය කරලා ලබන්න පුළුවන් ජාත්‍යන්තර අත්දැකීම් ලබලා තිබෙනවා. දැන් ඉන්න අධිපතිතුමා වගේම හිටපු අධිපතිතුමාටත් සුදුසුකම් තිබුණා. කොහොම නමුත් මෙතැන තියෙන ප්‍රශ්නය ළබැඳියා ගැටුමක්. ඒ ගැන සඳහන් කරන්න ඕනේ හිටපු මහ බැංකු අධිපතිවරයා. අපි මේවා සඟවන්න යන්නේ නැහැ.

* මේ සිදුවීමට පසුගිය කාලේ මහ බැංකුවට සම්බන්ධතා තිබූ අයගේ මැදිහත් වීමක් තිබෙනවා ද?

සාමාන්‍යයෙන් හොරකම් වංචා, දූෂණ එක් පුද්ගලයකුට, එක් ආයතනයකට කරන්න බැහැ. තවත් ආයතන මේ හා සම්බන්ධතා තියෙන්න පුළුවන්. ඒ නිසා මහ බැංකුව සෝදිසි කරන්න ඕන, හිටපු අධිපතිතුමා පමණක් නොව ගනු දෙනු කරපු නිලධාරීන් පරීක්ෂා කරන්න ඕන. රජයේ බැංකු පරීක්ෂා කරන්න ඕන. මේ ආයතන තුළත් අවංක නිලධාරීන් ඉන්නවා. ඒ අයගේ නිවැරැදි භාවය ඔප්පු කරන්න මේ පරීක්ෂාව කළ යුතුයි. ඒ වගේම සේවක අර්ථ සාධක අරමුදල පරික්ෂාවට ලක් කළ යුතුයි. මේ සෝදිසියේ දී ඇත්ත කථාව මතු වෙයි. ඒ මතු වෙන්නේ දූෂිත වළල්ලක්. එකෙන් රජයට පාඩු සිදු වුණ ඒවා පමණක් නොවෙයි විශ්‍රාමිකයන්ට, මහජනතාවට මේ සියලුදෙනාට සිදු වූ පාඩු සොයා ගන්න පුළුවන්.

* ඔබ කියන්නේ පසුගිය පාලන සමයේත් මෙවැනි දූෂණ ක්‍රියා සිදු වුණා කියලද?

මේක තමයි වෙනස. එදා සිදු වුණ දේවල් සොයා බලන්න අවස්ථාවක් තිබුණේ නැහැ. අද අපේ අගමැතිවරයා යටතේ තියෙන ආයතනය ගැන සොයා බලන්න අපි අවසර දීලා තිබෙනවා. එදා මේ ආයතන සියල්ල තිබුණේ මුදල් ඇමැතිවරයා යටතේ. ඒ තිබුණු එක ආයතනයක්වත් එදා පරීක්ෂා කරන්න පුළුවන් වුණා ද?. අද අපිට චෝදනා කළාට, අපි කොතරම් විවෘත වෙලා ද කියලා මේ ගැටුමේ දී පේනවා. අද අවස්ථාව උදා වෙලා තිබෙන්නේ එදා වහගෙන හිටපු දේවලුත් හොයලා බලන්න. එතකොට පැහැදිලිව ජනතාවට තේරුම් ගන්න පුළුවන් වෙයි මොකක් ද වෙනස කියලා.

* ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් පැන නැඟී තිබුණ අර්බුදය නිරාකරණය කරන්න පියවර ගෙන තිබෙනවා ද?

දැන් ඒ සමාගම බාර ගන්න සමාගම් 8ක් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ සමාගම් තුළ කිසිම ගුවන් සේවාවක් නැහැ. තිබෙන්නේ ආයෝජනයන් පමණයි. මේ සමාගම්වල යෝජනාවලිය අධ්‍යයනය කරන්න ජාතික ඉතිරිකිරීමේ බැංකුව මූලික කරගත් විදේශීය බැංකුවලට භාර දීල තියෙනවා. මේ වසර අවසානයට පෙර ඒ සියල්ල අධ්‍යයනය කරලා සුදුසු නම් යෝජනා කරලා තෝරා ගැනීමක් කරන්න පුළුවන් වේවි. ලබන වසරේ ජනවාරි වෙනකොට තීරණය කරන්න පුළුවන් ඒ යෝජනා ක්‍රියාත්මක කරන්න පුළුවන් ද? බැරිද? කියලා. ඒ අනුව ගුවන් සමාගමේ පාඩුව මඟහරවා ගත හැකි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමේ වැඩි ඉඩක් තිබෙනවා.

* එට්කා ගිවිසුමට අනුව අපේ රටේ රැකියා වියුක්තිය තව තවත් උග්‍රවෙනවා කියලා වෘත්තීයවේදීන් පෙන්වා දෙනවා. ඒ ගැන ඔබේ අදහස මොකක් ද?

ලෝකයේ වාණිජමය වෙළඳ ගිවිසුම් රාශියක් තිබෙනවා. ඒවා කෙරෙන්නේ ජාත්‍යන්තර වෙළඳ සංවිධානයට අනුවයි. ඒ සංවිධානයේ සේවකයන් හුවමාරුකර ගැනීමේ වර්ග හතරක් තිබෙනවා. පළමු එක තමයි යම් පුද්ගයකුට ව්‍යාපාරික ගමන් බලපත්‍රයක් ඔස්සේ වෙනත් රටකට යන්න පුළුවන් වීම. දෙවැනි කාරණය තමයි බහුජාතික සමාගම්වල ඉහළ කළමනාකාරීත්වයේ, තාක්ෂණික කළමනාකාරීත්වයේ අඩුපාඩු පුරවන්න සේවකයන් ගෙන්වීම, තුන්වැනි කාරණය තමයි කොන්ත්‍රාත් පදනම මත සේවකයන් ලබා ගැනීම, මේ ක්‍රියාවලි දැනටමත් සියලු රටවල්වල ක්‍රියාත්මක වෙනවා. ඊළඟ කාරණය තමයි ඕනෑම වෘත්තියවේදියකුට ගිවිසුම්ගත රටකට ගිහින් එම වෘත්තියේම නියැලෙන්න සම්පූර්ණ නිදහස ලැබීම. මේ හතරවැනි කාරණය අනුව රටවල් දෙක අතර එකම වෘත්තියේ සේවකයන්ගේ හුවමාරුවක් සිදු වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණයට තමයි අපේ අය විරුද්ධත්වය පළ කරන්නේ. අපි මුල ඉදලම කියලා තියෙනවා ගිවිසුමේ මේ හතරවැනි කාරණයට එකඟ නැහැ කියලා. මේ ගිවිසුම තුළ කිසිසේත්ම ඒ ක්‍රියාවලියට අපි ඉඩ දෙන්නේ නැහැ.

* මේ ගිවිසුම්ගත ක්‍රියාවලියෙන් ලංකාවේ ජනතාවට ලැබෙන වාසිය මොකක් ද?

මේ ගිවිසුමට විරුද්ධ අය පෙන්වා දෙන්නේ අපේ ආනයන - අපනයන පරතරය වැඩි වෙලා කියලයි. ඒක හරි. මේ ගිවිසුම නැතත් අපේ අපනයන - ආනයන පරතරය වැඩි වෙනවා. ඉන්දියානු නිෂ්පාදනවල මිල අඩු නිසා කොහොමත් අපි භාණ්ඩ ගෙන්වනවා. මේවා ගෙන්වන්නේ වෙළඳ ගිවිසුමට පිටතින්. හැබැයි අපි ඉන්දියාවට අපනයනය කරන සියල්ල යවන්නේ වෙළඳ ගිවිසුම හරහා. එහෙම නොවුණොත් අපිට අපේ නිෂ්පාදන ඉන්දියාවට විකුණන්න බැහැ. ඇතැම් පිරිසක් ඉන්දීය විරෝධය නිසා මේ ගිවිසුමට විරෝධය දක්වනවා. අපිට ඉන්දියාවේ වෙළඳ පොළට යන්න ලැබෙන එක වාසි සහගතයි. අපේ අපනයනයට අවස්ථාවක් උදා වෙනවා. ඒ හරහා අපේ රටේ ආර්ථිකය ඉහළ යන එක වළක්වන්න බැහැ.

* කොළඹ වරාය සංවර්ධනය අපේ රටේ ආර්ථිකයට බලපාන්නේ කොහොම ද?

කාර්යක්ෂමතාවය අතින් ලෝකයේ 35 වැනි වරාය තමයි කොළඹ වරාය කියන්නේ. මගේ අදහස නම් මේක පළවෙනි දහය තුළ තිබිය යුතුයි කියලා. අපේ එක් බහාලුම් ජැටියක් ලෝකයේ පළමුවැනි පහට ඇතුළත් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි අපේ අනෙක් ජැටි තුනත් සංවර්ධනය කරනවා. තවත් ජැටි හදනවා. ඉන්දියාවට යන භාණ්ඩ නැව්වලින් 50%ක් යන්නේ කොළඹ වරාය හරහා. මේ අවස්ථාව අපේ ජනතාව තේරුම් ගත යුතුයි. මේ වරාය සංවර්ධනය කරන්නේ නැහැ කියන්නේ රටට ලැබෙන්න තිබෙන සම්පත් අහිමි වෙනවා කියන එකයි. තාක්ෂණික දියුණුවත් සමග වෙනත් රටවල් විවිධ උපක්‍රම භාවිතා කරනවිට අපට ඒ හා තරග කරන්න ඇති හැකියාව අඩු වුණොත් අපේ රටේ ආර්ථිකය විශාල පසුබෑමකට ලක් වෙනවා. මේ සංවර්ධනයන් කාලීන අවශ්‍යතාවයන් නිසා කළ යුතුයි.

* කොළඹ වරාය නගරය ඉදිකිරීම සම්බන්ධයෙන් පරිසර සංවිධාන චෝදනා කරන්නේ සාගරික කලාපයේ ජෛව විවිධත්වයට හානි වෙනවා කියලයි?

මේ ගැන කතා කරන්න මට දැනුමක් නැහැ. හැබැයි අපි මේ ව්‍යාපෘතිය පිටුපස ඉන්නේ විශේෂඥයන්ගේ උපදෙස් මත. ඒ නිසා අපිට EIA කරන්න කියලා පරිසර සංවිධාන කිව්වා. ඒක අපි කළා. ඒකෙ සහතිකය ලැබුණට පස්සේ තමයි වරාය නගරය ආරම්භ කරන්න තීරණය කළේ. කොහොම නමුත් පසුගිය රජය මේ සම්බන්ධයෙන් ගිවිසුම් ගහලා තිබුණේ. අපි ඒ ගිවිසුම අහෝසි කරලා පරිසර ප්‍රශ්නෙත් විසඳාගෙන තමයි අයෙත් ගිවිසුම්ගත වුණේ. ඒ නිසා මම දන්නා හැටියට ලොකු ප්‍රශ්නයක් මෙතැන නැහැ.

* රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ සම්මුතිවාදී ආණ්ඩුවේ ඉදිරි ගමන රටට වැදගත් වන්නේ කොහොම ද ?

මේ ආණ්ඩුවටත් පොදු වැඩපිළිවෙළක් තිබිය යුතුයි. සම්මුතිවාදී ආණ්ඩුවක් සාමාන්‍යයෙන් සීමා සහිතයි. නමුත් ප්‍රතිසංස්කරණ ගෙන ඒම සඳහා හොඳ ක්‍රමවේදයක් තමයි සම්මුතිවාදී ආණ්ඩුව. ඊළඟට අපිට තිබෙන අභියෝගය තමයි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය. ඒ වගේ අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම. මේ සියල්ල සිදුකරලා අධිකරණය ස්වාධීන කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාදායකයක් බිහි කිරීම, එකමුතු රටක් යටතේ බලය විමධ්‍ය ගත කිරීම වැනි කාර්යයන් කරන්න පුළුවන් වෙන්නේ මේ වගේ සම්මුතිවාදී ආණ්ඩුවකින් විතරයි. තවත් කාලයක් ඉදිරියට යන්න පුළුවන් නම් අපිට රටට යහපත් වාතාවරණයක් හදලා දෙන්න පුළුවන්. ඊට පස්සේ පක්ෂ විදිහට තනියෙන් තරග කරලා තම තමන්ගේ දේශපාලන ව්‍යාපාර මෙහෙය වන්න පුළුවන්.

සටහන
දුමින්ද අලුත්ගෙදර
ඡායාරූප - රොෂාන් පිටිපන


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...